සටහන තැබීමට කළින් කාරුණික මතක් කිරීමක් කරනු කැමැත්තෙමි. එනම් උග්‍ර භෞතිකවාදී අදහස් දරන අයට මෙය කිසිසේත්ම ඉන්ද්‍රීය ගෝචර සංකල්පයක් නොවන හෙයින්, ඔවුන් මෙය කියවීමට සිය වටිනා කාලය මිඩංගු නොකළ යුතු මනාය. සෘජුවම කිවහොත්, විශ්වයේ පවතින්නේ මිනිස් සිරිරේ භෞතික සංවේදන ඉන්ද්‍රියන් වන ඇස, කණ, නාසය, දිව හා චර්මය යනාදියට සහ විද්‍යාත්මක උපකරණ හෝ ගණිතයමය අභ්‍යුනය, තර්කනයට හසු වන්නා වූ බලවේගයන් පමණක්මැයි යන මතයේ දැඩිව එල්බගත් අයවළුන්ට මෙය සාතිශය බොලඳ, විද්‍යාත්මක සාක්ෂ්‍යවලින් තොර, හුදෙක් ප්‍රලාථයක් පමණක් වනු ඇති බවය.
Extrasensory Perception (ESP) යනු ඉහත කී පංචේන්ද්‍රියයන්ට හැර, සයවන ඉන්ද්‍රියක් ලෙස සැලකෙන මනසට අතිග්‍රහණය කෙරෙන පණිවුඩ හා බාහිර සංවේදනයන් පිළිබඳ කෙරෙන අධ්‍යනයකි. මෙය ඩූක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ ජේ.බී. රයින් විසින් මූලිකත්වය ගෙන ක්‍රමවත් අධ්‍යයනයකට බඳුන් වූවායැයි සැලකෙන නමුත්, විද්‍යාත්මක දර්ශනය පිළිබඳ දේශනයකදී මෙකී විෂය පථය ප්‍රථමයෙන්ම ගැඹුරුන් හදාරා ඇත්තේ සිද්ධාර්ථ ගෞතම විසින් බව අසන්නට ලැබුණේ අබෞද්ධ විද්‍යාඥයෙකුගේ මුවිනි. (සිද්ධාර්ථ ගෞතම යන නම ඇසුණු සැණින් 'ආගම නේ? අපොයි අවිද්‍යාව. මිත්‍යාව' කියා අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරන 'ප්‍රාමාණික විද්වතුන්' මෙරටද දුලබ නොවන බව කණගාටුවෙන් සටහන් කර තබන්නේ ලද අත්දැකීම් මත ය.)
පඳුර වටේ තැළුවා ඇති ය.
ආසන්නතම අත්දැකීම ලද්දේ ඉතා මෑතකදීය.
එකම සම්මුඛ පරීක්ෂණයට මුහුණ පා, එකම දිනයේ ස්ථිර පත්වීම් ලද, ඉතා ලෙන්ගතු දමිළ ජාතික මිතුරෙකු මට සිටී. දැඩි හින්දු භක්තිකයකු වන ඔහුද මා මෙන්ම ඉතා සංවේදී අයෙකි.
සති 2කට පමණ ඉහතදී, මා සේවය කරන සරසවියේ අවසන් වසර සිසුන් විසින් සමුගැනීමේ සාදයක් සංවිධානය කර තිබුණි. කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ටද ඊට ඇරයුම් ලැබුණි.
ආචාර්ය මණ්ඩලයේ අයට සමරු ඵලකයක්ද පිරිනැමුණි.
සාදය අවසන, සිසුන්ට සුභ පතා මා වාහනයට පැමිණියේ තරමක් ප්‍රමාද වී, අවසානයටය. මා එනතුරු මිතුරන් සහ අංශාධිපතිතුමා මිනිත්තු කිහිපයක් රැඳී සිට ඇත.
නිල නිවාසයට ආසන්න වත්ම මට හදිසියේ යමක් මතක් වීමෙන් මහත් කණගාටුවක් ඇති විය. එනම් මා ලද සමරු ඵලකය හෝටලයේ අමතක වී දමා විත් වීමයි.
එය මේ සරසවියේ සිසුන්ගෙන් මා ලද පළමු සිහිවටනය වීම නිසා එය මට මහඟු වටිනාකමකින් යුත්තක් විය. මට යළි යළිදු දැනුනේ මහත් පශ්චාත්තාපයකි.
ඒ පිළිබඳම මා මිතුරාටද පැවසීමි. ඔහු කිසිත් නොකී ය.
නිල නිවාසය කීවාට ඇත්ත වශයෙන්ම මාත්, මගේ දමිළ මිතුරාත් තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාර්ය මණ්ඩලයට වෙන්වූ කාමරයකය.
මුහුණ සෝදාගෙන පැමිණ යළි මේසය ඉදිරිපිට හිඳගත් මා විමතියට පත්වීමි.
මට අමතක වූ සමරු ඵලකය මේසය මත විරාජමානව සිටී...!
මේ නම් මා මිතුරාගේ වැඩක් බව මම එසැණින් වටහා ගතිමි. එහෙත් මට එය අමතක වන බව ඔහු කල්තියා දැනගත්තේ කෙසේද? ඔහු උත්සව ශාලාවෙන් පිටවූයේ මා ඉන් පිටවීමට මිනිත්තු කිහිපයකට ප්‍රථමය.
මේ පිළිබඳව ඔහුගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ කිසියම් අධ්‍යාත්මික බලවේගයක් (Spiritual Influence) විසින් මට එය අමතක වනබව ඔහුට දැනගන්නට සැලැස්වූ බවයි. සාමාන්‍යයෙන් මමද අත්භූත බලවේග (පමණක් නොව නක්ෂ්ත්‍රය, ගුරුකම්, දෙවියන්, යක්ෂයින් පමණක් නොව බෝධි පූජා හා පිරිත් පවා) කෙරෙහි දරන්නේ ඇල්මැරුණු ආකල්පයක් වුවද කිසිදු හේතුවක් නිසා අසත්‍යයක් නොපවසන මගේ මිත්‍රයා කියන දෙය එක්වරම ප්‍රතික්ෂේප කිරීමට මට සිත් නොවේ.
මේ හා සමාන වෙනත් අත්දැකීමක්ද මා සතුව පවතී. ඒ මීට වසර 8කට පමණ පෙරාතුව, මා සරසවි ශිෂ්‍යයෙක් වී කාලයේ ය.
සරසවියේ සිවු වසරම මා හා එකටම සිටි ඉතා කුළුපග මිත්‍රයෙක් විය 'තෙලා'. ඉතාම අවිහිංසක, අවංක, අව්‍යාජ මිත්‍රයෙක් වූ ඔහු ගැන වෙනම සටහනක් නොතැබීම ඔහුට කරන බලවත් අසාධාරණයකි.
සවස් වරුවේ දේශන නිමවී මා නවාතැනට ගොඩ වූයේ දැඩි තෙහෙට්ටු ගතියෙනි. වේලාව ගත වත්ම මා උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඒ සමඟම දැඩි කුසගින්නක් මා කය දවන්නට වූ අතර ශරීරය අප්‍රාණික වූ නිසා අන්ත අසරණ භාවයකට පත්වීමි.
මා දියවැඩියා රෝගයෙන් පීඩා විඳි නිසා සාමාන්‍ය ආහාර පරිභෝජනයට නොගෙන, විශේෂයෙන් සැකසූ ආහාරයක් ගන්නා ලෙසට වෛද්‍යවරු උපදෙස් දී තිබුණි. එය පිළියෙළ කිරීමට සරසවිය අසල නිවසක කාරුණික කාන්තාවක් භාරගෙන තිබුණි.
බෝඩිමේ මිතුරන් සියල්ලට දුරකථන ඇමතුම් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. ඒ අතර දැඩි වර්ෂාවක්ද ඇද හැලෙන්නට පටන්ගත් අතර ක්‍රමයෙන් අඳුරද ගලා එන්නට විය.
අධික සීතලෙන් හා කුසගින්නෙන් පීඩා විඳිමින් සිටි මොහොතක 'තෙලා' ගෙට ගොඩවූයේ හිතට මහත් සැනසීමක් ගෙනදෙමිනි.
"මචං...මට කෙළ උණ. උබට පුළුවන්ද අජන්තා අක්කගෙන් මගෙ කෑම එක අරගෙන එන්න?"
ඔය කියන අජන්තා අක්කාගේ නිවසට මෙතැන සිට කිලෝමීටරයක් පමණ දුරය. ඒ මදිවට පිටත අධික ශීතලය. නා කපන වැස්සය. ගණ අඳුරය. කෙසඟ දුර්වල සිරුරකට හිමිකම් කී තෙලාට එය මේ මොහොතේ මහත් අභියෝගයක් වනු නිසැකය. ඇරත් ඇගේ නිවස පිහිටා ඇත්තේ මුඩුක්කුවක් වැනි එතරම් ප්‍රියමනාප නොමැති පරිසරකය. තෙලා එවැනි පරිසරයකට රෑ පානේ තට්ට තනියම යවන්නේ සිතකින් නොවේ.
මද සිනාවක් පෑ 'තෙලා', මා මහත් පුදුමයට පත් කරමින් සිය බෑගය විවෘත කර මගේ කෑම පාර්සලය ගෙන හැර පෑ ය.
"පුදුමයි නේ බං. උඹ එතනින් නෙවෙයිනේ වෙනදට කන්නේ...?"
"නෑ. බං. මං ගෙදරටම ගිහින් ගෙනාවේ. ඒ වෙනුවෙන්ම."
"උඹ කොහොමද දැන ගත්තේ මම කෑම එක ගත්තේ නෑ කියලා..?"
"මට නිකං හිතුනා."
"නිකං...?"
මගේ අම්මාටනම් එවැනි අත්දැකීම හිසේ කෙස් ගණනට තිබේ.
නමුත් ඒ සිහින මාර්ගයෙනි.
කලකින් හමු නොවූ ගමේ සමීප ඥාතියෙක් සුදෙන් සැරසී ඇගේ සිහිනයට පැමිණේ. අදාල ඥාතියා තවදුරටත් ජීවතුන් අතර නොමැති බවට දුරකථන ඇමතුමක් පසුවදාට ලැබෙයි...!
ඇගේ ආසන්නතම 'අධ්‍යාත්මික හීනය' මෙසේය:
මා කුඩා කිරි දරුවෙකුව සිට ක්‍රමයෙන් වත්මන් ස්වරූපය දක්වා රූපාන්තරණය වී, එක්වරම නැගිට මහත් අභිමානයෙන් යුතුව ඇවිදියි.
ඒ දිනවල මා සිටි මානසික මට්ටම ඉතා සංකීර්ණ එකක් විය.
සය මසකට පෙර මා සේවය කළ සරසවියෙන් ඉවත් වී ආචාර්ය උපාධිය සඳහා විදේශීය සරසවියක ලියාපදිංචි වුවද, පොරොන්දු වූ මූල්‍යමය සහනය නොලැබී යාම සහ සැඟවුණු ගාස්තු ඇතුළත්වීම යන හේතු නිසා එය තාවකාලිකව අත් හැර දමා ගෙදර එන්නට සිදුවිය.
මාස 5ක් පමණ දේශීය හා විදේශ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ දුසිම් 2කට පමණ ඉදිරිපත් වුවද, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා සුදුසු රැකියාවක් නොලදිමි.
කිසිදු ආදායමක් නොමැති වීමෙන් ආර්ථික දුෂ්කරතා හිස ඔසවන්නට වූ අතර, මාස 5ක පමණ ඇවෑමෙන් වාහනය පවා ලක්ෂ 7ක් පමණ පාඩුවට විකුණා දමන්නට සිදුවිය.
මේ හේතුවේන් මා පසු වූයේ බලවත් මානසික පසුබෑමක ය.
අම්මාගේ සිහිනය සංඛේතාත්මකව සැබෑවක් බව සාධනය කරමින් පසුදින උදයම මට එක්තරා ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් ලැබුණි.
ඒ මා උගත් සරසවියේ ස්ථිර කථිකාචාර්ය තනතුරට පත්වීමකි.
මෙවැනි තවත් එක් අත්දැකීමක් පමණක් සටහන් කර තබන්නෙමි.
එදින අම්මාගේ සිහිනය ඇය නිවසේ ඉදිරිපස දොර තදකොට අල්ලාගෙන සිටින දර්ශනයකි. දොරේ අගුළු නොදා තිබූ අතර, කිසියම් බාහිර පුද්ගලයෙක් දොර තල්ලු කරගෙන බලයෙන් නිවසට ඇතුළ් වීමට උත්සාහ කරමින් සිටී.
මා අසා ඇත්තේ ඒ කවරෙක්ද කියායි.
පිළිතුර "මාරයා" ය.
ඊට පසුදින, (පියවි ලොවේදී) මගේ පියා මාරාන්තික දුම්රිය අනතුරකින් දිවිගලවාගත්තේ අනූ නවයෙනි.
දුම්රිය වේදිකාව හා ධාවනය වන දුම්රිය අතරට වැටුණු ඔහු, 'ෂොක් ඇබ්සෝබර'යක පැටළී පීල්ල මත අඩි 50ක් පමණ ඇදී ගියද, සුළු සීරීම් තුවාළ වලින් පමණක් ඔහුගේ සිරුරට හානි වී තිබීම අප කාගේත් අතිශයින් දුලභ වාසනාව විය.
සබැඳි:
හේතුවාදියෝ
අධ්‍යාත්මික හීන
පුනර්භවය පට්ටපල් බොරුවක්....?
සමාධි සුව