Friday, March 15, 2013

මදුරු දඟරය


එදින මා සරසවියට ගියේ පර්යේෂණය පිළිබඳ මහාචාර්යතුමාගෙන් උපදෙස් ගැනීමටය. පසුදාට පර්යේෂණ පත්‍රිකාවක් භාරදීමට නියමිතව තිබූ හෙයින් ගෙදර නොගොස් පිළියන්දල නගරයේ මිතුරකුගේ නවාතැනක එදින රාත්‍රිය ගත කිරීමට තීරණය කළෙමි.
කිසිවකුට කරදරයක් නොවන පරිදි, වැඩ අවසන් කළද තවමත් භාවිතයට නොගත් මුළුතැන්ගෙයි මම ලැප්ටොප් පරිගණකය අටවාගෙන වැඩ ආරම්භ කළෙමි.

මා අඩ අඳුරේ සිටියේ ගැඹුරු කල්පනාවකය. සංකීර්ණ සෛධාන්තයක් සාධනය කරමිනි.

නවාතැනේ නිත්‍ය සාමාජික සොයුරෙක් කාමරයට එබී බලා මා වැඩකරනු දැක,
"අය්යේ, හරියට මදුරුවො නේද..?" යි ඇසීය.
මා වටකර දැවැන්ත මදුරු සේනාවක් කඳවුරු බැඳ ඇතිබව මා දුටුවේ එවිටය.
"කොයිල් එකක් පත්තු කළානම් හරි..."
මා කීවේ ප්‍රති-උත්තර වශයෙන් මොනවා හරි කිව යුතු නිසාය.

එසේ කියා මා දිගටම වැඩෙහිම නිරත වීමි. වැඩ කරන විට මට මදුරුවාත් එකය, ඊට වැඩිය ලොකු එකෙකුත් එකය, මොකා කෑවත් මට ගණනක් නැත. අවධානය ඇත්තේ වෙනතක බැවිනි.

ගිණි කූරක් ගසන හඬින් සහ එළියෙන් මගේ අවධානය බිඳිණ. 

ඔහු කොහෙන් හෝ මදුරු දඟරයක් සොයාගෙන පැමිණ ඇත. 
ඔහුගේ කාමරය අල්ලපු එකය. අප කාමර දෙකටම මැදින් එය තැබුවානම් හරිය.
ඉන් පසු මගේ අවධානය යළි දරුණු ලෙස පැහැර ගැනීමට මා කරමින් සිටි වැඩය සමත් විය. යම් කිසි සාධනීය තැනකට එය ගෙනා මම මද විවේකයක් ගැනීමට නතර කළෙමි.

මා පය පාමුළ දැවෙමින් තිබූ මදුරු දඟරය මා දුටුවේ එවිටය.
ඊට බොහෝ ඈතින්, යාබද කාමරයේ එය දැල්වූ සොයුරා මදුරුවන් තලමින් පාඩම් කරනු දුටිමි.

මෙය ආගන්තුක සත්කාරයද...? නොමැතිනම් උතුරා යන මනුෂ්‍යත්වයද...? ඇතැම් විට ඒ දෙකම විය හැකිය....
කොන්ක්‍රීට් වනාන්තරයට පයතබා වසර ගණනක් ගතකළත්, උතුම් මනුදම් ගිළිහී යා නොදී සුරැකිව තබාගැනීම වෙනුවෙනි මේ සටහන.... 

6 comments:

  1. සංවේදී සටහනක් අදයි මේ පැත්තෙ ආවෙ. සමහර අය ළඟ තාමත් අපේ රටේ මනුස්සකම තියෙනවා. මේ වගේ සොඳුරු මිනිසුන් තාම ඉන්නවා අමනුස්සයන් අතරේ.ඔබට ජය!

    ReplyDelete
  2. නොමිනිසුන් කෙතරම් ඇතත් සොයාගත හැක මිනිසෙකු විටෙක, තමා මිනිසෙකු නම්.
    මචන් මම අද මේ පැත්තට ආවේ, මිනිහෙක්ට විතරයි මිනිහෙක්ව දකින්න පුළුවන්..... අද උඹ මේ පෝස්ටි එකේ ඒ දේ පේනනලා තියෙනවා.

    ReplyDelete
  3. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ..මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. His name is Nuwan, තණමල්විලින් කොළඹ ඈවිත් class කරන ගමන් ඩෙග්‍රීයත් ගොඩ දාල අද හොද තැනක ඉන්න බුවෙක්. බයිසිකලෙ තණමල්විල ඉදන් බස් එකෙ දාගෙන කොටුවට අවිත් එතන ඉදන් පිලියන්දලට පැදගෙන අවිත් තමයි මිනිහ පටන් ගත්තෙ. ඉට පස්සෙ පල්සර් බයික් එකක් ගත්ත. දැන් තිර්ස්ටන් උගන්නන ගමන් class කරල මුලු පවුලම ජිවත් කරනව.

    ReplyDelete
    Replies
    1. මචං, උඹ කියන කෙනාත් (පබා) එහෙම අන්තිම හිත හොඳ කොල්ලෙක් තමයි. ඒත් කොයිල් එක පත්තු කළේ ඌ නෙමෙයි. (මිනිහත් ඔය වගේ වැඩ කරනවා අනන්ත), මිනිහගෙ යාලුවා, කොළඹ කැම්පස් එකේ Chemistry MSc කරන මල්ලි. (නම දන්නෙ නෑ.)

      Delete