Tuesday, December 11, 2012
උණුසුම් ගල් කැටය
එක්තරා දුප්පත් මිනිසෙකුට හදිසියේම දැනගන්නට ලැබුණා වාසනාවන්ත ගල් කැටයක් ගැන. (මේක තියෙන බව දන්න නමුත් කවුරුවත් තවම සොයාගෙන තිබුණෙ නෑ.) තියෙන්නෙ එක්තරා වෙරළ තීරයක. පෙනුමෙන් ඉතා වටකුරු, කළු පැහැති, සුමට මතුපිටක් තියෙනවාලු. මේක හඳුනගන්න තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මේක උණුසුම්.
ඉතින් මෙයා තීරණය කළාලු මේක කොහොමහරි හොයාගන්න. ඔහු මුහුදු වෙරළට ගිහින් සැක කටයුතු වටකුරු, කළු පැහැ ගල් කැට අතට අරගෙන බැලුවා උණුසුම්ද කියලා. එකම ගල් කැටය නැවත නැවතත් පරීක්ෂාවට ලක්වෙන එක වලක්වන්න මෙයා අපූරු උපක්‍රමයකුත් භාවිත කළා. ඒ තමයි එහෙම 'රැවටිලිකාර' වෙනත් ගල් මූදේ ඈතට විසිකරලා දාන එක.
මුළදී වැඩේ පටන් ගත්තේ ටික දවසකින් හරිගියේ නැත්නම් නවත්වනවා කියලා හිතාගෙන වුනත් මේ ක්‍රියාව නවත්වන්න එයාට හිතුනෙ නෑ. ඒකට ඇබ්බැහි වෙලා වගේ. දැන් නැතුවට දැන් ලැබෙයි, මේක නොවුනට ඊළඟ එකනම් ෂුවර් එකටම තමා බලාපොරොත්තු වෙන එකම තමයි කියලා තමයි හිතුනේ. හරියට සූදුවට ගිහින් හැළි වළං ඇතුළුව සේසතම නැති කරගත්ත සක්විති රණසිංහ මහත්මයා වගේ.
ඔහොම දිගු කාලයක් ගෙවිලා ගියා....එසේ මෙසේ කාලයක් නොවෙයි දශක ගණනාවක්ම...'අපේ මනුස්සයා' දැන් සුදුවෙච්ච දිග රැවුලක් සහ කොණ්ඩයක් සහිත මැදි විය පසුකළ තැනැත්තෙක්. ඒත් මෙයා උත්සාහය අතහරින ජාතියේ කෙනෙක් නොවෙයි...පුදුම ධෛර්ය්‍යකින් කටයුතු කරන කෙනෙක්. එයා මේ 'පිස්සු වැඩේ' නවත්වන්න අදහසක් තවමත් නැහැ.(ඒ කාලෙ මෙයා රස්සාවක් කළේ නැද්ද? කෑවෙ බිව්වෙ කොහොමද වගේ ඒව මගෙන් අහන්න එපා ඔන්න. මේක කතාවක්නේ. කොහොමහරි කරගන්න ඇති ඒව.)
විශ්වාස කරන්න...එක දවසක්..නොසිතූ විරූ වෙලාවක මෙයාට ඒ වාසනාවන්ත පාෂාණ රාජයා හමුවුනා.....
ඊට පස්සෙ මොනව වෙන්න ඇති කියලද හිතන්නේ....?
වෙන මොනව වෙන්නද...? අවුරුදු විසි ගණනක් තිස්සේ ප්‍රගුණ කරපු පුරුද්දෙන් වහාම ඒක ගැඹුරු මුහුදට විසි කරල දැම්මා...!
අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....
මම අවුරුදු 7 විතර කාලෙදි 'මිහිර' පත්තරේ තිබුණු මේ කතාව මට මතක් වුනේ පසුගියදා සම්පූර්ණ වුනු පශ්චාත් උපාධියේ (විද්‍යාත්මක) දර්ශනය දේශන මාලාවේදී සාකච්චා වුණු එක්තරා සංකල්පයක් නොහොත් මතවාදයක් සම්බන්ධයෙන්. මාටින් හයේඩෙගර් (Martin Heidegger) කියන දාර්ශනික විද්‍යාඥයා කියන්නේ මෙහෙම කතාවක්:
"ජීවිතය පහසු කරගැනීම අරභයා මිනිසා විසින් නිපදවනු ලබන සමහර මෙවලම්...ඇතැම්විට එය නිර්මාණය කිරීමේ මූලික අරමුණ පවා නොසලකා හරවයි (එය අමතක කරවයි.)"
(සමාවෙන්න, මේ සිද්ධාන්තය කඩ්ඩෙන් සිංහලයට හරවනකොට මුල් අදහස එතරම් වෙනස් වුනේ නෑ මං හිතන්නෙ, ඒ කියන්නෙ මම තේරුම් ගත්ත විදියට....)
උදාහරණයක් ලෙසට ගත්තොත් වායු සමනය කළ මෝටර් රථයක, සුන්දර ගම්මානයක් හෝ වනගත ආරණ්‍යයක් මැදින් ගමන් කරනවා යයි සිතන්න....වායු සමන යන්ත්‍රයේ අරමුණ පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කරවීම නම්....එවන් නියම සුපිරිසිදු නැවුම් ස්වභාවික සුළං පහස අහිමි කරමින් එය ඉටු කරනු ලබන්නේ අප මූළික අරමුණ අපටත් නොදැනීම අභිබවා යාමක් නොවේද...? (සමාවෙන්න දාර්ශනික පොරවල් එක්ක ඉඳලා මාත් ටිකක් රුවිතෙට හිතන්න පටන් අරන් වගේ...)
ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? පුළුවන් කාලේ හොඳට හම්බකරලා ඉතුරු කරලා පස්සෙ එහෙම කරනවා කියල හිතාගෙන හිටියට ඕක කවදාවත් කෙරෙන එකක් නම් නෙවෙයි. සමහරවිට අපි හතිවැටිලා බලනකොට අපි හම්බකරපු දේවල් බුක්ති විඳින්න අපිට කවුරුවත් නෑ...අඩු ගානේ අපේ ශරීර සෞඛ්‍යවත්....
අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....
Wednesday, December 5, 2012
එහෙනම් ඒක කරගෙන ඉන්ඩ.....
මේක ඇත්ත කතාවක්ලු....
අපේ සිරි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ කාර්යාලයක ලිපි ගොණු පවත්වාගෙන යන්න අවශ්‍ය කෙනෙකුට ඇබෑර්තුවක් තිබුණලු.
මේක දැනගෙන ප්‍රදේශයේ උගත් තරුණයො සෑහෙන්න ආවලු සම්මුඛ පරීක්ෂණේට....ඒ අතරෙ උපාධිධාරියෙකුත් හිටියලු...මෙයාට උපාධියෙ පන්ති සාමාර්ථයක් එහෙමත් තිබුණලු...ඒ කියන්නෙ ක්ලාස් පාස් එකක්...විශ්වවිද්‍යාලෙ ගිය අය දන්නව ඇති ක්ලාස් එකක් ගහන්න සෑහෙන්ඩ අමාරුයි. (කැම්පස් කොල්ලො කියන විදියට පට්ටම දරුණු ගේමක් දෙන්ඩ ඕනා) ඒකට ඉතින් හැම විෂයටම වගේ ඉහල ලකුණු ගන්න ඕන.
ඉතින් මෙයාව ඉන්ටව් කළෙත් මන්ත්‍රී තුමාමලු.
ඉන්ටව් එක කරගෙන යන අතරතුර අපේ උපාධිධාරී තරුණයා තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් කතා කළාලු. මෙන්න මෙහෙම සංවාදයක් ගියාලු.
"සර්...මට ක්ලාස් එකකුත් තියෙනවා..." ඒකිව්වෙ අර උපාධියෙ පන්ති සාමාර්ථය ගැනනේ...
හැබැයි ලැබුණෙ අනපේක්ෂිත ප්‍රතිචාරයක්...
"ආ....එහෙමද....එහෙනම් ඔයා එක කරගෙන ඉන්ඩ....මම ජොබ් එකක් නැතිම කෙනෙකුට චාන්ස් එක දෙන්න බලන්නම්...!"
ඒ මොකද්ද ඒ හරුපෙ කියල ටියුම් ලයිට් මොළේට හිතෙනවද....? නිකං කොයිල් වගේද..?
ටියුබ් ලයිට් වලට තේරුණෙ නැත්නම් මෙන්න මේකයි අපේ මන්ත්‍රීතුමා තේරුම් අරගෙන තියෙන්නෙ...
මෙයාට ටියුෂන් ක්ලාස් එකක් තියෙනවා...(ඒකෙ සෑහෙන්න ළමයි, ඒ කියන්නෙ සැලකිය යුතු ආදායමක්...)
ඒකෙ උගන්නන්න යන්න පරක්කු වෙනවා කියල තමයි "මට ක්ලාස් එකකුත් තියෙනවා" කියල තරුණයා අදහස් කළේ....
කොහොමද අපේ මන්ත්‍රීතුමාගෙ සාමාන්‍ය දැනීම...?
(මට කිවුවෙ තාත්තා..ඒ කාලෙ ඒ කියන්නෙ 1980 ගණන් වල වෙච්ච දෙයක්ලු. හැබැයි ඉතින් දැන් කියලත් අපේ දේශපාලු උතුමන්ගෙ දැනුමෙ, උගත්කමේ, බුද්ධියේ වැඩි වෙනසක් නෑ මං හිතන්නෙ...)
අපේ පවුලේ සුහද පිළිසඳරෙදි තාත්තා ඔය කතාව කිවුවම අම්මා තවත් ඒ වගේම සිදුවීමක් මතක් කළා...
ක්‍රීකට් ක්‍රීඩාව එච්චරම ජනප්‍රිය නැති ඒ කාලෙ දවසක් පාර්ලිමේන්තුවේදි කතාවුනාලු ලංකාවට ටෙන්ඩුල්කාර් එනවා කියලා....
එකපාරටම ඔය කළින් කතාවෙ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් නැගිටල කිව්වලු....
"මටත් එකක් ඕනේ....!"
Wednesday, November 21, 2012
පාඩම් කරන හැටි....
ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.
මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) ද, දෙවන පෙළ පහළ (2nd Lower) ද හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ 3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිවල තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.
මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.).
කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).
'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?
ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.
මේ ලියන මම උසස් පෙළ පළමු වර අසමත් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද....? ඔව් ඒක ඇත්ත...අසමත් වුනේ ගණිත විශය ධාරාවේ අයට කවදත් පෙන්නන්න බැරි රසායන විද්‍යාව....එසේ මෙසේ අසමත් කමක් නොවෙයි ලකුණු 13යි. මේ වැටුණු අමාරුවෙන් ගොඩ එන්න ගිහින් එක එක අත් හදා බැලීම් කරනකොට තමයි මේ කියන්න යන ක්‍රමය මතුවුනේ....! ඒ කියන්නෙ මේ ක්‍රමය පාවිච්චි කරල මාස කිහිපයක් ගතවෙනකොට රසායන විද්‍යාවට මම රැස් කළ ලකුණු සාමාන්‍යය 92ක්. (ඒ සඳහා ඉතින් ඉස්සෙල්ලම් ඒ විෂයයට තියෙන අසාධාරණ වෛරය නැති කරන්න ඕනෙ. ඒ කියන්නෙ ඒකට කැමැත්තක් කෘතිමව හරි ඇති කරගන්න ඕනෙ.)
ඔය තරම් අගය කරන මේ අමුතු ක්‍රමය මොකක්ද කියල දැන්වත් බලමු.
ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.
උදා.
ප්‍රධාන මාතෘකාව.
හැඳින්වීම
වැදගත් කරුණු.
1. පළමු කරුණ.
2. දෙවන කරුණ.
3. තෙවන කරුණ.
4. සිවුවන කරුණ.
උප මාතෘකාව 1
1. පළමු උප කරුණ.
2. දෙවන උප කරුණ.
3. තෙවන උප කරුණ.
4. සිවුවන උප කරුණ.
5. පස්වන උප කරුණ.
මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)
දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.
දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.
අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.
දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ.
උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!
රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට.
මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.
මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.
සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්.
ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!) තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්.
එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.
මේ පෝස්ට් එක මගේ වෙනත් බ්ලොග් අඩවියකත් පළ කළා. ඒක තාක්ෂණික දේවල් කතාකරන බ්ලොග් අඩවියක්. තාක්ෂණයෙන් පිස්සු වැටිල ඉන්න අය කැමතිනම් ඒ බ්ලොග් එකත් බැලුවට මගේ අහිතක්ම නෑ ඉතින්.
Tuesday, October 30, 2012
ලබන මාසෙ පඩියෙන් බඳිමු...?
මේ කතාව මට කිවුවෙ මගෙ මහාචාර්යතුමා. අපේ යම් යම් අඩුපාඩු පෙන්වලා දෙන්න ඔහු පාවිච්චි කරන්නෙ අපූරු උපක්‍රමයක්. ඒ තමයි උපහාස කතා. හාස්‍යොත්පාදක කතා විදියට ඔහු මේවා තැනට සුදුසු ලෙස පැවසුවාට, අපි හඬනගලා සිනාසුනාට මේවායේ ගැබ් වෙලා තියෙන සියුම් උපහාසය ඇත්තටම එල්ල වෙලා තියෙන්නෙ අන්තිමට බලාගෙන ගියාම අපිටමයි. මේකත් එහෙම එකක්.
වැඩ කල් දමන්න අපි තරම් රුසියො මේ ලෝකෙ තවත් නැතුව ඇති. මේ එහෙම කෙනෙක් ගැනයි.
අගනුවර ආයතනයක සේවය කරන තරුණියක් සහ තරුණයෙක් ප්‍රේමයෙන් බැඳුනලු. ගෙවල් වලිනුත් අවුලක් නැතිලු.
තරුණියට වුවමනා වුනාලු ඉක්මනට කසාද බඳින්න. දවසක් මේ ගැන එයා සිය අනාගත සැමියට මතක් කළාලු.
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..." ඔහුගේ පිළිතුර වුනා.
වෙඩිමක් ඉතින් කොච්චර චාමෙට ගත්තත් ටිකක් සල්ලි එහෙම ඕනෙනෙ. ඒක නිසා ඒ ගැන තරුණිය සතුටු වුනාලු. අනෙත් එක මහ ලොකු කාලයක් නෙමේනෙ. ලබන මාසෙ.
ඉතින් මෙයා ඊළඟ මාසෙ පඩි දවස වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නවලු. යාළුවොත් එක්ක විවාහය සැලසුම් කරනවලු.
ඔන්න කොහොමහරි පඩි දවසත් ආවලු.
හිතපු නැති දෙයක්නෙ වුනේ. තරුණයා ගැටළු ලිස්ට් එකක්ම ඉදිරිපත් කළාලු. බලාගෙන ගියාම ඒ ඔක්කොම අතයවශ්‍ය හදිසි වැඩ. ඒවට සල්ලි වියදම් කළාම වෙඩිම ගන්න වෙන්නෙ නෑ කියල මෙයා තරුණියට එආත්තු ගැන්වූවා.
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..."
කමක් නෑ. මාසයයිනේ. තරුණිය හිත හදාගෙන හිටිය.
ඒත් ඊලඟ මාසෙ පඩියෙන් කරන්න තවත් වැදගත් වැඩ ලිස්ට් එකක් අපේ කොල්ලට එකතු වෙලා. ආයෙත් මාසයක් කල් ගියා.
මෙහෙම මාස කිහිපයක්ම ගත වුනා. ඒ ගැන මතක් කරන හැම වෙලාවෙම ඔහුගෙ පිළිතුර වුනේ "අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු...!"
ඔහොම කාලයක් යනකොට තරුණියට තේරුණා මේක හරියන සූදුවක් නෙමෙයි කියලා. සුපුරුදු පරිදි ඉතින් එයා වෙන අතක් බලා ගත්තා.
කොල්ල මානසිකව වැටිල වැඩ කරපු තැනින් අස් වෙලා වෙන තැනකට ගියා.
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
අවුරුදු 3කට පස්සෙ තරුණිය බබාල දෙන්නත් එක්ක බස් එකකට නගින්න ඉන්නකොට දැක්ක අර ඩයල් එක පාරෙන් අනිත් පැත්තෙ බස් හෝල්ට් එකේ ඉන්නවා. මොනව වුනත් ඉතින් දවසක් හරි ආදරේ කරපු මනුස්සයනෙ කියල මෙයා පාර පැනල එයා හම්බෙන්න ගියා.
බලනකොට මිනිහ තාමත් තනිකඩ.
"හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව..? කසාද බඳින්න එහෙම අදහසක් නැද්ද..?" තනිකඩයන්ගෙන් ඇහෙන සුපුරුදු පැනය.
එතකොටම බස් එකක් ආවලු. මෙයා කළබලෙන් බස් එකට ගොඩ වෙන ගමන් මෙහෙම කියාගෙන ගියාලු.
"ලබන මාසෙ පඩියෙන් බඳිනවා...!"
Friday, October 26, 2012
ඉරුණු නෝට්ටුව
මා අත තිබුණු ඉරුණු නෝට්ටුව මට පැටවූයේ කවුරුන්දැයි මා මතක් කර බැලූ මුත් සිහියට නො එයි. අද දවසේ කිහිප තැනකින්ම මුදල් ගනුදෙනු කළ බැවින් නිශ්චිත තීරණයකට එලැඹිය නොහැකි විය. ඉතිරි මුදල් එවෙලේම පරික්ෂාකර බලා භාරගැනීමේ පුරුද්දක් නොමැති වීම ගැන මම මටම දොස් පවරා ගතිමි. මීට පෙරද කටුබැද්ද හන්දියේ එක්තරා හෝටලයක් සහ බස් කොන්ස්තරවරුන් රැසක් මට රු. දහස් ගනණින් හිතාමතාම වංචා කළේ මගේ මේ අනවශ්‍ය කලබලය දඩමීමා කරගෙනය. එහෙත් තවමත් මා හැදී නැත.
මම යලිඳු නෝට්ටුව පරීක්ෂා කර බැලීමි. එය රු. 100ක නෝට්ටුවකි. හරි මැදින් බාගයක්ම ඉරී ඇත. එහෙත් 'සෙලෝ-ටේප්' පාරකින් එය ඉතා පහසුවෙන් අළුත්වැඩියා කළ හැකි බව පෙනුනි.
මා සතුව සෙලෝටේප් නොමැති වීම නිසා සහ ගන්නට සිතා සිටියත් අමතකවීම නිසා එය දිනෙන් දින කල් ගියේ ය. දින නොව සති කිහිපයක්ම කිසිදු වෙනසක් නොවී එය පසුම්බියේම රැඳුනි. බැංකුවටද කිහිප වරක්ම ගියද කළබළකාරී බව නිසා එය හොඳ නෝට්ටුවකට මාරු කර ගැනීමට අමතක විය.
මගේ හිත හොඳ කමද මෙය මෙතරම් දික් ගැස්සීමට හේතු වූවා යයි කිවහොත් වඩාත් නිවැරදිය. ගණුදෙණු කරන අවස්ථාවකදී එය අනෙක් හොඳ නෝට්ටු සමඟ ප්‍රයෝගකාරීව දෙන්නට සිතුනද හිතට එකඟව එසේ කළ නොහැකි විය.
වරක් එය ආපනශාලවට දී තේ ඇණවුම් කළෙමි. මුදල් භාරගත් සේවිකාවට එහි තත්ත්වය ගැන කල්පනාවක් නොවීය. එය ලාච්චුවේ දාගන්නට ඔන්න මෙන්න් කියා තිබියදී මට සිතුනේ මා තවත් අහිංසකයකු අමාරුවේ දමන බවත්, විශේෂයෙන්ම දිනපතා ගනුදෙනු කරන මෙවැනි හිතවත් කෙනෙකුට එසේ කිරීම බලවත් වරදක් බවත් ය. මම වහාම ඇත්ත පවසා එය ආපසු ඉල්ලා ගතිමි.
කෙසේ හෝ සෙලෝටේප් රෝලක් ගැනීමට මම තීරණය කළෙමි. අදාල ගාස්තු ගෙවා මම එය ලබාගෙන සේවා ස්ථානයට පැමිණ හරි බරි ගැසී වාඩි වූයේ ඉරුණු නෝට්ටුව අළුත් වැඩියා කිරීමටය.
ඒත් කෝ ඒක....? එය පසුම්බියෙහි හෝ සාක්කුවල නොවීය.
එහෙත් ඒ වෙනුවට සෙලෝටේප් මිළදී ගැනීමට පෙර තිබූ මුදල් සියල්ලම එහි තිබුණි.....!
කිසිදා වැඩිහිටියෙකු නොවන 'පොඩි එකා'
අප සමාජයට කෙතරම් වැඩිහිටි චරිත වුවද ගෙදරට තවමත් නොදරුවන්ය. මිතුරන් සමඟ කෙටි ගමනක් යාමට සූදානම් වූ විට 'මූදෙ නාන්න යන්න එපා', 'වාහනේ හයියෙන් යන්න එපා' වැනි උපදෙස් අදටත් නොඅඩුව ලැබේ. ආශ්‍රය කරන්නේ කවුරුන් සමගදැයි තවමත් සොයා බලයි. ඇඳිරි වැටුනු පසුත් ගෙදරට වාර්තා කර නොමැති නම් ජංගම දුරකථනයට නිවනක් නොමැත. ගියේ දුර ගමනක් නම් ගමනාන්තයට සුවෙන් ළඟා වෙමින් පවතීද?, ගෙදරට ගොඩ වැදුනේද?, තව කවුද ඉන්නේ? යනාදී වශයෙන් සියල්ල සජීවී විස්තර ප්‍රචාරයක් දීමට සිදුවේ. බැරි වෙලාවත් හදිසියක් වී රාත්‍රියේ නිවසින් පිටවීමට සිදුවුවහොත් තනිවම එම ගමන යාමට කිසිසේත්ම අවසර නොලැබේ. රාත්‍රියේ "බීපු මිනිසුන් ඇඟේ හැපීම සහ බේබදු රියදුරන් ඇඟට කැපීම" එයට හේතුව බව ඊයේ සිදුවූ මෙවැනි සිදුවීමකට මා විරෝධය දැක්වීමේදී දැනගැනීමට හැකිවිය. එය මට හාස්‍යජනක කරුණු පැහැදිලි කිරීමක් වුවද, කෙතෙක් උපහාසයට ලක් කළද සිත රිද්දන්නට නොහැකි හෙයින් අදහස අත් හැර ගැනීමට සිදුවිය. මා සූදානම් වූයේ මහා ලොකු දුර ගමනක් යාමට නොව, මීටර් 700ක් පමණ දුරින් පිහිටි හන්දියට ගොස් රීචාර්ජ් කාඩ් පතක් මිළදී ගැනීමටයි!
මේ ළඟදී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා මා වටහාගෙන සිටින්නේ මා තවමත් පොඩි එකෙකු නොවන බව ගෙදර අය පිළිගැනීමට අපොහොසත් බවයි. මින් එකක් මෙසේය:
මගේ පියා ගුරුවරයෙකි. ඔහු සුළු පරිමාණයෙන් පුද්ගලික පන්තිද පවත්වයි. එතරම් ආදායමක් නොලැබෙන ඒවායේ ප්‍රචාරයද බොහෝ විට සිදුවන්නේ ඉතා සුළු පරිමාණයෙනි. බොහෝ විට ගෙදරදීම සකස් කරන ලද ලී රාමු සහිත කටවුට් කිහිපයක්, පැය කිහිපයකට කුළියට ගන්නා ලද පුද්ගලයකු ලවා එල්ලවීමට පමණක් මෙය සීමාවේ.
මෙවර ඒ සඳහා අපට අවශ්‍ය පුද්ගලයා සොයා දුන්නේ ම'පියා ගේම ගෝලයෙකි.
අපි, එනම් මම, තාත්තා, ඔහුගේ ගෝලයා සහ කටවුට් එල්ලන වැඩේ භාරගත් තරුණයා වාහනයේ ගමන් ගනිමින් සිටියෙමු. නගරයට කිලෝ මීටර කිහිපයක් දුර බැවින් ඒ යන අතරතුර කතාබහේදී ඔහුද වෙනත් විශයමාලාවකින් උසස් පෙළ හදාරන සිසුවෙකු බව දැනගන්නට ලැබුණි.
ප්‍රචාරක පුවරුවක් එල්ලන්නට සුදුසු තැනකට අපි පැමිණ සිටියෙමු. මා ඇමතූ තාත්තා...
"පුතේ, ඩිකියෙ ඇති කම්බියි, කටර් අඬුවයි. මේ අයියට දෙන්න....."
අයියා? ඔහු උසස් පෙළ සිසුවෙකි. අඩු තරමේ අවුරුදු 7-8 ක්වත් මට වඩා බාල විය යුතුය. මා උසස් පෙළ පමණක් නොව විශ්වවිද්‍යාලය පමණක් නොව රැකියාද කිහිපයක්ම 'පාස් කළ' අයෙක්මි. තත්තාට වැරදීමක් සිදුවන්නට ඇතැයි සිතුනි. නමුත් ඔහු අඳුරේම කණුවක් පාමුලට යනු දුටු තාත්තා නැවතත්
"පුතේ අයියට ටෝච් එක අල්ලන්න" යයි කීය.
එන පොට හොඳ නැති බවත් මේ ගැන මොනවා හරි කළ යුතු බවත් මම සිතාගතිමි.
යළි වාහනයට පැමිණ ගමන් ඇරඹූ පසු මම තරුණයා කතාවට අල්ලා ගතිමි.
"මල්ලි මොන අවුරුද්දෙද ඒ. ලෙවල්....?"
"2014."
"ආ..ඇත්තද...? මම 2003...!" මා කීවේ තාත්තාටද ඇසෙන පදිරි උස් හඬිනි.
ඉන් පසු ඔහු මට ඔහුගේ ගෝලයා 'අයියා' ලෙස හඳුන්වා දුන්නේ නැත.
ආපසු එන අතර මා කල්පනා කළේ මෙයයි:
"හොඳ වෙලාවට කසාද බඳින්න එහෙම හදිස්සියක් නැත්තේ....බැරි වෙලාවත් එහෙම වුවමනා වුනා නම් සොරිම තමයි....!"
කාලය මැවු වෙනසක අරුමේ...
සාමාන්‍යයෙන් මම ප්‍රකෝපකාරීව හෝ කළහකාරීව හැසිරෙන කෙනෙක් නොවෙමි. එහෙත් බලවත් අසාධාරණය හමුවේ මගේ ඉවසීමේ සීමාවන් දෙගොඩ තලාගිය විට මා හැසිරෙන ආකාරය ගැන විවේචන තිබේ. එම හැසිරීම මගේ උගත්කමට නොගැලපෙන බව බහුතරයක් මිතුරන්ගේ මතය වුවද එය මා තුළ තවමත් යම් තාක් දුරට පවතින දුර්වලතාවයක් බව පිළිගනු නොකැමැත්තෙමි. බොහෝ විට මා එසේ කිරීම ගැන පශ්චාත්තාප නොවන අතර ඒ ගැන වැඩිදුර කල්පනා කිරීම අත් හැර දමමි.
එහෙත්....එවන් සිද්ධි වලට සම්බන්ධ පාර්ශව කෙරෙහි මගේ ආකල්පය, ජීවන අත්දැකීම් තුළින් ජීවිතය පිළිබඳ දැක්ම සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වූ අවස්ථා ඇත. මෙය එක්තරා ආකාරයකට අසම්පූර්ණව තිබූ පරිණත භාවයක් මා වෙත ළඟා කර ගැනීමක් බවට පිළිගැනීමට සිදුවේ. මේ පරිණත භාවය, කිසිදා සංතෘප්ත නොවන, සදාකල්හිම වැඩිදියුණු වෙමින් පවතින්නක් යයි හැඟේ.
මීට වසර කිහිපයකට පෙර මා සරසවි ශිෂ්‍යයෙක් ලෙස සිටි කාලයේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන මා තුළ පැවති ආකල්පය එයට කදිම නිදසුනක් සපයයි.
මා එවකට පීඨ ශිෂ්‍ය නායක ව සිටියෙමි. අළුත් වාරයක් (සෙමෙස්තරයක්) ආරම්භවනවිට ඒ සඳහා අප හදාරණ විෂයයන් වලට ලියාපදිංචි වීම අප විසින් කළ යුතු විය. එතෙක් කල් පැවති සම්ප්‍රදාය වූයේ, සියළුම ශිෂ්‍යයන් විසින් තනි තනිව පුරවන ලද අයදුම්පත්, පීඨ ශිෂ්‍ය නායක විසින් පරීක්ෂාකර බලා අදාල අංශ වලට ගෙන ගොස් භාර දීමයි.
ඉතා අසීරුවෙන් එකතු කරගත් පීඨයේ සියලු සිසුන්ගේ නිසිලෙස සම්පූර්ණ කරනලද අයදුම්පත් ගොන්න සමඟ අදාල දෙපාර්තමේන්තුව වෙත ගිය මට දන්වන ලද්දේ අනපේක්ෂිත කතන්දරයකි. එනම් මෙවර සිට සිසුන් තනි තනිව පැමිණ ලියාපදිංචි විය යුතු බවයි.
මම මේ තීරණයට එකඟ නොවීමි. එක් එක් වාරවල එක් එක් ප්‍රතිපත්ති පැවතිය නොහැකි බවත්, මෙය පත්වීම් ලිපියකින් පිළිගන්නා ලදුව ඇති ශිෂ්‍ය නායක පදවිය අවිශ්වාසයට ගැනීමක් ලෙස හා ඔහුගේ බලතල අවප්‍රමාණ කර සැලකීමක් ලෙස හුවා දක්වන්නට තැත් කළෙමි. ප්‍රතිඵලය වෙනස් නොවන කල්හි මට ඉවසුම් නොමැති විය. දැන් දැන් වාදය එන්න එන්නම උණුසුම් වේගෙන එයි.
මගේ කතා විලාශය කොහොමත් අනෙත් අයට සාපේක්ෂව තරමක් ශබ්දයෙන් වැඩිය. එක්වරම එහි සිටි අනධ්‍යන සේවිකාවක් (ඔවුන්ගේ වයස හා අධ්‍යාපන සුදුසුකම් අප දැන සිටියෙමු. ඇය මට වඩා වසර 2ක් පමණ බාල, අ.පො.ස. උ.පෙ. යන්තමින් සමත් තැනැත්තියක් බව දැන සිටියෙමි.) මා අමතා මෙසේ කීවේ ආරූඪ කරගත් මහේශාක්‍ය ලීලාවෙනි.
"මේක මොකක් කියලද හිතාගෙන ඉන්නෙ මෙතන ඔහොම කෑ ගහන්න...?"
මට නිම් නැතිවිය. කොහොමටත් මෙවැන්නියන් ගැන අප සියලු දෙනා (සිසුන්) තුළ තිබුණේ ඉතා අයහපත් ආකල්පයකි. මොවුන් ශිෂ්‍යයන් නොසලකා හැර ඇති අවස්ථා සහ තමන් සිසුනට වඩා ඉතා වැදගත් ගෞරවණීය පිරිසක් යයි දැනෙන්නට හැර ඇති අවස්ථා රාශියක් ගැන මට පැමිණිලි රාශියක් ලැබී තිබුණි. මේ සාපේක්ෂව නූගතුන් අතින් බාල්දු වන්නේ සරසවි ශිෂ්‍යයා සතු අභිමානය නොවේද...?
මා කෙතරම් උද්වේගකර වූවේද කියතොත් මා සමඟ සිටි මිතුරන් විසින් මා තරකොට අල්ලා නොගන්නට ඇය මා අතින් පහර කනු ඇත. ඉතා ආවේගශීලීව මම ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීතුමියට සහ ජෙය්‍යෂ්ඨ ලේඛකාධීතුමාට මොවුනට ශිෂ්‍යයන් පහත්කර සැලකීමට මෙවැනි බලතල දීම ගැන දිගු වේලාවක් දොස් පැවරීමි. සිද්ධිය දැනගෙන අවට සිටි සිසුන්ද රැස්ව සිටි අතර ඔවුන්ද මා ගත් ක්‍රියාමාර්ගය එකහෙලාම අනුමත කළ අතර මා මෙම පොදු ගැටළුව කල් නොහැර ඉදිරිපත් කිරීම ගැන බලවත් ප්‍රසාදය පළ කළහ.
කාලය ගෙවී ගියේය. මා උපාධිය ඉහළින් සමත් වී ටික කළක් පුද්ගලික අංශයේ සේවය කර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳීමට තීරණය කළෙමි. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් මා උගත් සරසවිය මා ප්‍රතික්ෂේප කළද අගනුවර කීර්තිමත්ම සරසවියක් මා ආදරයෙන් පිළිගත්තේය. ඒ වනවිටත් මා සතුව අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන තිබූ ආකල්පය අප්‍රසන්න එකක් විය. මා සැලසුම් කරගෙන සිටියේ හැකිතාක් ඔවුන් නොතකා රාජකාරි කටයුතු කරගෙන යාමටයි.
නමුත්....දින සති ගෙවී මාස කිහිපයක් යනවිට ඔවුන් ගැන මා තුළ තිබූ චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදි එකක් යයි යන යථාර්ථය මට ඉතා සෙමෙන් නමුත් ගැඹුරු ලෙස පසක් වෙමින් තිබුණි. දහසකුත් එකක් වැඩ රාජකාරි අතරේ අතිශයින්ම කාර්යබහුල වී සිටින විටය අපට අන් අයගේ සුළු හෝ උපකාරයන්හි අගය දැනෙන්නේ. දේශන, ප්‍රායෝගික පරීක්ෂණ, විභාග, ශිෂ්‍යයන්ගේ ව්‍යාපෘති අධීක්ෂණය, විශ්වවිද්‍යාලය විසින් පවරන ලද වෙනත් රාජකාරි හා ව්‍යාපෘති, පශ්චාත් උපාධියේ කටයුතු අතර පැමිණීමේ ලේඛන සකස් කිරීම හා එම දත්ත පරිගණකගත කිරීම ආදී 'සිල්ලර' දේත් කරන්නට වූයේනම් එය මහත් හිසරදයක් හා වටිනා කාලය නාස්තියක් වනු ඇත. මෙහිදී අප වෙනුවෙන් එම 'මෙලෝ රහක් නැති' කාර්යයන් ඇතුළුව තවත් බොහෝ දෑ භාරගන්නා කැපකිරීම ඔවුන් කරන බව මා දැනගත්තේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු පසුය. දේශන ශාලා සැකසීම, තාක්ෂණික නිවැරදි කිරීම් ආදී මෙකී නොකී සේවාවන් රාශියක් ඔවුන් විසින් ඉටුකරනු ලබන බවද, එය කිසිසේත් ලඝු කොට තැකිය නොහැකි බවද වටහා ගතිමි. කොටින්ම දේශනයේ 'වීරයා' ආචාර්යවරයා වුවද තිරය පිටුපස තවත් බොහෝ දෙනෙක් නිහඬව ඊට පරිසරය සකස් කරන බව බොහෝ දෙනෙක් නොදුටු යථාර්ථය නවමු මානයකින් දකින්නට මට හැකිවිය.
මගේ ආකල්පමය පරිවර්තනය මට පවා විශ්වාස කරන්නට නොහැකි විය. දිනෙන් දින මා හා ඔවුන'තර සුහදතාව හා විශ්වාසය දළුලා වැඩුණි. පීඨාධිපති කාර්යාලයේ බොහෝ දෙනෙකු මට සොයුරෙකුට මෙන් සලකන්නට වූහ. විහිළුවෙන් තහළුවෙන් කාලය ගෙවී ගිය අතර මා ලබා තිබූ දියුණුව මැනිය හැකිවූ අවස්ථාවක් උදා විය. ගම් පළාතේ සරසවියකට උසස් වීමක් සමගම මා මාරුවීමක් ලබාගත් අතර ඒ සඳහා සමුගැනීමේ සාදයක් සංවිධානය විණි.
පීඨයේ සියළුම අනධ්‍යන කාර්ය මණ්ඩලය එහි සිටිනු දැකගත හැකි වීම මා උපයා තිබූ ආකල්පමය වත්කම මට හඬගා කීය.
මෙහිදී බොහේ දෙනෙකු අවංකව අදහස් පළ කළ අතර, සියළු කාර්ය මණ්ඩල අතර මෙවැනි ජනප්‍රියතාවක් කෙනෙකු ලබාගත්තේ වසර 12කට පසු බව දැන ගන්නට ලැබුණි.
මා දැනට සේවය කරන සරසවියේද (මගේ සහය ආචාර්ය මණ්ඩලය හැරුණු කොට ගෙන) මා හා වඩාත්ම ළබැඳිව කටයුතු කරන්නේ ඔවුන් බව කිවහොත් එහි ඇති වැරැද්දක් නොමැත. ආචාර්ය මණ්ඩලය මා හා බැඳී පවතින්නේ රාජකාරිමය සුහදතාවයකින් යයි මට අවංකව දැනෙන දෙයයි. ඇතැම් විට මෙහි කථිකාචාර්යවරියන්ගෙන් කිහිප දෙනෙක්ම මගේ ගුරුවරුන් වීමත්, පශ්චාත් උපාධි පර්යේෂණ වල නියුතුව සිටීම නිසා සහ වෙනස් හේතු නිසා අප අතර කතාබහ ඉතා අල්ප වීමත් ඊට හේතූන් වියහැකිය.
කාලය විසින් මිනිසුන් පරිණත කරන බවත්, ඔවුන් තුළ උපේක්ෂාව වැනි දේව ගති ප්‍රගුණ කරවන බවත්, යම් යම් දුර්ගුණ මැඩ පවත්වන බවටත් මම අද විශ්වාස කරමි.
Subscribe to:
Posts (Atom)

