Wednesday, March 13, 2013

නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...?


මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.

සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.



මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් නිපදවනු ලැබෙන රොබෝවකට වීමයි.
වෙළඳ සැල් රාශියක්ම පිරික්සුවද මට අවශ්‍ය ආකාරයේ එකක් හමු නොවීය. මේ නිසා මීළඟට භාණ්ඩය ඉල්ලා සිටින විට මගේ අවශ්‍යතාවය විස්තර කිරීමට සිතුවෙමි. 

අවාසනාවක මහත ! තත්ත්වය පෙරටත් වඩා දරුණු විය. මගේ අවශ්‍යතාව ඉටුකරනු ලබනු වෙනුවට ඔවුහු මා දෙස අවඥාවෙන් බැලූහ. මෙතරම් සුළු ලාභයක් ඇති දෙයක් වෙනුවෙන් මගේ විස්තරය අසා නාස්ති කිරීමට ඔවුන්ට වෙලාවක් නොමැති බව සමහරු කෙළින්ම කීහ. "කොහේද යන පිස්සෙක්...!" මුවින් නොබිණුවද මා ගැන ඔවුන් තුළ වූ ආකල්පය එබඳු විය.

අරමුණ ඉටු නොවූ කල්හි ලංකාව වැනි රටවල පර්යේෂණ කළ නොහැකි බව පවසමින් රටින් පනින ජෙය්‍ය්ෂ්ඨ පර්යේෂකයින් සාධාරණීකරනය කරමින් ඔහේ අරමුණක් නොමැතිව ඇවිද්දෙමි. 

"මවුලානා පික්චර් පැලස්" නම් කුඩා පින්තූර රාමු කරන වෙළඳ සැල මගේ නෙත ගැටුනේ අහම්බෙනි. කෝකටත් කියා ගොඩ වුනෙමි. ඉතා අධෛර්‍යයට පත්ව සිටි මම කුඩා ළමයෙකු මෙන් මගේ අවශ්‍යතාව විස්තර කළෙමි. වෙළඳ සැලේ හිමිකරු අවුරුදු 50ක් පමණ වෙතැයි සිතිය හැකි මුස්ලිම් මිනිසෙකි.

මා ඉමහත් සැනසිල්ලට පත් කරමින්, ඔහු මා කියූ වචනයක් පාසා ඉතා සාවධානව අසා සිටියේය. 

"මහත්තයට ඕන කරන ජාතියෙ එකක් තියෙනවද කියල අපි බලමු."

ඔහු සේවකයෙකුට කතා කළේය. දමිළ භාෂාවෙන් යම් උවදෙස් මාලාවක් දෙන ලදී. සේවකයා ඉපැරණි තරප්පු පේළියක් අනුගමනය කරමින් ඒ පැරණි ගොඩනැගිල්ලේ සොල්දරය තරණය කරනු දක්නට ලැබිණ.

මද වේලාවකින් ඔහු පැමිණියේ ධූලි වැකුණු, මකුළුදැල් පැටළුනු තරමක කාඩ්බෝර්ඩ් පෙට්ටියක් රැගෙනය.

අරුමයකි! මගේ සිතේ රැඳී තිබූ අපූරු උපාංගය එහි විය...!

මගේ අවශ්‍යතාවය සන්තර්පනය වනු දුටු හිමිකරුගේ වත සතුටින් පිනා යනු දුටිමි. 

ඒ සඳහා ඔහු අයකළේ රු. 50ක් වැනි ඉතා සුළු මුදලකි. නමුත් එවෙළේ එය මට රු. 5,000 කටවත් වඩා වටිනේය.

ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ මම ඉන් පිටවී පැමිණියෙමි.

සැමදේම මුදල්මය ලාභයෙන් මනින ලෝකයක සුළු දෙයකින් වුව පාරිභෝගිකයා සතුටු කිරීම වැදගත් කොට සැලකීමට බොහෝ දෙනෙක් අසමත් වන්නේ ඇයි...?

සිංහල ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙය විය හැකිය.

සාතිශය බහුතරයක් වූ සිංහල ව්‍යාපාරිකයන් අඩුගානේ සිය පාරිගෝගිකයින් සමඟ සිනාසීමට පවා මැළිකමක් දක්වයි. ඉන් ලාභයක් නොලැබේ යනුවෙන් සිතනවා විය හැකිය. අනෙක් කාරණය නම් බොහෝ වෙළඳසැල්වල සේවකයින් පාරිභෝගිකයින්ට ගරු කිරීමට නොදන්නා බවයි.

පසුගිය අවුරුදු සමයේ මාතර කොටු පවුර තුළ වූ ප්‍රසිද්ධ වෙළඳ සැළකට ගොඩ වුනේ අළුත් අවුරුද්දට පවුලේ සාමාජිකයින්ට ඇඳුම් මිළදී ගැනීමටය. ටී ෂර්ටයකින් සැරසුණු එක් උස මහත පුද්ගලයෙක් එහි සේවකයෙකුට දොස් පවරමින් සිටිනු දැකගත හැකිවිය.

"තමුසෙ දැනගන්නවා තමුසෙගෙ අවුරුද්දක පඩිය එකතු කළත් මගෙ වාහනේ එක රෝදයක් ගන්න බැහැ." 

මෙය ඇසූ මට එම සේවකයා ගැන ඇති වූයේ අනුකම්පාවකි. ඒ සමඟම අර 'වැදගතා' ගැන අප්‍රසාදයකි.
එහෙත්....මගේ අවශ්‍යතාවය සඳහා වෙනත් සේවකයෙකුගේ සහය ලබාගැනීමට සිතූ මට පසුව සිතුනේ අර පුද්ගලයා ඇමතූ ආකාරය හොඳ වැඩි බවයි.

අපේ මිනිස්සුන්ගේ ඉතාම කැත පුරුද්දක්නම් ඇඳ සිටින ඇඳුමෙන් මිනිස්සු මැනීමයි. 

එවෙලේ මා ඇඳ සිටියේ ටී ෂර්ට් එකක් සහ චාම් ඩෙනිම් කළිසමකි. මට අවශ්‍ය වූයේ එවැනිම වැඩිය වැඩ නැති ඩෙනිම් කලිසමකි. මා ඇඳුම් එකින් එක තෝරා නොගැලපේයැයි අයින් කරමින් සිටින විටෙක එහි සිටි සේවකයා දැඩි අවඥාවෙන් මෙසේ කීය.

"මේව මහත්තුරු අඳින ඒව...!"
මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.

මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් "අය්යේ", "මචං", "බොස්", "කොල්ලෝ" යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට 'සර්' කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය. 

(මම ආයතනයක මෙහෙයුම් ඉංජිනේරුවරයෙක්ව සිටියදී නූගත් රත්‍රන් බඩු මුදලාලි කෙනෙකුට 'සර්' කියා ඇත්තෙමි. හේතුව අන් කිසිවක් නොව ඔහු මගේ සේවාදායකයාය. මා ඔහුගේ සේවායෝජකයාය.)

මේ ආකාරයේම සිදුවීමක් මේ රටේ පිළිගත් පෞද්ගලික බැංකුවකදීද සිදුවිය.
අදාළ බැංකුවෙන් වෘත්තිකයින්ට දෙන වාහන ණය සඳහා මම ඉල්ලුම් කර එය ඉහළින්ම අනුමත වී තිබුණි. ඒ දිනවල හදිසි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි නිසා ඒ හා සම්බන්ධ සියළු ලිපිලේඛන කටයුතු කළේ ම'පියාය. මා දුරකථනයෙන් හා ෆැක්ස් මගින් සම්බන්ධ වීමි. අවසානයේ අදාල චෙක් පත භාරගැනීමට ඉතා අසීරුවෙන් නිවාඩුවක් ගෙන බැංකුවට ගියෙමි. ඒ වන විට අධික කාර්යබහුලත්වය නිසා මගේ රැවුළ ඝනව වැඩී තිබූ අතර, සුපුරුදු පරිදි මා සැරසී සිටියේ සරල ඇඳුමෙනි.
මා අදාල බැංකු නිලධාරිනිය හමුවීමට උඩු මහලට ගියෙමි.

"මොකද...?" ඇය ඇසුවේ සැරෙනි.
"ටිකක් ඉන්න මෙතන වෙන වැඩක්..!"

ඉතා දිගු කාල නාස්තියකට පසු මට අවස්ථාව උදාවිය.

"ඇයි...? ණයක් ගන්නද නැත්නම් හිඟයක් පියවන්නද...?" 
ඇගේ ස්වරයේ කිසිදු ආචාරශීලී බවකින් නොවීය. මා දෙස බැලූ ඇගේ වත අවඥ්‍යාසහගත බැල්මක් හෙළුවාය.

මා කාරණය කිවු විට ඇය පුදුමයට හා කළබලයට පත්ව අදාල ලියකියවිලි පරීක්ෂා කරන්නට වූවාය. මා පැමිණ සිටින්නේ මිලියන ගණනක වටිනාකමක් ඇති චෙක්පතක් භාරගැනීමටද, මගේ රැකියාව ලෙස 'ව්‍යාපෘති අධ්‍යක්ෂ - මෘදුකාංග ඉංජිනේරු' තිබෙනු දැකද ඇගේ හැසිරීම සපුරා වෙනස් වූයේ යැයි කිවහොත් එහි වැරැද්දක් නොමැති තරම්ය.  

ඇත්ත වශයෙන්ම මෙය මෙසේ නොවිය යුතුය. තමා හමුවට පැමිණෙන අන්ත දිළිදු ගොවියාද, සුළු ව්‍යාපාරිකයාද, මහා ධන කුවේරයාද ඇයට ගෞරවණීය පාරිභෝගිකයෙක්ම විය යුතුය. ඔහුගේ උගත්කම, තරාතිරම, ගණුදෙනු කරන මුදලේ වටිනාකම, අවශ්‍යතාව යන කරුණු වලින් ඔහුට දක්වන ගෞරවය, ආචාරශීලීත්වය හ කැපවුණු සේවය ස්වායත්ත විය යුතුය.

සිංහල ව්‍යාපාරිකයින් හා ඔවුන්ගේ ගෝලබාලයන් මේ දරුණු අඩුපාඩු හදාගන්න තෙක් කුණු බිත්තර නොවේ, වෙඩි තිබ්බත් සාමාන්‍ය මිනිසුන් මුස්ලිම් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීම වලක්වා ලිය නොහැකිය. මන්ද මිනිසුන්ට වටින්නේ ලබාදෙන ගුණාත්මක සේවය හා ලබාදෙන ගෞරවය මිස, තමන්ගේ මුදලින්ම ජීවිතය ගැට ගසාගෙන තමන්ටම සත්තම් දමන උද්දඡ්ඡ්යන්ගේ 'ලොකු සීන්' බැලීමට නොවේ.

පසු සටහන :  ඉහළ පෙළේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොකළ යුතු බව හෝ කළ යුතුබව මම මින් අදහස් නොකරමි. ඇතැම් මහා පරිමාණ මුස්ලිම් ව්‍යාපාරිකයින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ආධාර උපකාර කරන බව සත්‍යයකි. මේ බව මගේ ආරක්ෂක අංශ මිතුරකුද සනාථ කළේය. මමද එවැනි ආයතන වර්ජකයෙක්මි. එහෙත් සාමාන්‍ය අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයින් වර්ජනය කිරීමට තරම් මම අන්තවාදියෙක් නොවෙමි. සෑම දමිළයෙක්ම කොටියෙක් නොවන බවද, සෑම මුස්ලිම් මිනිසෙක්ම ඉස්ලාම් අන්තවාදියෙක් නොවන බවද මම තරයේ විශ්වාස කරමි. එවන් අහිංසකයින් වෙනුවෙන් පෙනී සිටීමටද, ඕනෑම ආකාරයක අන්තවාදයක් නිර්දය ලෙස විවේචනය කිරීමටද මම කිසිවිටෙක පසුබට නොවෙමි. (ඉස්ලාම් අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලබා සිටින්නෙක්මි.)

Tuesday, March 12, 2013

අතිශය භයංකර හෙළිදරවු කිරීමක්....


මා පසුගිය සරසවි ඇදුරන්ගේ වර්ජනය පැවති කාලසීමාවේදී ඒ සඳහා 'බැහැලාම' වැඩ කළ අයෙක් බව ඔබ දනී. ඒ මා රාජ්‍ය විරෝධියෙක් හෝ එන්. ජී.ඕ කාරයෙක් නිසා නොව ජාතික සරසවියක ආචාර්යවරයෙක් ලෙසට මා දිවි දිනූ නිදහස් අධ්‍යාපනය රැකගැනීම වස් මාගේ යුතුකම් කොටස ඉටුකිරීමට බව මගේ අවංක හදවත දනී.   

මීට මාස 6කට පමණ ඉහතදී FUTA මගින් සංවිධානය කරන ලද ඒ මහා ජාතික සටනේදී එක් ඉසවුවකදී මට අපූරු පුද්ගලයෙකු මුණ ගැසිණ.

ඔහු වෘත්තීය සමාජවාදියෙකි.

මා ඔහු හා කුළුපග වූයේ මා මෙන්ම ඔහු සරසවි ඇදුරෙක් යයි සිතාය. පසුව ඔහු පිළිබඳව දැනගත් නමුදු අප සටනට සවිබල දෙන අයෙකු නිසා දිගටම ඔහු හා දොඩමළු වීමි. මා රජයේ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ නිසා ඔහු සිතුවේ මාද උග්‍ර සමාජවාදියෙක් කියාය. 

කොහොමත් ඒ වනවිටත් මා තුළ සමාජවාදය ගැන තිබුයේ පැහැදීමකි. (ඒ පැහැදීම තවමත් මා තුළ ශේෂව ඇත. ලංකාවේ නූගත් බුද්ධි හීනයන් විසින් නායකත්වය සපයන සිය පටු අරමුණු උදෙසා විකෘති කරගත් වෛරී විකාරයට නොවේ. උතුම් මානවවාදී දර්ශනයක් වන පිරිසිදු සමාජවාදයයි.)
උග්‍ර සමාජවාදය ගැන මා අසා සිටිමුත් එවැන්නෙක් සජීවීව ඇසුරු කරන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය විය. ලංකාවේ සමාජවාදීන් තුළ පවතින ('ආගම අබිං' යන මිථ්‍යාව හැරුණු කොටගෙන) මා නොදත් යම් යම් ආකල්පමය විෂම අදහස් දැන ගැනීමට මෙය තෝතැන්නක් කරගත යුතුයැයි මම තීරණය කළෙමි.

එනිසා ඔහුට එසේම (මාද උග්‍ර සමාජවාදියෙක් කියා) සිතාගන්නට හැරියෙමි. 
කිසිදිනෙක මා සිහිනෙන්වත් නොසිතූ කරුණු කාරණා කිහිපයක් ඔහු මට හෙළි කරන්නට පෙළඹුනි. මගේ පියා විජේවීරගේ හිටපු පළමු පෙළ අනුගාමිකයෙක් සහ ජ'පුර සරසවියේ හිටපු ශිෂ්‍ය නායකයෙක් යයි මා හෙළිදරව් කළ නිසා ඔහු එසේ නිගමනය කරන්නට ඇත. 

පළමු කරුණ මා දැනගත්තේ අහම්බෙනි. 
ඉස්ලාම් මූලධර්මවාදය ගැන මාතෘකාව ඇදුනේ අහම්බෙනි.
"මම නම් කැමතියි තාලිබාන් කාරයො හරි කොටි හරි මොකෙක් හරි ලවා ඔය බුද්ධාගමයි සංස්කෘතිය කියන විකාරෙයි නැති කරල දානවට...."
මා විශ්මයට පත්වෙනු දැක ඔහු මෙසේද කීය. 
"ඕක තමයි අපිට තියෙන ලොකුම හෙණේ...මේ රටේ බුද්ධාගම තියෙනකම් අපිට කවදාවත් අපේම පාලනයක් ගේන්න බෑ. මේ රටේ මිනිස්සු සමාජවාදය පිළි ගන්න අකමැති ඔය බුද්ධාගම ඔළුවෙ වැඩ කරන නිසා. මෛත්‍රී කර කර විප්ලව කරන්න බෑ සහෝදරයා...අරගල කරන කොට ප්‍රතිවාදීන්ගෙ ලේ ගෑවෙන එක නවත්වන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලම කරන්න ඕන ඔය කෙහෙල්මල් ආගමයි සංස්කෘතියයි විනාශ කරල දාන එක...! ඒකට උදවු කරන ඕනම එකෙක් අපි පිළිගන්න ඕන." 

යම් කිසි හේතුවක් නිසා ලංකාවේ ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියා කලාපය මම ඔහු හා දැඩිව විවේචනය කළෙමි. ඉන් දිරි ලැබූ ඔහුගේ ප්‍රකාශය ඉතා බැරෑරුම්ය.
"අර කාම්බෝජෙ කළා වගේ කවදහරි අපේ පාලනයක් තියෙන දවසට ඔය සංඝයො ඔක්කොම සිවුරු ගලවල කුඹුරු හාපිය කියල ගහල පන්නන්න ඕනා...!" 
ඉතිරි ටික ඇසූ මගේ ඇගේ හිරිගඩු පිපිණ....! 
"බැරි උන් ඔක්කොම මරලා දාන්න ඕන බල්ලො වගේ...!!" 
මා ඔහුගෙන් පැහැදිළි කරගත් ආකාරයට, ඔහු අදහස් කළ 'සංඝයා' කුළකයට ආරණ්‍යවාසී ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා පවා ඇතුළත්ය...!

මීට පසු මා උපක්‍රමශීලීව දැනගත් කරුණු මෙසේය.
ඔහු නියෝජනය කරන්නේ මේ රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂයක් නොවේ. ඉන් බිඳී ගිය මෑතකදී අටවාගත් එකකි. ඔවුහු රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂවල ප්‍රතිපත්ති පිළි නොගනිති. විප්ලවය හා සමාජවාදයේ මූලධර්ම අත් හැර ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු පිළිවෙත් අනුගමය කිරීම ඊට හේතු ලෙස දක්වයි. කෙටියෙන්ම කිවහොත් ජ.වි.පෙ. ඇතුළු රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂ 'සමාජවාදී මදිය.'

සිය මතවාද පතුරුවන කල්ලි විවිධ නම්වලින් පෙනී සිටින බවත්, ඇතැමුන් රතු කුරුස සමාජය හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන්නන් ලෙස පෙනී සිටින බවත් ඔහු හෙළි කළේය. දමිළ බෙදුම්වාදය පිළිගැනීම සහ ඊට සහය දැක්වීම පොදු ලක්ෂණයයි.(නමුත් මින් එකක්වත් ලංකාවේ  ඉතිහාසයක් ඇති සම්ප්‍රදායික සමාජවාදී, මාක්ස්වාදී හෝ කොමියුනිස්ට්වාදී පක්ෂ නොවෙයි.)

මා දැනගත් තවත් කරුණක් ඉතා බරපතලය.
ඔවුහු බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදයේ අනුග්‍රහය ලබති. උන් ත්‍රස්තවාදීන් යයි මොවුහු නොපිළිගනිති. තත්ත්වය ඉතා භයානක වන්නේ (මොවුන් පවසන අන්දමට) ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩි බලතල හා පාලනය ඇත්තේ මොවුන්ටය....!
මෙය සත්‍යයක් නම්....ඉතා කණගාටුදායකය....

තවද, මොවුහු ඉස්ලාම් මූලධර්මවාදය ඇතුළු දේශද්‍රෝහී සියළුම බලවේගවල ආශිර්වාදය ලබති.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රුධිරය වගුරුවන විප්ලවය මොවුහු තවමත් (යල්පැන නොගිය, හණමිටි නොවන!) පාලන බලය ඇල්ලීමේ එකම ක්‍රමෝපාය ලෙස ඉඳුරාම පිළිගනිති....!

මට ඇතිවූයේ ශිෂ්ඨාචාරගත වී වැදගත් ලෙස ඉස්ලාමය අදහමින් සිට ඉස්ලාම් මූලධර්මවාදයට යන්නාක් මෙන් හැඟීමකි.

එහෙත් තවදුරටත් මේ 'අපූරු' දර්ශනය අදහන්නන්ගේ රහස් දැන ගැනීමේ කුහුල විසින් මැඬලනු ලැබූ එළිපිට අප්‍රසාදය පළ කිරීම නම් වූ ප්‍රතිචාරය මා තවදුරටත් ප්‍රමාද කළේය.

අවසාන වශයෙන්, අප හයිඩ් පාර්ක් පාගමනට සමගාමීව බෙදන්නට ගෙනා පත්‍රිකාවක් මට ඔහුගෙන් ලැබුණ. අමෙරිකාවේ සමාජවාදී ජනාධිපති අපේක්ෂකායා ඉදිරි දිනවලදී දිවයිනට පැමිණෙන්නට බලාපොරොත්තු වන බවත් බවත්, වැඩිදුර තොරතුරු www.wsws.org වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් පවසා ඔහු වෙන්විය.          

Monday, February 18, 2013

නුදුටු කා(ර්)ල් මාක්ස්.....




කා(ර්)ල් මා(ර්)ක්ස් යනු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකි. මිනිසා ආගමේ වහලෙක් විය යුතු නැති බව ඔහුගේ දැක්ම විය. සම්ප්‍රදායට පටහැණි, ගතානුගතික නොවන නව නිවහල් චින්තන ධාරාවකට යොමුවීමට මිනිසාට ආගම මගින් පනවා ඇති සීමාවන් බාධා පමුණුවන බව ඔහු අවංකව විශ්වාස කළේය. 

එය සත්‍යයකි. දෙවියන් පිළිබඳ සංකල්පය හා පල්ලියේ බලපෑම බලය සහිත මතවාද සමග ගැටෙමින් සිතීමේ නිම් වළලු ප්‍රසාරණය කළ නොහැකිය. (විශ්වයේ පරම බලවේගය වන දෙවියන් අභිබවනය කිරීම ආගමට අනුව බරපතල වරදක් බැවිනි.)

"ආගම අබිං" යනුවෙන් ලංකාවේ මා(ර්)ක්ස්වාදීන් හා සමාජවාදීන් අතර ප්‍රචලිත පාඨය බිහිවන්නේ එම පදනම මූලික කරගනිමින්ය.

එහෙත් අවාසනාව වන්නේ මා(ර්)ක්ස් හෝ ඔහුගේ දර්ශනය ගැඹුරෙන් අධ්‍යනය නොකළ හා එසේ කිරීමට උත්සාහයක් නොගන්නා හෝ එසේ කිරීමට උගත්කමක් නොමැති, ලංකාවේ ඇතැම් තරුණ කොටස්, උක්ත පාඨය මතුපිටින් අල්ලාගෙන දැඟලීමයි.

මේ සඳහා ප්‍රවේශයක් කාල් මාක්ස්ගේම වදන් වලින් ගනිමි. 
"Most of my time I'm walking and breathing fresh air. I read nothing and write less. I go to bed at 9.00 p.m. Generally, I subside into the emotional state of non-existence that Buddhism considers to be the height of human delicacy.". 
ඔහු මෙසේ සඳහන් කරනුයේ ඔහුගේ දියණිය වන ලෝරා මාර්ක්ස්ට (Laura Marx) 1986.03.20 දින සිය අත් අකුරින්ම ලියන ලද දීර්ඝ ලිපියකදී ය.

මෙයින් පැහැදිලිවම ගම්‍ය වන කරුණ නම්, සර්ව බලධාරී දෙවියකුට අසීමිත බලතල නොපවරන, සිතීමේ නිදහස අහුරනු වෙනුවට එය දිරිමත් කරන, පිරිසිදු බෞද්ධ දර්ශනය ඔහු අදහස් කළ ආගම් කුළකයට අයත් නොවන බවය. (Exception)

විහිළුව නම්, කාල් මාක්ස් මෙවැනි අන්තර්ගතයක් සහිත ලිපියක් සම්පාදනය කළේදැයි තබා කා(ර්)ල් මා(ර්)ක්ස්ට දියණියක් සිටි‍යේදැයි පවා නොදන්නා ලංකාවේ සමාජවාදී අඳබාල පරපුර, නිකරුණේ (ආගමික නායකයෙක් වීම කෙසේ වෙතත්) ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් බවට මෙලොව පහලවූ, විශේෂයෙන්ම බටහිර අබෞද්ධ අති අග්‍රගණ්‍ය බුද්ධිමතුන්* එකහෙළාම පිළිගන්නා බුදුන් වහන්සේට හා උන්වහන්සේගේ විශිෂ්ට දර්ශනයට අපහාස කිරීමට පෙළඹීමයි.


මේ පිළිබඳව මා ෆේස්බුක් සමාජ ජාලයේ සඳහන් කළ විට, මගේ ශිෂ්‍යයෙක් අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබුණි. එනම්, ලංකාවේ සිටින්නේ කා(ර්)ල් මාක්ස් වාදීන් නොව, කාල් (1/4) මාක්ස්වාදීන් බවයි!.
මෙහි ගැබ්වී ඇති ගැඹුරු අදහස නම්, විචාර බුද්ධියෙන් හීන ලාංකික සමාජවාදියා, කා(ර්)ල් මාක්ස් නම් දාර්ශනිකයා සහ ඔහුගේ උතුම් මානවවාදී දහම හරිහැටි හඳුනාගෙන නොමැති බව නොවේද..?

කා(ර්)ල් මාක්ස් ගේ දර්ශනය ගැඹුරින් හදාරද්දී පෙනීයන දෙයක්නම්, ඔහුගේ පසු කාලීන ඉගැන්වීම් බොහොමයකට බෞද්ධ දර්ශනයේ ආභාශය ලබා ඇති බවය. මෙය මේ ආකාරයෙන්ම බටහිර අබෞද්ධ විද්වතුන් රාශියකටමද දැනී ඇති බව දර්ශනය පිළිබඳ තුලනාත්මක විවරණ සහිත ග්‍රන්ථ පරිශීලනයේදී මනාව පැහැදිලි වේ. එනම්, ආගම යනුවෙන් ඔහු අදහස් කළේ ඔහු විසූ සමාජයේ ඇදහූ දේවවාදී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආගම් ලෙස හැඳින්විය හැකි මතවාද බව වටහා ගැනීමට අපහසු නොවේ. කොහොමටත් බුදු දහම යනු දර්ශනයක් මිස, ඇදහිය යුතු ආගමක් නොවන බව, ලොව පහළ වූ එකම දාර්ශනිකයින් නම් සමාජවාදී නායකයින් පමණැකැයි සිතාසිටින, මිහිපිට එකම පරම සත්‍යය සමාජවාදය (අඩු ගානේ කාර්ල් මාක්ස්වත් එසේ කල්පනා නොකළේය!) යයි කල්පනා කරන පටු ලෝකයක ජීවත් වන මේ ළිංමැඩි උද්දච්ඡයින් හැර අන් සියළු දෙනා ඉඳුරා ම දනිති.      

ලංකාවේ මා දැක ඇති මා(ර්)ක්ස්වාදීන් / සමාජවාදීන් යයි කියාගන්නා අයවලුන් තුළින් මා දකින්නේ කා(ර්)ල් මාක්ස්ගේ අනුගාමිකයන්ගේ නොව, ඉස්ලාම් අන්තවාදීන්ගේගේ (සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයින් නොවේ) සහලක්ෂණයි. මා හොඳින් දන්නා කියන එක්තරා උග්‍ර සමාජවාදියෙක් මේ මෑතකදී මා හා ප්‍රකාශ කළේ, සමාජයක පැවතිය යුතු එකම පාලන ව්‍යුහය සමාජවාදය බවත්, සියල්ලන්ම එක්කෝ සමාජවාදය පිළිගත යුතු බවත්, නැතහොත් (එය පිළිනොගන්නා 'ප්‍රතිගාමීන්' ට) එම සමාජයේ ජීවත් වීමට අයිතියක් නොමැති බවත්ය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් යම් සමාජයක සමාජවාදී කල්ලියකට බලය ලබාගත නොහෙන සන්දර්භයක් තුළ, විප්ලවයකින් (හොඳින් හෝ නරකින්) එම 'උත්තුංග' අරමුණ සාක්ෂාත් කරගැනීම (තවමත් යල් පැණ නොගිය!) පිළිවෙත බව ඔහු දැඩිව විශ්වාස කරයි. මේ සඳහා විකල්ප මත දරන පිරිස් නිහඬ කළ යුතුබවද ඔහු කීය. මේ කියන්නේ තම ලබ්ධිය පමණක්ම නිවැරදිය, විකල්ප මත දැරීමට අන්‍යන්ට ඇති අයිතිය ඇහිරිය යුතුය යන අන්තවාදයේ එක් මුහුණුවරක් නොවේද..? 
විචාර බුද්ධියෙන් තොරව, කවුරුන් හෝ කියන ලද දෙයක් ඒ ආකාරයෙන්ම අදහන්නන් වාලේ 'ඇදහීම' හා ඊට විරුද්ධ මත නොඉවසීම, කෙසේ හෝ තම මතය වැපිරීම යන අරමුණ මුදුන්පත් කරගැනීම, (හොඳින් හෝ නරකින්) විකල්ප මත ඉවත් කිරීමට කල්පනා කිරීම දැඩි මතදාරී මූලධර්මවාදීන්ගේ ලක්ෂණ වේ.      

සැබෑ සමාජවාදියා, සමාජය කෙරෙහි ඊර්ෂ්‍යාව පදනම් කරගත් වෛරී සිතුවිල්ලෙන් නිරන්තරයෙන් දැවෙමින් සිටින කුහකයෙකු නොව, සමාජයට දැඩි ලෙස කරුණාභරිත ආකල්ප දරන උතුම් මිනිසකු බව ලංකාවේ විහින් මවාගත් හීනමානයෙන් පෙළෙන අධ්‍යාත්මික අන්ත දිළින්දන් වටහා ගන්නේ කවදාද....?



අනෙක් අතට, ලංකාව වැනි 'සදාකල්හි පීඩිත බවින්' මිදීමට අවස්ථාවන් විරල නොවන සමාජයකට උග්‍ර සමාජවාදයේ අවශ්‍යතාව තදින් නොදැනේ. සමාජවාදයේ උපත සිදුවූ රටවල එකළ තිබූ වාතාවරණයට සලකා බැලුවහොත්, පීඩිතයාට එම තත්ත්වයෙන් මිදීමට කිසිදු අවකාශයක් නොතිබූ  බව පැහැදිලිය. එනම් විප්ලවය යනු පෙළෙනු ලැබෙනු ජනතාවට මුග්ධ පාලකයින් ඉතිරි කළ එකම විකල්පයයි.
එහෙත් ඒ වෙනුවට තෝරාගත හැකි විකල්ප රාශියක් අප සමාජයේ පවතී. ප්‍රධානතම මාර්ගය නම් නිදහස් අධ්‍යාපනයයි. අන්ත පීඩිත ජීවන තත්වයේ සිට ඉහළ මධ්‍යම පන්තිය දක්වා සංක්‍රමණය වීමට රටේ ඕනෑම කෙනෙකුට මෙමගින් මං අසුරා නොමැති බවට ඕනෑ තරම් අප සමාජයේ සාධක ඇත. මේ ලියන ම'පියාගේ ඉතිහාසයද එසේය.
හැමෝම ඒක සේම ඉගෙනුමට දක්ෂයින් නොවිය හැකිය. එහෙත්, රටේ සමෘධිමත් ව්‍යාපාරිකයින් බහුතරයකගේ ජීවිත අන්දරය ගෙන බැළුවහොත්, ඔවුන්ගේ ආරම්භය අන්ත දුගී, අසරණ පැල්පත බව පසක් වේ.

ඒ අනුව බලන කල්හි, 'අපි සදා පීඩිතයෝ, මෙන්න අපිව සූරා කනවෝ' යයි මොරදෙන සාතිශය බහුතරය (සෑබෑ මානව දයාවෙන් තෙත් වූ හදවත් ඇති උගත්, අවබෝධයෙන් යුත් සමාජවාදීන්ද ඉතා කලාතුරකින් නැතුවා නොවේ.) සිය නොහැකියාව නම් නිරුවත වසා ගැනීමට සමාජවාදය නම් අමුඩය යොදා ගන්නා බව සක්සුදක් සේ පැහැදිළි යථාර්ථයකි. මා පෞද්ගලිකව දන්න මෙවැන්නන්ගෙන් බහුතරය, තමන්ගේ දුර්වලතා හේතුවෙන්ම සිය අරමුණු වලට ළඟාවීමට නොහැකි වූවන්ය. මොවුන් සිය අඩුපාඩුව පිරිමසා ගන්නේ තමන් මේ තත්වයට පත්වීමට මුළුමහත් සමාජයම වගකිව යුතුබවට අභූත චෝදනා නගමින්, ස්වෝත්සාහයෙන් ඒ අභියෝග ජයගත් අයට ඊර්ෂ්‍යා කරමින්, එවැන්නන්ට එසේ වන්නට දිරිදුන් සමාජයට වෛර කරමිනි. 
මේ දුෂ්ඨ ප්‍රවාහයට, එනම් සාධාරණයෙන් යමක් කමක් උපයාගත් අය හෙළා දැකීමට දිරිදෙනු වෙනුවට උපේක්ෂාව ප්‍රගුණ කරන්නට, උත්සාහවන්ත වීමට ඔවදන් දෙන බුදුදහම ප්‍රමුඛ අවිහිංසාවාදී ආගම්, මෙවැන්නන්ගේ වෛරයට පාත්‍ර වීම මෙවන් සන්දර්භයක් තුළ අරුමයක් නොවේ.

ඕනෑම දර්ශනයක් බාගෙට හදාරා, එයින් අපරිණත (immature) නිගමන වලට එලඹෙන අයට මා කියන්නේ දාර්ශනික නූගතුන් කියාය. මෙවැන්නන්ට අනුකම්පා කිරීම හැර වෙන කුමක් කරන්නද...?  


* ඇල්බට් අයින්ස්ටයින් යනු නූතන මනව ඉතිහාසයේ පහළ වූ බුද්ධිමත්ම මිනිසා ලෙස අවිවාදිතව පිළිගැනේ. සාමාන්‍ය මිනිසකුගේ බුද්ධි ඵලය 100ක් වෙද්දී, ඔහු එම අගය 130කට හිමිකම් කියයි. බුදුදහම පිළිබඳව ඔහුගේ අදහස බලන්න.
"The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism."
-Albert Einstein

බර්ට්‍රන්ඩ් රසල් යනු 'කළුකුම් න්‍යාය' මගින්, සියවස් ගණනක් පැවති නිරීක්ෂණ මගින් විද්‍යාත්මක සෛධාන්ත ව්‍යුත්පන්න කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බව පෙන්වා දුන්, විදු ලොව මහත් පෙරළිකාර විප්ලවයක් කළ මහා විද්‍යාඥයෙකි. ඔහු බෞද්ධ දර්ශනය ගැන ගැඹුරු අධ්‍යයනකින් පසුව කරන ලද ප්‍රකාශයක් මෙන්න:
"Buddhism is a combination of both speculative and scientific philosophy. It advocates the scientific method and pursues that to a finality that may be called Rationalistic. In it are to be found answers to such questions of interest as: 'What is mind and matter? Of them, which is of greater importance? Is the universe moving towards a goal? What is man's position? Is there living that is noble?' It takes up where science cannot lead because of the limitations of the latter's instruments. Its conquests are those of the mind."
-Nobel-prize winning philosopher Bertrand Russell

පරමාණුක ආකෘතිය සොයාගත් නීල්ස් බෝ(ර්) :
"For a parallel to the lesson of atomic theory...[we must turn] to those kinds of epistemological problems with which already thinkers like the Buddha and Lao Tzu have been confronted, when trying to harmonize our position as spectators and actors in the great drama of existence."
-Niels Bohr, who developed the Bohr Model of the atom

බෞද්ධ දර්ශනයේ සත්‍යභාවය වටහා ගැනීමට බටහිර විද්වතුන් පෙන්වාදිය යුතු නොවේ. මා ඉන් අදහස් කළේ, විවෘත මනසක් හා විචාර බුද්ධියක් දරන ඕනෑම කෙනෙකුට එය ගෝචර වන බවයි.

Thursday, January 31, 2013

අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ට.....


මේ ආදරණීය අවවාදය අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ටයි.....
උසස් පෙළ කඩඉම තරණය කර, වෛද්‍ය විද්‍යාලයේ හෝ ඉංජිනේරු පීඨයේ දොරකඩ අභියස සිටින ආදරණීය දරුවනි,
ඔබ දැවැන්ත ජයග්‍රහණයක් ලැබ ඇති බව අවිවාදිතයි...එහෙත් මේ ටිකත් මතක තබාගන්න...
වෛද්‍ය හෝ ඉංජිනේරු යනු සමාජයට සේවය සලසන දැඩි සමාජ වගකීමකින් යුත් තවත් එක් වෘත්තියක් පමණි. 
එය ආඩම්බර වීමට හෝ ඔලුව උදුම්මාගැනීම්ට තරම් කාරණයක් නොවේ.
තමන් යටතේ සේවය කරන අහිංසකයන්ගේ දුක, කඳුළ, වේදනාව නොහඳුනන, කර්කශ වචනයෙන් ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසන, හිතක් පපුවක් නොමැතිව ඔවුන් සූරා කන මහ ලොකු ඉංජිනේරුවන්ට වඩා, 
නොසැලකිල්ල නිසා අසරණ රෝගීන්ගේ අත් පා අහිමි කරන වෛද්‍යවරුන්ට වඩා,
(සැබෑ මිනිසුන්ද නැතුවා නොවේ. එවැන්නෙක් වන්නට අදිටන් කර ගන්න.)
ගෙවල් ගානේ ගිහින් ඇට බෙදන, රු. 10,000 වැටුපට ගිණි අව්වේ පිච්චෙමින් ඇවිදින කලා උපාධිධාරීන් මේ රටේ ජනතාවට වඩාත් සමීපය, ආදරණීයය, ගෞරවණීය ය.
ඒ නිසා, තවත් කිසිම කෙනෙකුගේ වෘත්තියක්, අධ්‍යාපන මට්ටමක්, විෂය පථයක් හෙළා දකින්න එපා.
නගර සභාවේ කුණු අදින සේවකයාගේ පවා සේව‍ය මේ රටට ඉතා වටිනේය. ඔහුටද ඔබට මෙන්ම ආත්ම ගරුත්වයක් ඇත.
මතක තබාගන්න, ඔබ ජනතාවගේ සේවකයන් මිස ඔවුන් අතර රජවරුන් නොවේ.
ඔබට දී ඇත්තේ වරප්‍රසායක් නොව සේවය කිරීමට වරමකි.
මිනිස් ගුණ දම්, උස් මහත් කළ දෙමාපියන්, දෑස පෑදූ ගුරුවරුන් පමණක් නොව ඔබේ ඉගෙනුමට සිය දහදියෙන්, කඳුලෙන්, රුධිරයෙන් සම්මාදම් කරන මේ රටේ අසරණ මිනිසුන් කවදාවත් අමතක කරන්න එපා.
රටක්, සමාජයක් බබලවන්නේ ලොකු මිනිසුන් නොව හොඳ මිනිසුන්ය. 
මිනිසුන් ඔබට පෙරලා ගරු කරන්නේ ඔබ ඔවුන්ගේ ගරුත්වය රැක්කොත් පමණි.

Sunday, January 27, 2013

හලාල් නොවූ මිනිසත්කම


පටු මං මාවත් රාශියක් ඔස්සේ රිය පදවා මම වෙහෙසට පත්වී සිටියෙමි. වැලිගම නගරය පසු කර කිලෝමීටර 3ක් පමණ ඇතුළට මා ගමන් කරන්නට ඇත. පාර පුරා ඉබාගාතේ යන එළු රෑන මට නිතැතින්ම මතකයට ගෙන ආවේ කරුණාරත්න දිවුල්ගනේගේ 'රාමලාන් සඳ බලන්න එන්න පාතිමා' ගීතයයි.

දැන් මා පැමිණ සිටින්නේ තුං-මං සන්ධියකටයි. මා මිතුරියගේ මංගල ආරාධනා පත්‍රය ගෙන ආවේ හොඳ වෙලාවටය. මේ කළබළ අස්සේ මට උත්සව ශාලාවේ නම අමතකව ගොස් තිබිණ. දන්නා කෙනෙකුගෙන් අසා දැන ගැන්මට මම තීරණය කළෙමි.

"ඉස්ලාම් සෙක්‍රටේරියට් හෝල් එක කොහෙද දන්නෙ නෑ නේද....?" 
මා ඇසූ පැණයට තරුණයාගෙන් ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඔහු දමිළ භාෂාවෙන් කියූ දෙය අනුමාන වශයෙන්වත් මට සිතාගත නොහැකි විය. මා අවට බැලුයේ වෙනත් පිළි සරණක් සොයමිනි. 

"ආ..මාත්තියා...ඔහොම කෙළිම්ම ඉස්සරහට ගිහින් එළොලු කඩේ එක්ක තියෙන පාරෙන් හරවන්ඩ." රිය කවුළුවෙන් එබී බැලූ තලතුනා මිනිසෙකු කීය.

"බොහොම ස්තුතියි." 
මා වීදුරුව වසා ගත්තා පමණකි. එකම වේලාවේ දෙපැත්තකින් පැමිණි වාහන කිහිපයක්ම එතන එක පොදියට එක් වී කිසිදු වාහනයකට එහා මෙහා විය නොහැකි වාතාවරණයක් නිර්මාණය විය. අනෙක් වාහන සියල්ලම තොර තෝන්චියක් නොමැතිව නළාව නාද කරන්නේ මට අප්‍රසාදය පළ කරන්නට මෙනි.

කොහොමටවත් වාහනය ඉදිරියටනම් යා නොහැකිය. පසුපසට ගැනීමට රිවර්(ස්) ගියරය දැමූ මා දුටුවේ එයද අසාර්ථක ප්‍රයත්නයක් බවයි. මා රිය පිටුපස දැනටමත් දිගු වාහන පෝළිමක් ඉමහත් නොඉවසිල්ලෙන් පසුවූහ.

මා පත්වූයේ අන්ත අසරණ තත්වයකටය. මේ අතර මගේ රියට සමාන්තරව තිබූ වෑන් රථයේ රියැදුරු යමක් පවසන බව දුටිමි. ඔහුගෙන් යම් වැදගත් උපදෙසක් අපේක්ෂාවෙන් මම වීදුරුව පහත් කළෙමි.
එකෙණෙහිම මා සවනත වැකුණේ අතිශය කඨෝර අසැබි වදන් සමූහයකි.
ඔහුගේ කෝපය සමනය කිරීමට මා මළානික සිනාවක් පෑවද ඔහු නොවේ ඉන් සැලුනේ. අසභ්‍ය වචන භාවිත කළ චතුර වාග් විලාශය අනුව නම් අනිවාර්යයෙන්ම ඔහු සිංහල ජාතිකයෙකි.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ මේ වූ දෙයට මම අන්දමන්ද වී කිසිවක් කරකියාගත නොහෙන තත්වයට පත්වීමි.
මේ අවස්ථාවේ මගේ පිළිසරණට ආවේ අසළ තිබූ වසා තිබූ කඩයක් ඉදිරිපිට කල් මරමින් සිටි රැවුළ වවාගත්, කෙසඟ පුද්ගලයෙකි.
මට පිටුපසින් තිබූ වාහන පෙළ තරමක් පිටුපසට ගමන් කරවීමට ඔහු සමත් විය. 

"එන්න මාත්තියා." 

පැටළුණු නූල් බෝලය ලිහාගත් මම, "බොහොම ස්තුතියි. මම යනවා." කියන්නට අතින් සන් කළෙමි.

ඔහුගේ මුහුණේ ඇඳී තිබූ උපේක්ෂා සහගත මද සිනාව, ස්වයංක්‍රීයව වැසී යන අඳුරු පැහැ ගන්වන ලද වීදුරුව තුළින් වුවද පැහැදිළිව දුටිමි. 

Thursday, January 3, 2013

මිනිසෙකුට ආගමක් අවශ්‍යමද....?


(මෙහි එන එකදු සිදුවීමක් හෝ චරිතයක් මන: කල්පිත නොවේ.)

සිදුවීම 1

නිද්‍රාශීලීව, ඝන අන්ධකාරයේ වෙළී තිබු ගම්මානය සලිත වී ගියේ හෙණ හඬින් පුපුරා ගිගුම් දුන් වෙඩි හඬෙනි.
"අර අහිංසකයට වෙඩි තියන්න ඇති අර නරුමයෝ." තාත්තා කීවේ ශෝක භරිත හඬිනි.
"කවුද ලැම්බට් මුදලාලිටද..?" ඒ අම්මාය. ඇගේ හඬද ඉකි බිඳින ස්වරයකි.
"ඔව්. අරුන් මුදලාලිගෙන් උන්ගෙ සංවිධානෙ වැඩවලට සල්ලි ඉල්ලුවලු. මට ඊයෙ හවස කිව්ව."
"ඒ අහිංසකයට කොයින්ද ඔය දුප්පත් කඩෙන් එච්චර ආදායමක්..? දරු පවුල නඩත්තු කරන්නෙත් හරිම අමාරුවෙන් නේ."
පෙරදින සවස භූමිතෙල් ගෙන ඒමට තාත්තා සමඟ මම ඔහුගේ වෙළඳ සැලට ගොඩවුනෙමි.
මට එක්වරම සිහියට ආවේ අප ආපසු එන්නට හදන විට ඔහු මගේ හිස අතගා නොමිළයේම ටොෆි කිහිපයක් අත මිට මෙළැවූ අයුරුය.
එවන් හිත හොඳ, ගමේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ ඔහු කිසියම් පිරිසක් විසින් ඔහු නොමැතිව අනාථ වන දරු පවුල ගැනවත් නොසිතා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණ.

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 2

මේ හා සමාන සිදුවීමක් ඊට මාස කිහිපයකට පසුව සිදුවිය. මෙවර බිල්ල වූයේ ගමේ නීති විරෝධී මත්පැන් අලෙවි කළ අප ගම්වැසියෙකි.
දිළිඳු භාවයේ අන්තයටම එරී සිටි ඔහු, ම'පියාගේ ඇතුළුව ගමේ යමක් තේරෙන අයගේ ඉල්ලීම්, අවවාද, මගපෙන්වීම සහ මුදල්/ද්‍රව්‍යමය උපකාර මත එම සමාජ විරෝධී රැකියාවට සමුදීමට මහත් කැමැත්තෙන් සිටිබව පසුව දැනගතිමි.
කොහොමටත් ඔහු ඉතා අහිංසක, ලෙන්ගතු මිනිසකු බව මගේ පුද්ගලික අත්දැකීම විය. එකම වැරැද්ද වූයේ වැරදි රැකියාව පමණි. පවුකාර ජීවිතයෙන් මිදීමට දින කිහිපයක් ඉවසීමෙන් බලා සිටි ඔහුට එක්තරා කල්ලියකින් මරණ වරෙන්තු නිකුත්කර තිබිණ. සිය දරුවන්ගේ සහ බිරිඳගේ කුසතුළ සිටින තවමත් මෙළොව එළිය නොදුටු බිළිඳාගේ නාමයෙන් සිතක් පපුවක් නොමැති නරුමයන්ගෙන් ජීවිතය අයැද සිටි ඔහුට එම අවස්ථාව නොලැබිණ. ඔහු ඝාතනය කරන ලද්දේ කුඩා දරුවන් හා නවමස් ගැබිණි බිරිඳ ඉදිරිපිටදීමය.

සිදුවීම 2 - අතුරු කතාව

දරාගත නොහැකි කම්පනයෙන් අප ඒ පෙදෙස අතහැර ගියද, මගේ පියාගේ සොයුරා තවමත් එහිම වාසය කරයි. මා නව යොවුන් තරුණයකු වූ පසු අපි දිනක් එහි ගොස් ක්‍රිකට් සෙල්ලම් කළෙමු. ගමේ මන්දමානසික දරුවකු අප සෙල්ලම් කරන තැනට අවුත් මහත් සේ හිරිහැර කරන්නට විය. පසුව මා දැනගත්තේ ඒ සිය පියා වෙඩි කා මිය යද්දී මවුකුස තුළ සිටි දරුවා බවයි.

(කොළඹ - පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ පොලොන්නරුව නගරයට කි.මී. 2ක් මෙහා, බැඳිවැව 'කිරි සෙන්ටර් එක' බස් නැවතුමේ බැස එතැනින් ඇතුළට ඇති ගුරු පාරේ මීටර් 500ක් පමණ ගමන් කර, 1988-89 කාලයේ ඒ ගමේ විසූ ඕනෑම ගම් වැසියෙකුගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව ඔබටම විමසා දැනගත හැකි ය.)

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 3

අප ගමන්ගත් ලංගම බස් රථය කිසියම් පිරිසක් විසින් නවත්වන ලදී. අනතුරුව සියළුම මගීන්ට, රියැදුරුට සහ කොන්දොස්තරට ඉන් බසින්නට අණ ලැබිණ. ඉන් පසුව සිදුවූ සියල්ල ඔබට සිතාගත හැකිය. එම දරුණු ක්‍රියාව ගැන විරෝධය පෑ වැඩිහිටියෙකුට ලැබුණු පිළිතුර මෙසේය: 
"සහෝදරයා. අපි රජයට දැඩිව විරෝධය දක්වන්න ඕනෑ."
"මාමේ, ඒ වුනාට මේ අපේ බස් එකනේ" එවක සය වස් දරුවකු වූ මා වේදනාවෙන් දැවෙන හදවතින් කෑගෑමි. ඵලක් වූයේ නැත.
රට කරනවුන් ගෙදරින් ගෙනා මුදල් නොව, සුවහසක් අහිංසක ජනතාවකගේ කඳුල, සුසුම, දහඩිය මෝහයේ ගිණිසිළු වලින් වැසෙන්නට විය.
(මට අදටත් ඇති විස්මය නම්, සයවස් දරුවකුට තේරෙන දෙයක්වත් තේරුම් ගන්නට මොළයක් නොතිබූ මන්ද-බුද්ධිකයින්, අදටත් ඇතැම් කොටස් වල වීරයන් වන සැටිය.)

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 4

එකල ගමේ රූපවාහිනී යන්ත්‍රයක් තිබූ නිවෙස් අතලොස්සෙන් එකක්, අප නිවස විය. 'නයිට් රයිඩර්' වෘත්තාන්තය පළමුවරට මෙරට විකාශය කළේ එසමයෙහිය. මෙය බැලීමට මගේ පියාගේ ඉහළ පන්තිවල ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ද පැමිණෙති. ඔවුන් එය නරඹා පෙරලා ආපසු යමින් තිබූ දිනෙක, අප නිවසේ ගෙට්ටුව සෙළවෙනු ඇසී තාත්තා විදුලි පන්දම දල්වා බැලීය. ඔහුගේ ආදරණීය ගෝලයන්, ගේට්ටුවේ වූ ලියුම් පෙට්ටියට යමක් දමනු පෙනිණ.
ඔවුන් ගිය පසු එම කඩදාසි කැබැල්ල ගෙනා තාත්තා, එය හඬ නගා කියැවීය.
"ආණ්ඩුවේ දණ්කුඩ පඩි කන බල්ලෝ, තෝ හෙටම ඉස්කෝලේ ගමන නැවැත්තුවේ තොපේ පවුලම මරණවා දැනගනියවු!"

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 5

මා සරසවියේ අවසන් වසර සිසුවෙකු ලෙස සිටි කාලයේ , අධ්‍යයන නිවාඩුවක් අතරතුර (මාතර දිස්ත්‍රික්කයේ ඈත කෙළවර පිහිටි) මහගෙදර ගිය දිනක, ගමේ මළගෙදරක නිදිවැරුමට සිදුවිය. මෙහිදී මට අපූරු පුද්ගලයෙකු මුණගැසිණ. 
එතරම් උගත් නැතත්, විශාල හිස සහ පුළුල් නළල් තලය කියා පාන්නේ ඔහු ජීවන අත්දැකීම් හා බුද්ධියෙන් පරිණත වූයෙකු බවය.
ඔහු 88-89 කාළයේ 'සමාජවාදී' දේශපාලනය කර අනූනවයෙන් දිවි බේරාගත්තෙකි.
සංවාදය අතරතුර මම අතුරු ප්‍රශ්නයක් ඇසුවෙමි.
"ඒ දවස්වල ඕව කරනකොට පවු කියල හිතුන්නැත්ද?"
මෙතෙක් උපේක්ෂාසහගතව, උපශාන්තව තිබූ ඔහුගේ මුහුණ එක්වරම අඳුරු විය.
"පවු...?   න්..නෑ..." තත්පර කිහිපයකට පැවතියේ දැඩි නිහඬතාවකි.  මද වේලාවකට පසු ඔහු යළි කට හඬ අවදි කළේ කළකිරුණු ස්වරයෙනි.
"ඒ දවස්වල අපිට සහෝදරවරු ඉගැන්නුවෙ ඔක්කොම ආගම් බොරු, ඒවගෙන් කරන්නෙ මිනිස්සුන්ට හිතන්න බැරි කරන එක විතරයි කියල."
ඔහු ටිකක් නැවතී කල්පනාවේ නිමග්න විය. 
"පවු සිද්ධ වෙන්නෙ බුද්ධාගම් කාරයොන්ට, අපි ආගමක් අදහන්නෙ නැති නිසා අවුලක් නෑ කියලයි එයාල අපේ ඔළුවලට දැම්මෙ." 
ඔහු මෙසේද කීය.
"ඒ වුනාට දැන්නම් හිතෙනව උන් මහ ප්‍රෝඩාකාරයො ටිකක් කියල." ඔහු එසේ කීවේ අවංකවමද යන්න මට ගැටළුවක් විය. නමුත් ජීවිතයේ අත්දැකීම් වලින් තෙම්පරාදු වූ ඔහුගේ මුහුණේ වූයේ එය වගකීමෙන් පවසන ලද බැරෑරුම් ප්‍රකාශයක් බවයි.

වේලාව පෙරවරු 2ට ආසන්න වූයෙන් මා සූදානම් වූයේ නිවස බලා යාමටයි. අවසාන වශයෙන් ඔහු මට මෙවන් අවවාදයක් දුනි.
"පුතා කැම්පස් කිව්ව නේද? ඔය කාලකණ්ණි තක්කඩින්ට අහුවෙලා තරුණ ජීවිතේ නිකරුණේ විනාස කරගන්න එපා. ඕව දැන්ම තේරෙන්නෙ නෑ. වයසෙ වැරැද්ද!"



Wednesday, January 2, 2013

වචන දුසිමක් කළ විප්ලවයක්.....


මූනිඡ්ඡාවට හොඳ කියනවාට වඩා ඇත්ත කීම කෙතරම් අගනේදැයි තහවුරු කරන සිදුවීමක් අද සිදුවිය. 

සෙමෙස්තරයේ අවසන් දේශනයේදී, සිය ආචාර්යවරයා ගැන ඇගයීමක් කිරීමට සිසුනට අවස්ථාවක් හිමිවේ. දේශන මාලාව ගැන සිය අවංක අදහස්, ලිඛිතව නමුත් නිර්ණාමිකව සඳහන් කිරීමට කඩදාසි කැබැල්ලක් ඔවුන්ට ලැබේ.

මා අවසන් වරට දේශනය කළේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වෛකල්පිත විෂයයකි. සිසුන් ඉහත කී ඇගයීම් පත්‍රිකා මත සිය අදහස් දක්වා තිබුණි. බහුතරය ගුරුවරයෙකු ලෙස සතුටු විය හැකි අදහස් වූ නමුත් පරස්පර අදහස් සහිත පත්‍රිකා 2ක් කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු විය.

ඉන් එකක්, මගේ ඉංග්‍රීසි සැර වැඩි බව කියා තිබුණි. එය ඇත්තකි. මා කළින් සේවය කළ සරසවියෙන්ද එම චෝදනාවම එල්ල විය. හැකි තරම් එය හදා ගැනීමට (විකල්ප සරල වචන භාවිත කිරීමට) මා උත්සාහ කළද තවදුරටත් එය පිළිබඳව සැලකිල්ලට බඳුන් කිරීමට මම ඉටා ගතිමි.

වැදගත්ම අදහස් දැක්වීම එය නොවේ. අනෙක් එකය. එහි සිංහල අදහස මෙවැනිය : 

"අද මොඩ්ල් පේපර් එක පට්ට අමාරුයි. මේ විදියට ගියොත් නම් මේ යකා අපිව ෆේල් කරනවා..!" 

මෙය කියවූ මට ඇති වූයේ තරහක් නොව හද කම්පා කරන හැඟීමකි. මේ වන විටත් පිළියෙළ කර අවසන් කිරීමට ආසන්නව තිබූ ප්‍රශ්න පත්‍රය තවදුරටත් ලිහිල් කිරීමට මම වහාම තීරණය කළෙමි. 

අවසන් වසර සිසුවකු විෂයයක් අසමත් වීමේ වේදනාව මම හොඳින් දනිමි. මා එසේ අසමත් වී නැති නමුදු මා සමග එකම බෝඩිමේ විසූ හොඳම මිතුරන් ඒ දුකට පත්වූ අයුරු තවමත් මතකය.

අවුරුදු 4ක් එකට කා බී, සියල්ල එකටම කර, අවසානයේ මා ඔහු තනිකර උපාධිය ගත් දිනයේ ඔහුගේ දෑසේ තිබූ කඳුල මට කිසිදා අමතක නොවේ.

එම නිසා, මගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයකු අසමත් වීම යනු මා අසමත් වීමයි. 

මේ අයුරින් සිතන්නට හැකි වෙනත් වෘත්තියක් වේද...? ගුරු වෘත්තියේ අරුමය මෙය නොවේද...? මෙය ලබන්නට මා කොපමණ පින් කර ඇත්ද...? ජීවිතය අතිශයින් තෘප්තිමත්ය.