මේ වීඩියෝව මාරයි..මෙයා මාර දැනුම් සම්භාරයක් තියෙන අසාමාන්‍ය ගණයේ විද්වතෙක් කියා මගේ මිත්‍ර සමාජවාදී වෛද්‍යවරයෙක් මට මෙයා ආදර්ශයට ගන්න කියලා නිර්දේශ කරනවා...
මම සම්පූර්ණ වීඩියෝව බැලුවා..මට නම් ගන්න දෙයක් නෑ ඇත්තටම...මිනිස්සු වැඩිපුර ආගමික වෙන එක එයාලට (සහ සමහරවිට ඔබටත්) ලොකු ප්‍රශ්නයක් වුනාට ඒක නිරපේක්ෂව සමාජයේ දැවෙන ප්‍රශ්නයක් නොවෙයි...
උදාහරණයක් විදියට මම කතරගම දෙයියො, විෂ්ණු, අයියනායක, ගැටබරු ආදී කිසිම දෙයියෙක් සත 5කටවත් ගණන් ගන්නෙ නෑ. නමුත් ඒ මත්තෙ කටු ගහගෙන මැරෙන්න හදන මිනිස්සු ඉන්නවා.
නක්ෂත්‍රය (කෙන්දරය, නැකැත් ඇතුළත්ව) මම විශ්වාස කරන්නෙ නෑ. ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර ගැනත් කිසිම විශ්වාසයක් නෑ. නමුත් විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. මට ඔවුන්ගෙන් හානියක් නෑ.
කෙනෙක්ගෙ ආගමික භක්තිය බලෙන් අයින් කරල සමාජවාදය ඇඟේ ගහන්න බෑ. ඒක කරන්න ඕන ක්‍රමය අධ්‍යාපනය මගින් ඔවුන් යන්නෙ මිත්‍යාවන් පස්සෙ කියා ඔවුන්ටම දැනගන්නට හරින එක.
ඒක බොහොම සියුම් විදියට ක්‍රමාණුකූලව සැලසුම් සහගතව කරන්න ඕන ආකල්පමය සහ බුද්ධිමය විප්ලවක් මිස මේ වගේ 'පස්ස උස්සනවා' වගේ පාදඩ ගණයේ ප්‍රකාශ වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ තුප්පහි කතා කීමෙන් වෙන්නෙ කියන කෙනාගෙ නූගත්කමත්, මිනිස්සුන්ගෙ සුවහසක් සිතුම් පැතුම් වලට තියෙන දුරස්ථ භාවයත් පෙන්නුම් කරල ඔප්පු කරන එක විතරයි. කොටින්ම කියනවනම් තව තවත් පිරිහෙන එක විතරයි.
අනිත් එක කාටවත් කරදරයක් නැති විදියට ඇදහිල්ලක් කරන එක සමාජවාදය පටවන්න බාදාවක් වුනාට සමාජයක් විදියට ගත්තම එතරම් අනර්ථකාරී නෑ. අඩු ගානේ පවු පිරෙන නිසා, දෙයියො කෝප වෙන නිසා කියල හිතල සමාජ විරෝධී ක්‍රියා නොකර ඉන්න පෙළඹෙනව. ඒක තාවකාලිකව හරි ලොකු දෙයක්. එකම අවුල මිත්‍යාව තියෙනකම් මිනිස් සංහතියේ ප්‍රගමණයක්, විද්‍යාවේ දියුණුවක්, ඉදිරියට යාමක් වෙන්නෙ නැති එක. ඒක මම පිළිගන්නවා.
නමුත් සමාජවාදීන් දකින තරම් සමාජයේ තත්ත්වය පිරිහීමට එය ලොකු බලපෑමක් ඇති කරන්නෙ නෑ. කොටින්ම ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා මේ සමාජයෙ. ඒක සමාජවාදීන්ට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ ඔය ප්‍රාථමික ආකල්ප තියෙනකම් සමාජවාදය වගේ විකල්ප සංකල්ප ඔවුන් පිළිනොගන්නා නිසයි. ඒ කියන්නෙ ඒක 'සමාජවාදය එකම විසඳුමයි' (මගේ පෞද්ගලික මතය එය ඉතාම හොඳ විකල්පයක් වුනත් එකම විසඳුම නොවෙයි.) කියන ඇදහිල්ලේ ඉන්න අයගෙ ප්‍රශ්නයක් හා විද්‍යාවේ ප්‍රගමණය පතන අයගේ ප්‍රශ්නයක්. පොදු සමාජයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් නොවෙයි. පොදු සමාජයේ සාතිශය බහුතරය සමාජවාදීන් හෝ විද්‍යාඥයින් නොවන නිසා. බහුතරය සමාජවාදීන් බවට පරිවර්තනය කරන්න කෙනෙකුට වුවමනා නම් ඒක ඔහුට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්ත.
ඒත් ඔවුන්ගෙ ඇදහිල්ලට අවමන් කරල ඔය ප්‍රශ්නෙ විසඳන්න හදන එක මන්ද බුද්ධික වැඩක්.
යූරි ගගාරීන් ලංකාවට ආපු වෙලාවෙ ඔහු ශ්‍රී මහා බෝධියට වඳිනවා දැකපු මාධ්‍යවේදීන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔහුගෙ පිළිතුර හරිම සරලයි. "මම ගරු කරන්නෙ මිනිස්සුන්ගෙ විශ්වාසයට. ඒක හරිද වැරදිද කියන එක මට අදාල නෑ.".
මිනිස්සුන්ගෙ ඇදහිලි කියන්නෙ හරි හෝ වැරදි වේවා මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව (ලේ වලට, බොක්කටම) කාවැදී ඇති ඒවා. ඒව එකපාරටම ගහෙන් ගෙඩි හෙන්නා වගේ අයින් කරන්න බෑ.
ඒක තමයි කාල් මාක්ස් කිවුවෙ "ආගම මිනිස්සුන්ගෙ අබිං" කියා. බලන්න කොච්චර බුද්ධිමත් ප්‍රකාශයක්ද..? මිනිස්සු ගතානුගතිකත්වයෙන්, ඇදහිල්ලෙන් ගලවන්න තියෙන දුෂ්කරතාවයයි මින් පිළිබිඹු වෙන්නෙ. නැතුව ආගමට අපහාස කරපල්ලා, වෛර කරපල්ලා කියල නෙමෙයි.(කොහොමත් කාල් මාක්ස් කියන්නෙ ලංකාවෙ බක පණ්ඩිත වම්මු හිතන් ඉන්න බින් ලාඩන් නෙමෙයි, ශ්‍රේෂ්ඨ නිදහස් වින්තකයෙක් සහ දාර්ශනිකයෙක්.)
ලංකාවෙ බාගෙට ඉගෙන ගෙන බාගෙට තේරුම් ගත්ත අඳබාලයො ඕකනෙ අසම්පූර්ණව අර්ථකථනය කරගෙන ඉන්නෙ 'ආගම අබිං' කියා. (නුදුටු කා(ර්)ල් මාක්ස්.....)
කොහොමත් වත්මන් ලංකාවෙ හැම සමාජවාදී පක්ෂෙකම ප්‍රතිපත්ති වල තියෙන්නෙ උතුම් මානව හිතවාදී දහමක් වන පිරිසිදු සමාජවාදය නොවෙයි. එක එකාට ඕන විදියට වෙනස් විදියට අර්ථ කථනය කරගත්ත විකාරයක්.
මේවයෙ ඉන්න එවුන් තමන්ගෙ මහ එකා කියන ඕනම වැල් බයිලාවක් විශ්වාස කරගෙන ඉන්නවා. විචාර බුද්ධියක් නෑ. නියම පිරිසිදු සමාජවාදය හදාරන්න තරම් උගත්කමක් නෑ. භාෂා දැනුම නෑ.
(මේ ළඟඳි මම උගන්වන විශ්වවිද්‍යාලෙ මට විරුද්ධව පීඨාධිපතිට පැමිණිල්ලක් කරලා, ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවක් මම සිංහලෙන් පැහැලිදි කරනවා මදි කියා. බලාගෙන යනකොට මෙයා අනිත් අයට ආගම එපා, මාක්ස්වාදය උගන්වන 'පොරක්'. සුද්දෙක් නොවුනු තමන්ගෙ ආචාර්යවරයා කියන දේ නොතේරෙන කෙනෙක් කොහොමද, මාක්ස්, එංගල්ස්, ලෙනින් වගේ අයගෙ අදහස් සෘජුව කියවල තේරුම් ගන්නෙ. කවුරුහරි තමන්ට ඕන විදියට පරිවර්තනය කරල දෙන එක හරි කියල විශ්වාස කරගෙන ඉන්න තමයි තියෙන්නෙ.)
එක්කො යාන්තමට භාෂා දැනුම, විචාර බුද්ධිය තිබුණත් ඕනෑකමක් නෑ. ගැඹුරින් හදාරන්නෙ නෑ. රිසර්ච් කරන්නෙ නෑ. හණමිටි කාරයෝ වගෙ මොකෙක් හරි කියපු අහපු එක හරි කියල ඌ මුදුනෙ තියාගෙන අදහගෙන ඉන්නවා. මටනම් එහෙම එකෙකුයි ඉස්ලාම් අන්තවාදියෙකුයි අතරෙ කිසිම වෙනසක් නෑ. උන් දන්නෙ තමන්ගෙ දහම මොන ක්‍රමේකින් හරි අනිත් උන්ගෙ ඇඟේ ගහන්න ඕන කියල මිසක් කරන නිසි ක්‍රමවේදයක් දන්නෙ නෑ.
ඉතින් අවමානය + බලහත්කාරය....
ලංකාවෙ සමාජවාදීන්ට මම බනින්නෙ ඔවුන්ට මේක තේරුම් ගන්න බැරි තරම් ප්‍රයෝගික බුද්ධියක් නැති නිසා. අයිය පාට් එකෙන් තේරුමක් නැතුව ගිරිය පුප්පන් කෑ ගහන නිසා. මම නම් උන්ට කියන්නෙ මන්ද මානසික මෝඩයො කියල.
(හැම සමාජවාදියටම නොවෙයි. අධ්‍යාපනයෙන් සහ ආකල්පමය, බුද්ධිමය ප්‍රවේශයකින් සහ ආදර්ශයෙන් ඒක කරන අය ඉන්නවා. උදාහරණයක් විදියට සරසවි ඇදුරන් සහ මේක තේරුම් ගත්ත දමිත් කේතක, පොළොන්නරුවේ රන්ජිත් වගේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා.)
