Monday, May 13, 2013

අපේ අල්ලපු ගෙදර මලයගෙ වැඩ හෙවත් ලංකාවේ පළමු සබ්මැරීනය

(මේක මගේම වෙනත් බ්ලොග් අඩවියක තියපු සටහනක්.) 

අපේ අල්ලපු ගෙදර ඉන්නවා සාගර විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්.

දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර.


"අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?" 


සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්.  කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) මොන වගේද කියල Simulate (සමාවෙන්න. ගැලපෙන සිංහල වචනෙ දන්නෙ නෑ. Virtual Reality - අතත්‍ය යථාර්තයද මොකද්ද කියල කියනව) කරල බලන්න පුළුවන්.


"අයියෝ මල්ලි මගේ ගාව තියෙන්නෙ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ පාවිච්චි කරපු රජ කාලෙ වර්ෂන් එකක්නෙ. දැන් අවුරුදු 7ක් විතර පරණයිනෙ. ඒ මදිවට වෛරස් ගාර්ඩ් කාරය ඒකෙ ක්‍රැක් එකත් කාලා. මොන වගේ වැඩකටද...?"


"කමක් නෑ එහෙනම්. මේ පොඩි වැඩකට. කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට."


ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්න කීපයකට විසඳුම් අහගත්ත මිනිහ යන්න ගියා.


  *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *  


මම උගන්වන්නෙ විශ්වවිද්‍යාලෙ විද්‍යා පීඨෙ වුනත් ඉංජිනේරු පීඨෙ සෑහෙන ළමයි පිරිසක් මාව අඳුනනවා. එහෙම කෙනෙක් ළඟදි ආව මාව මුණ ගැහෙන්න. ඔය ආගිය කතා අතරෙ මෙහෙම කතාවකුත් ඇදුනා.


"සර් මේ ළඟද ඉන්නෙ...?"


"ඔව්නෙ. කැකණදුර. ඇයි දන්නවද ඒ හරිය..?"


"නෑ. උදිත අතුකෝරල දන්නවද...?"


"ඔව්. දන්නවා. අපේ ගෙවල් ළඟ. අර සාගර විශ්වවිද්‍යාලෙ ඉන්න හාදයනෙ...?"


"මිනිහ පට්ට වැඩ්ඩෙක්නෙ. මිනිහ සබ්මැරීන් එකක් හදල දැන් මාර ප්‍රසිද්ධයි...."


"නෑ...!" මට පුදුම හිතුණා. මෙච්චර එකක් වෙලත් මම හාංකවිස්සියක්වත් දැනගෙන හිටියෙ නෑනෙ.


ඕක තමයි කියන්නෙ ගමේ පුහුලන් ගමට අගේ නෑ කියල.


නොදන්න අයට දැනගන්නයි කියන්නෙ. මේක සරල වැඩක් වගෙ පෙනුනට ගොඩක් අමාරු අභියෝගයක්.


විෂේශයෙන්ම මුහුදු වතුරෙ ඝනත්වය වැඩියි. මුහුද යටදි පීඩනය දරාගන්න විදියට කුටියක් නිර්මාණය කරනව කියන එක පහසු කටයුත්තක් නොවෙයි. සමහර වෙලාවට පීඩනය වර්ග අඟලට ටොන් ගණනක් වෙන්නත් පුළුවන්. පොඩි හරි නොසැලකිළිමත්වීමකින් දුර්වල තැනකින් වතුර කාන්දු (leak) වෙන්න පුළුවන්. 


අනිත් එක තමයි මේ තාක්ෂණය හරිම දුර්ලභයි. කිමිදෙන්න සහ ආපහු උඩට එන්න පාවිච්චි කරන්නෙ ටැංකි වලට වතුර පුරවගන්න එකයි ආපහු හිස් කරන එකයි. මේකත් ගොඩක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. අධි පීඩන වායු තමයි හිස්කරන්න යොදාගැනෙන්නෙ. 


කෙනෙකුට ගොඩක් සරලයි වගෙ පෙණුනට මේව බොහොම භාරදූර වැඩ. පොඩි හරි වැරදීමකින් ඇතුළෙ ඉන්න කාර්ය මණ්ඩලයට අනතුරක් වෙන්න පුළුවන්.

ඉතින් මේ අභියෝගය ජයගත්ත අපේ උදිත මලයට මගේ උණුසුම් සුභ පැතුම්.

අපේ රටට තවතවත් ඕන මේ වගෙ අළුත් දේවල් කරන මොළ. එහෙම අය ගැන දැනුවත් කිරීම මගේ යුතුකමක් විදියට හැඟුණු නිසයි මේ සටහන. අනිත් එක රට වටේටම මුහුද තිබුණත් අපේ රටේ සාගර සම්පත් ගවේශනය තියෙන්නෙ තවමත් ඉතාම අසතුටුදායක තත්වයක.මේ වගේ අඩුවියදම් දේශීය තාක්ෂණික උපක්‍රම භාවිත කරනවනම් අපිට ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ එන්න සුළු හරි රුකුළක් ලැබෙයි කියල හිතෙනව.








ප.ලි. මේක දැනට සෙමි-සබ්මැරීන්, ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම ගිලී නොයන මට්ටමේ තියෙන්නෙ. ඒ වුනාට උදිතට අවස්ථාවක් දෙනවනම් සම්පූර්ණයෙන්ම ගිලෙන මාදිලියෙ එකක් වුනත් හදන්න අවශ්‍ය කරන දැනුම තියෙනව කියල මට හොඳට විශ්වාසයි.

9 comments:

  1. තාක්ෂණික දැනුම තියන මේ වගේ වැඩ්ඩෝ අපේ රටට සම්පතක්.. ඒත් කොමිස් කාක්කො නිසා තැනක් නැතිවෙන අන්තිමේ රට පනින්න තැනට වැඩ සිද්ද වෙන නිසා මෙයාගෙන් රටට වැඩක් වෙන්න ආරක්ෂක ලේකම් තුමාට වත් මේවා පෙනේනන ඕනා.. මේකට කමෙන්ටුවක් දැම්මේ නැත්තං ඒක කුහකකමක් කියලා හිතුනා... අනේ අපිටත් මේකෙ බලන්න බැරිද සහෝදරයා... විශීෂෟඨත්වයේ උපරිමයි.. අනේ මේකේ වීඩියෝවක් නැද්ද බලන්න?

    ReplyDelete
  2. දක්ෂ කොල්ලෙක්.වැරදි රටක ඉපදුනු එකයි අව්ල.එක්කො පිටරටකට ඕක අරන් ගිහින් develop කරන්න.ඔයාගෙ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් වෙයි.නැත්නම් ඕක දැන්මම අතෑරලා දාන්න.නැත්නම් ඔයාටත් වෙන්නෙ ඩෙන්ගු වලට බෙහෙත් හොයාගත්ත,ස්වයංක්‍රීය රේල් ගේට්ටු හොයාගත්ත අයට වෙච්ච ටිකම තමයි.

    ReplyDelete
  3. දක්ෂ කොල්ලෙක්. ඒත් ආණ්ඩුවෙන් මේ වගේ අයට ලැබෙන සහයෝගය නං හුඟක් මදි. වෙන රටවල්වල නං මේ අයට උපකාර කරන්නේ පැනලා. මොනවා වුණත් හොඳ නිර්මාණයක් වගේ පේනවා. තවත් හොඳින් දියුණු කරන්න පුළුවන් වුණොත් රටට හුඟක් වැඩදායක වෙයි.

    ReplyDelete
  4. දක්ෂ ළමයෙක්

    සුබම සුබ අනාගතයක් පතනව

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මෙවන් හදුන්වාදීමක් අපට දුන් එකට..හැකිනම් උදිත සම්බන්ධකරගන්නට අවස්ථාවක් සකසා දෙන්න. මගේ මේලය මූණුපොතේ ඇති..කළ හැකි උදව්වක් කර දිය හැකිය.

    ReplyDelete
  6. මේ වගේ අභියෝග බාර ගන්න අයට දිරි දෙන්න ඕනේ. එහෙම වුණාම තමයි තව තවත් මේ වගේ දක්ෂයන් බිහි වෙන්නේ.

    ReplyDelete
  7. කොයිතරම් වටිනවාද මේ වගේ දරුවො. අපේ රටේ සම්පත්. කවුරුහරි අත දීල ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් වටිනවා. ජයම පතනවා මේ පුතාට. ස්තූතියි ! ඔබටත් විස්තරේට.

    ReplyDelete