Monday, March 25, 2013

මූ දැනටම මෙහෙමනම් ලොකු වුනාම කොහොම වෙයිද...?

50 වැනි සංවේදී සටහන.


සෙල්ලම් බඩු පොළොවේ ගහන පොඩි එකා ඇත්තටම මොන වගේ වෙයිද...?

මේ ළඟදි තාත්තගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා වුවමනාවකට. වැඩිය දැකල නැති අමුතු දර්ශනයක් දැකල මම පුදුම වුනා. පොඩි ළමයි නැති, තරුණ ළමයි ඉන්න ඒ ගෙදර කැබිනෙට්ටුවෙ (පාර්ලිමේන්තුවෙ තියෙනව වගෙ එකක් තමයි. හරයක් නැති සෝබන බඩු පුරවල.), ඒ කියන්නෙ ෂෝ කේස් එකේ ඔය සම්මාන, සමරු ඵලක, විසිතුරු බඩු එක්කම සෙල්ලම් බඩු ගොඩකුත් තියෙනව දැක්කා. සෙල්ලම් වාහන වගෙ එව්වා. ටිකක් අසාමාන්‍ය නිසා මම ඇහුවා ගෙදර කෙනෙක්ගෙන්.

"ඔය පුතාල පොඩි කාලෙ උපන්දින වලට හම්බෙච්ච ඒව"

මෙහෙම කියපු ඒ අම්මා, මේ අහවල් දරුවගෙ අහවල් උපන්දිනේට අහවලා තෑගි දීපු එක ආදී වශයෙන් දිග විස්තරයක් කළේ හරිම ආඩම්බරෙන්.

මට මතක් වුනේ මගෙ පුංචි කාලෙ. මම පොඩි කාලෙ අපේ ගෙදර කන්දක් උසට තිබුණ, සෙල්ලම් බඩු නොවෙයි, ඒවගෙ සුන්බුන් අංගනයක්. ගෙනාපු සෙල්ලම් බඩුවක උපරිම ආයු කාලය මිනිත්තු කිහිපයක් විතරයි. හැබැයි එහෙම කරපු නිසාත්, මගේ ආදරණීය තාත්තා ඒකට බැන බැන ඉන්නෙ නැතුව ඒ ගැන ආඩම්බර වෙලා තව තවත් ගෙනත් දුන්න නිසාත් තමයි මම අද මේ තැන ඉන්නෙ. මොකද්ද ඒ හරුපෙ කියල බලනව ඇති....?

මේක ගොඩක් දෙමාපියො නොදැකපු පැත්තක්. තමන්ගෙ දරුවා සෙල්ලම් බඩු පොළොවෙ ගහල කඩනවනම් ගොඩක් අයට දරුවා ගැන ඇතිවෙන්නෙ එච්චර ප්‍රසන්න හැඟීමක් නොවෙයි. මහ පෝරිසාදයෙක් කියල වගේ හැඟීමක්. ඒත් ඇත්තටම දරුවා ඒක කරන්නෙ ඉගෙන ගන්න නම්? කුතුහලය නිසා නම්...? 

ඉස්කුරුප්පු නියං පාවිච්චි කරල ඒක ගලවන්න එයාල දන්නෙ නෑ. ඒක නිසා අමුතු සද්දයක් එනවනම්, වයින් කරන එකක් නම්, මැටි ගොඩ වගෙ ඔහෙ තියෙන්නෙ නැතුව මොකක්හරි විදියකට ක්‍රියාකාරී වෙනවනම් බොහෝ විට කොළු පැටවු සෙල්ලම් බඩු දෙපළු කරන්නෙ ඒක ඇතුළෙ තියෙන යාන්ත්‍රණය බලන්න, තියෙන කුතුහලයට.
"මොකාද බොලේ මෙක ඇතුලෙ ඉඳගෙන දඟලන එකා" කියල බලන්න මිසක් ඒක විනාශ කරල පහත් සතුටක් ලබන්න නොවෙයි, 

ගොඩක් වෙලාවට. අවාසනාවකට අපේ දෙමාපියො / නෑදෑයො 

'අනේ ෂෝයි....!' 

කියල කියන්නෙ එහෙම ගවේශණශීලී මනසක් තියෙන දක්ෂ දරුවන්ට නෙමෙයි, වැඩි හාවක් හූවක් නැතුව ඔහෙ එකතැන ලැගල ඉන්න ලෙඩ්ඩුන්ටනෙ. 

මතක තියාගන්න, අද සෙල්ලම් බඩු කඩන ඔබේ පොරිසාද පැටියා අනාගතේ ලෝකෙට නව නිපැයුම් දායාද කරන දක්ෂ ඉංජිනේරුවෙක්, මහා විද්‍යාඥයෙක් නැත්නම් සමාජයේ දැවෙන ප්‍රශ්න තාක්ෂණිකව විසඳන ඉටුදෙවියෙක් වෙන්න පුළුවන්. 
(ඒකට ඉතින් කැම්පස් යන්නම ඕනෙ නෑ. අයින්ස්ටයින් කැම්පස් ගියෙ 4 වෙනි අවස්ථාවෙ, සරසවි පිවිසුම් විභායෙන් අවම ළකුණු අරගෙන.) 

මේක විහිළුවක් නෙමෙයි, අත්දැකීමෙන් කියන්නෙ,  ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලංකාවෙ කීර්තිමත්ම සරසවියෙ රොබෝ ඉංජිනේරු විද්‍යාව ගැන පර්යේෂණ කරන්නට මට අවස්ථාව උදාකිරීමේ ලොකුම ගෞරවය ලැබෙන්න ඕනා මගේ අතින් කැඩුණු සෙල්ලම් බඩු වලට. (සහ ඒක 'ත්‍රස්ථවාදී' ක්‍රියාවක් විදියට නොදැකපු තාත්තට.)

ප්‍රථම උපාධියේ කණ්ඩායම් ව්‍යාපෘතියට අපි කළේ රෝවරයක්, ඒ කියන්නෙ රොබෝ වාහනයක් හදපු එක. ඒකෙ ගොඩක් සංකීර්ණ යාන්ත්‍රික පද්ධති සැලසුම් කළේ මම. සෛධාන්තිකව ඉගෙන ගත්ත දේවල් වලට වඩා මට එතනදි ගොඩක්ම ප්‍රයෝජනවත් වුනේ මම අවුරුදු 4-5 දි ඉඳලම සෙල්ලම් බඩු වලදි දැකල පුරුදු යාන්ත්‍රික උපක්‍රම. 

උදාහරණයක් විදියට, කරකැවෙන අක්ෂයක දිශාව අංශක 90 කින් වෙනස් කරන සිද්ධාන්තය මම අවංකවම ඉගෙන ගත්තෙ අවුරුදු 4 දි. තාත්ත හිඟුරක්ගොඩ ගියපු දවසක තල්ලු කළාම උඩ පෙති කැරකෙන හෙලිකොප්ටරයක් දැකල ගෙනාව. (ඒ දවස්වල අපි හිටියෙ පොළොන්නරුවෙ. අපේ අම්ම තාත්තා දෙන්නම ගුරුවරු. දුෂ්කර සේවයෙ හිටියෙ. ) මට මේක දැකල හරිම පුදුමයි. තල්ලු කරනකොට රෝද කැරකෙන්නෙ පොළොවට සමාන්තර අක්ෂයක, හැබැයි කැරකෙන පෙති සම්බන්ධ වෙලා තිබුණ කූර ඊට ලම්භකයි. මම බැලුවා 
"යකෝ මේක මාර කෙළියක්නෙ. මෙහෙම වෙන්නෙ කොහොමද...? ගලවලා බලන්න ඕනෑ."  

මම කළේ ඉතින් වැඩේ දීපු එක. එවෙළෙම පොළොවෙ ගහල දෙපළු කළා. වැඩේ හරි. 
"එහෙනම් මේකයි හොරේ ආ....?" 



අපේ ප්‍රොජෙක්ට් එකේදි ඇත්තටම මම දැම්මෙ එදා දැකපු තියරිය. මේක ඇත්තම ඇත්ත කතාවක්. 

දුන්නක ශක්තිය ගබඩා කරන්නෙ, පස්සෙ ඒ ශක්තිය හිමීට ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ අවුරුදු 5 දි.  මගේ අවුරුදු 5 උපන්දිනයට චූටි බාප්පා තෑගි කළ වයින් කරන මෝටර් බයිසිකලෙන් තමයි ඒ තියරිය බොක්කටම දාගත්තෙ.




එදා ඒක කැඩුවම ගොඩක් අය මම අනාගතයෙදි සමාජ විරෝධියෙක් වෙයි කියල අනාවැකි පළ කළා. වැරදියි. මම අද කීර්තිමත් සරසවියක ආචාර්යවරයෙක්.   

ඒක ලොකු කමකට කියන දෙයක් නෙමෙයි, ඊටත් වඩා අඩු වයසක ඉන්න ඔබේ දරුවා, ඊටත් වඩා සංකීර්ණ දේවල් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ඔබ හීනෙන්වත් නොහිතුවට. 
දැන් ඉන්න පොඩි එවුන් කොහොමත් හෙන ඇඩ්වාන්ස්නෙ. (මේ කතාව මාර ෆන්, හැබැයි කියවල බලන්න මම කිව්වෙ බොරුද කියල...!)
මේ ලෝකෙ බිහිවෙච්ච ඕනෑම දක්ෂ නව නිපැයුම් කාරයෙක්ගෙම, විද්‍යාඥයෙක්ගෙම ළමා ලෝකෙ ජීවිත කතාව ඔහොමයි. 

ඉතින් පටන්ගත්ත තැනින්ම අවසන් කරන්නම්....
මම හිතපු විදියටම, අර ගෙදර තරුණයො දෙන්න කිසිම නිර්මාණශීලී දෙයක් අද වෙනකම් කරල නෑ. කරන්නෙත් නෑ. ජීවත් වෙන්න ඕනවට මොකක් හරි රස්සාවක් කරල ජීවත් වෙන ඔහෙ පාවෙන ඒකාකාරී ජීවිත. ජීවත් වුනත් කිසිම ජීවක් නෑ වගෙයි මට නම් පෙණුනෙ. ඒක එයාලගෙ වැරැද්ද නෙමෙයි. කොහෙද එයාලගෙ අම්මලට ලොකු වුනේ ඊනියා තැන්පත් බව මිසක් දරුවෙක්ගෙ නිර්මාණශීලී හැකියාවන් ඔපදාන්න නෙමෙයි. ලොකු පඩියක් තියෙන මොකක් හරි රස්සාවක් කරල ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන කසාදයක් කරගත්තම ඔක්කොම හරි කියන සමාජයක එක අතකට එහෙම වෙන එක අරුමෙකුත් නෑ. 

තව දෙයක් මම දැක්ක. මේකත් මම ගොඩක් තැන්වල දැකපු එකක්. ගෙදර අම්ම තාත්තයි, දරුවොයි අතරෙ අපේ ගෙදර තරම් සමීප සම්බන්ධයක් නෑ. ඒකට මම දැකපු ප්‍රධාන හේතුවක් තමයි දෙමාපියො දරුවන්ට කතාකරන්නෙ නම කියල. ඒක බටහිරට හරියන්න පුළුවන්. මොකද එහේ කරදඬු උස්මහත් වුනාට පස්සෙ ළමයි වෙනම ලෝකෙක, දෙමාපියෝ වෙනම ලෝකෙක. "පුතා" "දුව" කියල අමතනව තරම් ළයාන්විත බවක් නෑ නම කියල කතාකරනකොට. මොකද්ද එතකොට පිට මිනිස්සුයි තමන්ගෙ අයයි අතරෙ තියෙන වෙනස...? (මේක නම් මගේ පෞද්ගලික අදහසක්.) දශක 3කට ආසන්න මගේ ජීවිතේ මට අපේ ගෙදර අය කවුරුවත් අද වෙනකම් නම කියල කතා කරල නෑ. ඒ නිසාද මන්දා මට කවදාවත් ගෙදර මිනිස්සුන්ට බොරුවක් කියන්න, කරන්න බෑ.   

මම මගේ කතාව කිව්වම ඒ අම්මා නොකිය කිවුවෙ මෙහෙම දෙයක්....
"කොහෙද යන පණ්ඩිතයෙක්....! තාම කසාද බඳින්නවත් හිතලවත් නැති එකෙක් එනව මෙතන අපි ළමයි හදන හැටි කියල දෙන්න...!"

17 comments:

  1. මගේ ගෙදර උන්දෑගෙන් මෑග කොල්ලට තියෙන ලොකුම චෝදනාව තමයි

    "මේ කොල්ලට කිසි දේක අගයක් නෑ ඇයි අප්පච්චියි අම්මයි කඩන්න කඩන්න ආපහු ආපහු ගෙනත් දෙනවනේ"

    මම කියන්නෙත් උඹ කියන දේම තමා.

    ඌට තියෙන කුතුහලයට තමයි කඩලා බලන්නේ.

    මැටි ගොඩක් වගේ ඒක දිහා ඔහේ බලන් ඉන්නවනම් උගේ කිසිම නිර්මාණශීලීත්වයක් ගොඩනගෙන්නේ නෑ . .

    ඒක නිසා ඔන්න ඔහේ කඩන්න දෙන්න . .

    අපි ආපහු අරගෙන දෙමු . .

    හෙ හෙ හේ . . .

    අපි එක විදිහට හිතන අය නෙහ් මචං . . එල එල

    ReplyDelete
    Replies
    1. උඹල වගේ තාත්තලගෙ දරුවො තමයි නිසා තමයි මේ ලෝකෙ එකතැන පල් නොවී ඉස්සරහට යන්නෙ...දරුවෙක් හදනව කියන්නෙ ඌට බලෙන් කවල, බලෙන් ඉස්කෝලෙ, ටියුෂන් යවල, බලෙන් කටපාඩම් කරවල විභාග පාස් කරවන එක නෙමෙයි....ඒක තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද බං....?

      Delete
  2. මන් පුංචිම කාලේ ඒ කියන්නේදෙකේ තුනේ පන්ති වල .. අපේ තාත්ත උන්නේ පිටරට රට ඉඳන් එනකොට තාත්ත අරන් එන සෙල්ලම් බඩුවක් මිසක් වෙන දෙයක් මට තිබ්බේ නා... එත් ඒ සෙල්ලම් බඩුවක් පවා ගොඩ දවසක මගේ ගාව ඒ විදිහට තිබ්බේ නා .. එක කැඩුන ( ඇත්තටම මම කැඩුව ) ..

    ඒ කැඩුනාම මට සෙල්ලම් කරන්න වෙන දෙයක් නැති නිසා .. ඒ කැඩුණු කාලි එක්කහු කරලා .. එක එක ඒවා හදාගෙන මන් සෙල්ලම් කල .... ගෙදර තිබ්බ පරණ ලැලී කැළි අරන් තව පරණ ඉලෙක්ට්‍රිකල් කෑලි එකතු කරන

    මන් හය වසරට එද්දී වටේ හැම ගෙදරකම තිබ්බ ටීවී ගේම් ස්ට් එකක් ... එත් එහෙම එකක් මට ගන්න තරම් තත්වයක් තිබ්බේ නෑ .. ඉතින් මන් ඒ ගෙවල් වලට ගිහින් ආසාවෙන් බලන් උන්න ඒ ගෙවල් වල ළමයි සෙල්ලම් කරන හැටි ...
    මට ටීවී ගේම් නැති නිසා මන් මගේම විදිහට එක එක දේවල් හදන ගේම් කියල සෙල්ලම් කල ... ඉන්ජෙක්ෂන් සිලින්ජර අරන් ඒවායේ වතුර අස්සෙන් වායු බුබුළු යන විදිහ බලන් සෙල්ලම් කල ...
    මන් හිතුව කවද හරි දවසක මන් අර වගේ ටීවී ගේම් මංම හදලමං සෙල්ලම් කරනවා කියල .... ඒ දවස් වල පුංචි හිතේ එක ප්ලාන් පවා ආව ....
    ගොඩක් සෙල්ලම් මන් කලේ හිතෙන් .. එක එක දේවල් අටවල ඒවා අලුත් නිර්මාණ කියල දැක්ක ( ඇත්තටම බොහොම සරල භෞතික විද්‍යාත්මක සංකල්ප ) ...
    ඒ කාලේ මගේ ඉස්කෝලේ ගුරුවරු පවා ඒ මන් හදපු ඒ කෝලම් වලට ප්‍රසන්දා කල ...ගොඩක් හොඳ වැඩක් කීව ....
    ඉස්කෝලේ තිබ්බ නව නිර්මාණකරුවන්ගේ සංගමය කියල එකක් ... එකේ ඔය වගේ පොඩි උන් එකතු කරලා ඒ අය කරන වැඩ තවත් දයිර්යමත් කරන වැඩ පිළිවලක් තිබ්බ.
    ඒ වගේ දේවල් වලින් මාව තවත් තියුණු උනා ....

    හරියටම වසර දහයකට විතර පස්සේ .. අද .. මම ලංකාවේ ඉංජිනේරු පීඨයක ශිෂ්‍යයෙක් .....
    මාව කැම්පස් තේරුවේ එක්තරා වසරක තිබ්බ උසස්පෙළ විභාගයක ප්‍රතිපල තමයි ...
    එත් මාව ඉංජිනේරුවෙක් කලේ .. මගේ අතීතය ... මගේ ළමා කාලය ... මන් එදා හදපු එක එක කෝලම් පවා අගය කරලා මාව උස්සල ( මුරුංග) ඇත්තේ තියපු .... ගුරුවරු ....

    ReplyDelete
    Replies
    1. හැම නව නිපැයුම් කාරයෙක්ගෙම ජීවිත කතාවෙ පොදු පරිච්චේදයක් තියෙනව පුතා

      Delete
  3. මට විද්‍යාව සහ නව නිපැයුම් එපා කළේ, 7 වසරේ ටීචර්. හත වසරෙදි හදපු සර්කට් එක හොඳයි කියලා විද්‍යාගාරේ ආදර්ශකයට තිබ්බා. පහුවදා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා.. මේක මේ ළමයාම කරපු එකක් ද කියලා ප්‍රශ්න කළා..මම උත්තර දුන්නා... සර්කට් එකේ ලීය වාර්නිෂ් කරලා.. බල්බ් කලර් කලේ කවුද කියලා ඇහුවා. බොරු ඕනෙ නෑ.. අම්මා මට පාට කරන්න ටිකක් උදව් වුණා. මම ආඩම්බරෙන් කීවා මගෙ අම්මා ගැන.. ටීචර් කීවා එදා මම කීවෙ බොරු කියලා. එයාට ඕනෙ වුණේ පරීක්ෂක වරුන්ට හොඳ වෙන්ඩ. මට නැති වුණ දේ බොහොමයි ඉන්පස්සෙ.. ලොකුම දේ විද්‍යාවට... නව නිපැයුම් වලට තිබ්බ ආසාව නැති වීම.

    ReplyDelete
  4. ඔය සෙල්ලම් බඩු කැඩිල්ලේ පැති දෙකක් මං දකිනවා.... අවුරුදු 2-3 වෙනකොට ළමයින්ගේ තියෙන කුතුහලය නිසා හැමදේම පොළවේ ගහන්න බලනවා... ඕක කරන්නෙ තේරුමක් ඇතුව නෙවෙයි... අර සද්ද අහන්න ආසාවට... ඒත් අපේ සමහර දෙමවුපියෝ ඒ ළමයින්ට ගෙනත් දෙන්නේ වටිනාකමින් වැඩිම සෙල්ලම් බඩු.... බැටරි වලින් වැඩ කරන ඒවා, කරන්ට් එකෙන් වැඩ කරන ඒවා.. ඒවා ලොකු ගනං දීලා ගන්නේ.... මම මේ ළඟදි දැක්කා අවුරදු 2 බර්ත්ඩේ එකට ගනං හදන්න පුළුවන් ලැප්ටොප් එකක් වගේ එකක් ගෙනත් දීලා ළමයෙක්ට, ඒකා ගත්ත ගමන් දෙකට කැඩුවා.. ඇයි ඉතිං.. අර ඇරෙන වැහෙන හැටියට කාටද ඕක කඩලා බලන්න ආස නැත්තේ... ( වෙන තැනක දි නම් අම්මා ඕක අල්මාරියක දාලා තියයි ළමයට නොදී....)

    අපේ අම්මලා තාම දැනුවත් නෑ වයසේ හැටියට ළමයින්ට සෙල්ලම් බඩු තෝරන්න...පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක් තෝරන්න ගියාම කොච්චර දේවල් හිතන්න ඕනෙද කියන එක... සමහර ටෙඩීස්ලා වගේ සොෆ්ට් ටෝයිස් ළමයින් හොඳ නෑ.. බූල් නහයට යන ලාබ රෙදි වලින් හදලා තියෙන්නේ... මේවා කිසි කෙනෙක් කියලා දෙන්නේ නෑනේ..

    ළමයින්ට සෙල්ලම් බඩු කඩන්න දෙන්න ඕනේ... ඒ වගේම වයසට අනුව ළමයින්ට සෙල්ලම් බඩු අරන් දෙන්න ඕනේ... අපේ මලයා අවුරුදු 17දි විතර රිමෝට් කන්ට්‍රෝල් කාරෙකක් ඕනේ කියලා කිව්වම මම ඒකට එකක් අරන් දුන්නා... ටික දවසකින් ඕක ගලෝල, මස් කරලා , මොන මොනවද අටෝලා මොනාද කරලා තිබ්බා‌.. මං දැනගෙනම තමයි අරන් දුන්නේ... ඒක ගැන දුකක් නෑ ඉතිං.... මොකද මං දන්නවා එයා ඒකෙන් යමක් ඉගෙන ගත්තා කියලා... හි හි...

    ReplyDelete
  5. කතා දෙකක් කියන්න තියනවා.
    එකක් මගේ කතාව. මගේ පොඩි කාලේ ගතවුනෙත් මෙහෙමයි, මගේ මාමගේ වැඩපොළේ ඊයම් ගුලි එක්ක සර්කිට් කෑලි එක්ක. අද? අද මං විදුලි කාර්මික අංශෙන් ගියේ නැතත් ඒ ගැන දැනුමක් තියන කෙනෙක්.
    දෙවැනි එක, මගේ අනිත් මාමගේ පොඩි එවුන්.. සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්න ඒ අම්මා දෙන්නේ නෑ. එව්වා අල්මාරියේ. මං පොඩි එවුන් දෙන්නට රිමෝට් හෙලියක් ගෙනිහින් දුන්න.. ඒක එයාගේ අප්පච්චිගේ ප්ලේන් කලෙක්ෂන් එකට සින්න වුනා. පවු පොඩ්ඩෝ.. ඒත් ගෙදර තියන කම්පියුටර් එක එක්ක නම් දෙන්න ඇතිවෙන්න නටනවා. ඒකත් ලොකු දෙයක්.

    ReplyDelete
  6. අපේ අක්කගේ පොඩි කොල්ලට ගෙනත් දුන්නා මුල්ම පඩියෙන් සෙල්ලම් කාර් එකක් ..ගෙනත් දීලා විනාඩි 5 ක් ගියේ නැ.....අපොයි ...සල්ලි...

    ReplyDelete
  7. මගේ මෑනුත් මේ අවුරුදු 3හමාරට ලක්ෂ 2කවත් බඩු කුඩුකරලා තියනවා. කුඩුකරන්න අමාරුමනම් වයර් ටිකහරි ගලවනවා.

    ReplyDelete
  8. Mamath podi kaale ohomayi. Eth 4 wasaredi mama niyanen puluwan tharamak galawanna purudu una.

    ReplyDelete
  9. හරියට හරි සංවේදී... ඔබේ සටහන ඇත්ත... සෝබනේට හැදුනු කවුරුවත් ජීවිතේ ඊට එහා දැක්කේ නෑ. අපේ ගෙදරත් එක සෙල්ලම් බඩුවක්වත් ඉතිරි වුනේ නෑ... ඒ ඉතිරි නොවුන ගෙවල් වල දරුවන් ගිය දුර දැක්කම තමයි වෙනස තේරෙන්නේ...ස්තූතියි මේ සටහනට... අනේ අර ළමයා කොච්චර තැන්පත් ද.. ඒකට මේ ළමයගේ දාංගලේ කියලා බනින අම්මලා නැන්දලා ආච්චිලාට හොඳ ලියමනක් මේක.

    ReplyDelete
  10. අපේ ගෙදර තත්වෙනම් ඔය කලින් කියපු විදිහට තමයි මම ගොඩක් පුංචි කාලෙනම් අපිට සෙල්ලම් බඩු ගන්න තරම් වත්කමක් තිබුනේ නැ. තාත්තා රස්සාව නැති වෙලා ගෙදර හිට්යේ. ඒ දවස් වල පොල්පිති හරක්,රබර් ඇට බමර වගේ දේවල් තමයි සෙල්ලම් බඩු උනේ. පස්සේ තාත්තා රට ගිය නිසා ගොඩක් සෙල්ලම් බදු ලැබුනත් අම්මගේ පරෙස්සම් කීරීම නිසා තවමත් ඔබ කිව විදිහට ඒවා කැබිනට් එකක ලස්සනට තියෙනවා. හැබැයි ඒ වෙනුවට මම කරේ ගෙදර තිබ්බ අනිත් හැම යාන්ත්‍රික electronic බදු ඔක්කම ගලවපු එක. කාමරයක් තියනවා පුරවලා ඒ මමයි මල්ලි කඩාපු බඩු වලින්. තාත්තා නැති නිසා එයා එන හාම සැරේම අලුත් බදු ගෙන්න උනා අපි ඉවර කරපුවාට හරියන්න. ගුටිත් කැවා නොසැහෙන්න හැබැයි ඒ නිසා තමයි අපි දෙන්න අද මේ තත්වෙන් ඉන්නේ . මගේ පොඩි එකාට ඒ දේ නොකර පුළුවන් තරම් කඩන්න සෙල්ලම් බදු ගිහින් දෙන එක තමයි දැන් කරන්නේ.

    ReplyDelete
  11. අපේ මල්ලිත් බඩු කඩන හදන ජාතියේ එක්කෙනෙක්. දැන් එයා වෙනම ක්ෂේත්‍රයක හිටියත් ගෙදර බඩුවක් කැඩුනොත් ගොඩක් වෙලාවට එයා ඒක හදනවා. ඒ ඉස්සර කාලේ මෑන්ස් කරපු මක බාස් වැඩවල ප්‍රතිපලයක් වෙන්න ඕනේ අනිවාර්යෙන්.

    සංවේදී කියන විදියට නිවුණු සැනසුණු දරුවන් හදන අම්මලා නිසා දරුවන්ට වෙන කරදර ගැන මම දින කීපයකට කලින් ලිපියක් ලිව්වා. කැමති නම් මෙතනින් කියවන්න පුළුවන්.

    ReplyDelete
  12. අපේ දරුවන්ට දරුවන්ගෙ ලොකය ඇත්තටම හිමිකරලා දෙන්න පුලුවන්නම් කියලා මට හිතුන වාර අනන්තයි. එහෙත් අවාසනාවකට අපේ රටෙ බහුතරයක් දෙමාපියන්ට එහෙම සිතෙන්නෙ නැ. ඔවුන් තමන්ට ලන්කරගන්න බැරිවුන දෙවල් ලන්කරගන්න තමන්ගෙ දරුවන්ව පාවිච්ච් කරනවා. දරුවන් ඔවුන්ට දාව උපන්නත් එසේ කිරිම සාදාරන නොවන බව මගේ හැගීමයි. දරුවන්ට ඉහිලිය නොහැකි බර ඔවුන් මත නොපටවා දරුවන් තුළින් දරුවන් දකින්න උත්සහා කරනවනම් වටිනව................

    ReplyDelete
  13. පොළොන්නරුවෙ කොහෙද හිටියෙ සර් පොඩි කාලේ?
    මම පොළොන්නරුවෙ හිගුරක්ගොඩ ඉස්කෝලේ ගියා මම 2 වසරට වෙනකන් තාත්ත හිගුරක්ගොඩ ගුවන්හමුදා කදවුරේ හිටියේ

    දැන් අරලගංවිල

    ReplyDelete
    Replies
    1. ඉස්සරම 400 කියන ගමේ...ඊට පස්සෙ බැඳිවැව..මට අවුරුදු 6 වෙනකම් විතරයි හිටියෙ. ඊට පස්සෙ මාතර ආවා.

      Delete