Friday, August 31, 2012

පිට්ටුව


කැම්පස්චල කැන්ටිමේ බත් එක කලක් ගියාම බල්ලෙකුටවත් කන්න බැරි බව දන්නවනේ. කොච්චර රසද කියනවනම් ඇස් වහගෙන එළවලු 4 ජාතියක් වෙන වෙනම කාලා බැලුවොත් කියන්න බැහැ මොකද්ද කෑවේ කියලා...ඇයි ඔක්කොම එක රහ, ඒ කියන්නේ පිරිසිදු ජලීය H2O වල තියෙන රසනේ..ඉතින් මේ කාලෙ කොල්ලෙක් ගෙදර ගියාම ගේන බත් එක නම් දිව්‍ය භෝජන පරාදයි. සමහර විට ගෙනාපු එකාටවත් කන්න ඉතුරු වෙන්නෙ නෑ. ලෙහන පමාව විතරයි. වාෂ්ප වෙනවා. සබන් දාලා අත හෝදලා කන හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රගුණ කරපු 'පොෂ්' උන් ඒ අතර හිටියොත් උන්ට සොරිම තමයි. උන්ට ඉතින් ඇවිල්ල කරන්න තියෙන්නෙ කෙහෙල් කොලේ හරි ලන්ච් ෂීට් එක හරි වතුර නැතිව හෝදන්නේ කොහොමද කියලා රස පරීක්ෂණ පවත්වන්න තමයි.

ඉතින් ඒ තරම් අහේනියෙන් ඉන්න උන් ගෙදර ගියාම ගෙදර උන්ට පුදුමයි. යසට හිටිය පොඩි එකා එකපාරටම මහා කෑදරයෙක් වුනේ කොහොමද කියලා ගෙදර මිනිස්සු දහ අතේ කල්පනා කරනව. ඒ මදිවට මෙච්චර කාලෙකට ඇඟේ හැප්පුනත් සත 5කට ගණන් ගත්තෙ නැති වත්තෙ පළතුරු ගස් හූරගෙන කන්නෙ මුන් හරියට ගිහින් තියෙන්නෙ කැම්පස් නෙවෙයි ගාමන්ට් එකක් පාලනය කරන්න වගේ.

අපේ ගෙදර මිදුලෙ ටිකක් එහායින් තියෙනව පැණි කාමරංකා කියල පළතුරු ගහක්. ගෙඩි පෙනුමෙන් නිකං ගොරක වගෙයි. ඒ උනාට පට්ට රහයි. ඕක දිහා බලාගෙන ඇවිත් අපේ ගෙදර එන කැම්පස් කොල්ලො බයිසිකලේ හප්පගන්න හැදුවෙ එක පාරක් දෙපාරක් නෙමේ.

මෙච්චර දිග පූර්විකාවක් ගත්තෙ මීළඟට කියන්න යන කතාවෙ මම කරපු කොළු වැඩේ සාධාරණිකරනය කරන්න.

Aja-X කියන්නෙ මගේ බැචෙක්. අපේ බෝඩිමේමයි හිටියේ. මුගේ මරු වැඩ ගැන වෙනම පොතක් ලිව්වොත් ඒක මහා පතරංග ජාතකයත් වැඩිය දිග වෙනවා ෂුවර්. ඒවා පස්සෙ ටික ටික කියන්නම්.
මූ ටිකක් නෙමෙයි ගොඩක් අමුතු ඩයල් එකක්. එච්චර මහත නැති උනාට ගොඩක් කන්න පුළුවන්. හිත හොඳ එකා උනාට මුගේ අවුලක් තියෙනවා. ඒ තමයි කන බොන වෙලාවට බෙදාගෙන නෙමෙයි බදාගෙන කන්න තමයි වැඩි කැමැත්ත. මූ සමහර සති අන්තෙ හැටන් වල ළඟ නෑ කෙනෙක්ගෙ ගෙදර ගිහින් ලොකු කෑම එකක් එහෙම ගෙනාවට බෝඩිමේ අනිත් උන් එක්ක බෙදාගෙන කන්න එහෙම පින්සර සිතුවිල්ලක් පහල වෙන්නෙම නෑ බැරිවෙලාවත්. අනිත් එකෙකුටවත් මේක වැඩිය ඇල්ලුවෙ නෑ.

ඉතින් අපි හිතාගෙන හිටියා අපේ වෙලාව ආවම මේකට "දෙන්නං ජම්බූ".

ඔන්න දවසක් පොර හැටන් ගිහින් ආවා. එනකොටම තරුක අහපි "මොනවද බං නැන්ද ගේන්න දුන්නෙ?"
"මුකුත් නෑ."
ඒක කොහොමටත් වෙන්න බැරි දෙයක්. අඩු ගානේ මූට කන්න හරි කෑම එකක් ගෙදරි දෙන්න ඇති.
මූ ගියා බාත් රූම් එකට නාගන්න. කොල්ලා හෙන පිරිසිදු ඩයල් එක.

තරුකයයි අඹේවෙලයයි මාවත් ඇදගෙන ගියා උගෙ රූම් එකට. ඇරියා බෑග් එක. මේ තියෙන්නෙ හෙන ගැහුවා වගේ තඩි කෑම පාර්සලයක්. ඒක දැක්කම පේනවා "පුතේ මේක යාලුවොත් එක්ක බෙදාගෙන කන්න" කියලා එවපු එකක් කියලා. මුගේ කල්පනාව  මේක තනියම කන්න.
ඒකෙ තිබුනෙ පිට්ටුවකුයි, චිකන් සහ බිත්තරයක්.
පිට්ටුවෙන් බාගයකට ටිකක් අඩුවෙන් අපි තුන්දෙනා කෑවා. පට්ටම රහයි. අනිත් දෙන්න බිත්තරෙනුත් බාගයක් කාලා අනිත් පැත්තට හරවලා තිබ්බා. (ලිහපු ගමන් පේන්නෙ ෆුල් බිත්තරේම තියේ වගේ)
ආපහු ඔතලා තිබුණු විදියටම තියලා අපි මුකුත් නොදන්න ගානට හිටියා.

මෙන්න මූ නාගෙන එනවා පොෂ් කොල්ලා වගේ. අපිත් කෑම ගෙනත් තිබුනෙ කඩේකින්. අපි අපේ බත්මුල් ලිහාගෙන කාල ඉවරවෙන්න කිට්ටු වෙනකං හොරගල් අල්ල අල්ල මූ හිටිය.

ඊට පස්සෙ මූ ගිහින් ගෙනාව උගෙ 'පිට්ටුව'.
"ඇයි උඹ කිව්වෙ මුකුත් ගෙනාවෙ නෑ කියල?"
"මොනාද බං?" එකෙක් නොදන්න ගානට ඇහුව.

"කව්ද මගෙ කෑම එක කාල.බිත්තරෙනුත් බාගයක් කාල." මූ නහයෙන් අඬයි."තොපි කෑව නේද..?"
"මේ මේ... හු**** කතා කරන්න එපා. අපි කොහොමද දන්නෙ තොගෙ බෑග් එකෙ ඔහොම මගුලක් තියෙනව කියල...?"
"උඹට මතක නැතුව උඹ බස් එක තේ බොන්න නවත්තපු වෙලාවක උඹම කන්න ඇති."
"***** ******"

බියකරු අත්දැකීමක්

මම ඉගෙන ගත්ත කැම්පස් එක කඳු පළාතක තිබුන එකක්. කාලෙකට ගිණියම් මේ පළාත සීසන් එකට, ඒ කියන්නෙ නොවැම්බර්, දෙසැම්බර් කාලෙට නුවරඑළිය වගේ සීතල වෙනවා.
අපේ නවාතැන තිබුණේ කඳු මුදුනක. මේ කාලෙට වලාකුළු යන්නේ අපේ ෆෝටිකෝව මැදින් කිව්වොත් ඒක කිසිසේත්ම අතිශයෝක්තියක් නෙමෙ.
මේ ගෙදර අයිතිකාරයො දුර පළාතක පදිංචි වෙලා හිටියෙ. අපි කැම්පස් කොල්ලො සෙට් එකක් තමයි මේක අරක්ගෙන හිටියෙ. වෙන කවුරුවත් නැහැ.

මේක වුන දවස්වල හිටියෙ මම විතරයි. ඉයර් එකක් ඉවරවෙලා මාසෙකට වැඩි නිවාඩුවක් ලැබිලා කවුරුත් ගෙවල්වල ගිහින්. මේ ගතවෙන්නෙ නිවාඩුවෙ හරි මැද දවස්.

මම මොකද මේ පාළු ගෙදර කළේ කියල ඔබ හිතාවි. අපේ උපාධියේ කණ්ඩායම් ව්‍යාපෘතියට අපි කළේ පරිගණකයකින් පාලනය වන වාහනයක්, අර ග්‍රහලෝක වලට එහෙම යවන්නේ රෝවර් යානා, අන්න එහෙම එකක්. ඉතින් මේකෙ විදුලි හා ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සැලසුම් කරල ඇටෙව්වේ මම. ඉස්සර ඉඳලම මට ඔය රොබෝ උණ තිබුණා. මම කර කර හිටියේ ඕකෙ වැඩ. (මේ තමයි ඒ මහා රෝවර් රාජයා. කොහොමද කොල්ලගෙ වැඩ?)


තනියමද කියල අහනවා? ඔව්. ගෲප් එකේ අනිත් උන් මේ වැඩ වලට ආස නෑ. උන්ට සොෆ්ට්වෙයා වැඩ භාර දීල තිබුනේ.ඒ කියන්නේ ප්‍රොග්‍රෑමින්, සිමියුලේශන්ස් වගේ වැඩ.


(කෑවා! කෑවා!! නොගැලපෙන් තැනකට ටෙක්නිකල් දේවල් දාලා ඩිවොලොප් වේගෙන ආපු ෆීලින්ග් එක තනිකරම කෑවා කියලා හිතෙනවනම් සොරි වෙන්ට ඕනෑ. මට ඕනි වුනේ මේක නිවාඩු මාසෙ ගෙදර නොගිහින් කරන්න තරම් සංකීරණ ප්‍රොජෙක්ට් එකක් බව කියන්න මිසක් මගේ වැඩ පෙන්වීම එහෙම නෙවෙ. හරිය?)

මම සාමාන්‍යයෙන් ඔය හොල්මන්, අවතාර වගේ ඒව විශ්වාස කරන කෙනෙක් නොවෙයි. කොහොමත් මම දේව ගණයෙ නිසා මට ඒව පේන්නෙ නැතිලු. රෑ වෙනකම් වැඩ කරලා මම කන්න කඩේට යන්නෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ එළියෙන්. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදනවද?

දවසක් වැඩ කර කර ඉඳලා මම එළියට යන්න ඉස්සරහ දොර අරින්න ගියා. (සීතල නිසා වහගෙන ඉන්නෙ.) ඕකෙ අගුල කරකවල අරින එකක්. සාමාන්‍යයෙන් ටිකක් තදයි.
ලොක් එකට අත තිබ්බා විතරයි මෙන්න ඒක හෙමිහිට නිකම්ම කැරකෙනවා! ඒ විතරක් නම් මදැයි දොරත් හෙමීට ඇරුණා!! (මගේ කිසිම ආයාසයක් නැතිවම!)
මම එකපාරටම දැක්කේ ෆෝටිකෝව මැදින් ගුප්ත විදියට ගලාගෙන ගිය තද මීදුම් වලාකුළක් විතරයි. ඒ මැදින් මතුවුනේ කවුද..? දඬු ලේනා...!

ඒ උගෙ කැම්පස් කාඩ් එක (අන්වර්ථ නාමය).
මට ක්ෂණිකව ඇතිවුනේ මෙහෙම හැඟීමක්...(අවංකවම)
මූ ඇක්සිඩන්ට් එකකින් මැරිලා, මට පෙනී ඉන්නවා ඒ පණිවිඩය දෙන්න. ඔහොම කතා බර ගාණක් මම කියවලා තිබුණා. හදිසියේ නොසිතන මොහොතක මැරිච්ච මිනිස්සු තමන්ගෙ ළඟම හිතවතුන්ට ඊට මොහොතකට පසු පෙනී හිටපු සිද්ධීන් පිටරටවලින් විතරක් නොවෙයි ලංකාවෙනුත් ගොඩක් වාර්තා වෙලා තිබුණා. හදිසියේ ගෙදර ආපු තමන්ගේ සැමියා එක්ක කතාකරලා මිනිත්තු ගණනකින් ඔහු යුදබිමේදී මිය ගිය පණිවිඩය ලද සෙබළ බිරිඳකගේ කතාවක් කියවලා වැඩි දවසක් ගෙවිලා තිබුනේ නෑ.

"බය උනාද...?"
මෙහෙම කියලා දඬුලේනා මගෙ අත අල්ලා ගත්තා.
උගේ අත උණුසුමට තිබුන, එතකොට තමයි මට තේරුණේ මූ මැරිලා නෑ කියලා!

මේ ටිකක් අභව්‍යයි වගේ හිතෙයි. ඒත් මතක තිතාගන්න මේ ඔක්කොම වුනේ තත්පර 2-3ක් ඇතුළත කියලා. මට කියන්න ඕනි උනේ අපි එදිනෙදා දකින, අසන දේවල් කොච්චර අපේ යටි හිතට බලපෑම් කරනවද කියලා.

විශේෂයෙන් මෙන්න මේ සිද්ධියට පස්සෙ තමයි මම මේ වගේ ඒව ඇත්තටම විශ්වාස කරන්න පටන් ගත්තේ.

Thursday, August 30, 2012

පිහි ඈනුම (වැරදීමක් නොවේ)


මේක සංවේදී කතාවක් නෙමේ. කපටි කතාවක්. හැබැයි සිද්ධිය ඇත්ත.

මං කැන්ටිමට ගියෙ රෑ කෑම කන්න. ඒත් එතන ලොකු කළබලයක්. එකෙක් පිහියක් වන වන මොනවද දොඩවනවා. හෙන සෙට් එකක් ඌව අල්ලගෙන. මාත් හොස්ස දාලා බැලුවා මොකද වෙන්නේ කියලා. එතන හිටිය එකෙක් කිව්වා, "ඊයේ හා කිව්ව මුගේ කෙල්ල අද වෙන එකෙක් එක්ක ගිහින්, මූ උන්ට පිහියෙන් අනින්න හැදුවා."
පිහියෙන් අනින්න ගිය එකා මම දන්න ඩයල් එකෙක්. මගේ ෆැකල්ටියෙම වෙන උපාධි පාඨමාලාවක් කරන එකෙක්. මගේ වේදිකා නාට්‍ය කණ්ඩායමේ නළුවෙක්. 
කට්ටිය මිහිහව හොස්ටල් එකට අරගෙන ගියේ තර්ජන ගර්ජන කෝටියක් එක්ක කුණුහරුපෙන් බැන බැන.
රෑට කෑම කාලා මාත් හොස්ටල් ගියා. 
පීඨ ශිෂ්‍ය නායක විදියට මම ඌට අවවාද කරන එක හොඳයි කියල හිතුන නිසා පොරගේ කාමරයට ගියා. ඒ යනකොට පාඩුවේ ඉන්න ඕනෑ කියලා අනිත් උන් එළවගෙන.
මම දීර්ඝ බණ දේශනයකට ලෑස්ති වුනා.
"දැන් බලපන්. උබ කැම්පස් එවලා උබේ දෙමව්පියෝ කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. ඔබ මෙහේ පිස්සු කෙළිනවා. යමක් කරන්න කලින් පොඩ්ඩක් ඉස්සරහට හිතපන්. දැන් බලපන් උබ ඒ වැඩේ බැරිවෙලාවත් කරා නම් ජීවිත කීයක් විනාශද? උබටත් වෙන්නේ හිරේ වැටිලා චාටර් වෙන්න. කිසිම තේරුමක් නැති වැඩක්නේ.....බ්ලා..බ්ලා...බ්ලා....."

මුගේ කතාවෙන් මට ඇඩ්‍රස් නැතිවිය.
"පිස්සුද මචන්. මම එහෙමත් කරනවද? මට එච්චර පිස්සු නෑ. මට ඇත්තටම අනින්න ඕනෙනම් මම කරුවලේම ගිහින් අනිනවනේ. ප්‍රසිද්ධියේ අනින්න ගියේ උබලා මාව අල්ලගන්න බව දන්න නිසා..!!" 

බලාගෙන ගියාම ඒක පිහි ඇනුමක් නොවෙයි. ඈනුමක්.

කඳු පාමුල



සරසවියේ ඉගෙන ගනිද්දී සෑම සති අන්තයකම පාහේ මිතුරු මිතුරියන් සමග කොහේ හෝ ඇවිදින්නට යන්නට මම පුරුදුව සිටියෙමි. මෙවර අප තෝරා ගත්තේ නමුණුකුළ කන්ද තරණය කිරීමයි.

උදෑසන 7.30 වනවිට කඳු පාමුලින් ගමන් ඇරඹුවද මග වැරදුණු අපට සැලසුම් කළ වෙලාවට කඳු මුදුනට යා ගත නොහැකි විය. අපේ ගමන් මග මීටර් දෙසියයකට නොඅඩු අංශක 85ක පමණ දැඩි බෑවුමකින්ද සමන්විත වුනේ පාර වැරදීමේ ප්‍රථිපලයක් ලෙසටය. මෙහිදී සිදුවූ එක් ත්‍රාසජනක සිද්ධියක් දැනුදු සිහිවන විට ඇඟ කිළිපොලා යයි. ගල් මුල් අල්ලාගෙන අපි කණ්ඩායම එම අසීරු දුර්ගය තරණය කරද්දී අපේ එක් අපරික්ෂාකාරී මිතුරෙක් 'දේවදත්තයකු' වීම නිසයි. ඔහු පෙරළූ ගලක් ඊට පහළින් සිටි මිතුරකුගේ ඇඟේ ගෑවී නොගෑවී ප්‍රපාතයට පෙරලී ගියේය.

කෙසේ වෙතත් මුඳුනට ලඟාවනවිට සවස 3.15 වී තිබුණි. පැය කාලක කෙටි විවේකයකින් පසු අපි ආපසු බැසීමේ ගමන ඇරඹීමු. 
යළි එනවිටද අපිට මග වැරදුණි. කෙසේ වෙතත් ජංගම දුරකථන සංඥා හොඳින් තිබූ නිසා කණ්ඩායම බෙදී ගොස් හරි පාර සොයාගෙන යළි කණ්ඩායම එකතු කර ගැනීමට හැකිවිය.

කඳුපාමුලට එන විට රාත්‍රී 7.30 පසුවී තිබුණි. මේ වන විටත් ගමෙන් නගරයට පිටත් වන අවසන් බසයත් පිටත්ව සුළු වේලාවක් ගතව තිබුණි.
අවස්ථාවේ හැටියට ත්‍රීරෝද රථ වල (බසය හමුවන තෙක්) බසය හඹා ගොස් අල්ලා ගැනීමට ක්ෂණිකව තීරණය කළෙමු.
කිලෝමීටර කිහිපයක් ගමන් කිරීමෙන් පසු අපට බසය අල්ලා ගැනීමට හැකිවිය. ගාස්තු වශයෙන් එක් අයකු රු. 100 බැගින් ගෙවා බසයට ගොඩවීමු.

මට රත් වුනේ බෝඩිමට පැමිණි පසුය. මා 100 කොළයක් යයි සිතා කරුවලේ ත්‍රීවිල් මල්ලිට දී තිබුණේ රු. 2000 නෝට්ටුවකි.

කාගෙත් අදහස වූයේ එය ගැන සිතීම තේරුමක් නොමැති නිසා අමතක කර දමන ලෙසයි. නමුත් මාසයේ 20 වනදාට තවත් සති 2ක කාලයක් ඇති බවත්, ඊට පෙර මට දීමට ගෙදරට මුදල් නොමැති බවත් සිහිවුණි.
පසුදා උදේ යළි නමුණුකුල පාමුලට ගොස් ත්‍රීවිල් මල්ලී හමුවීමට මම තීරණය කළෙමි. ඕනෑ පිස්සුවකට මා සමඟ සිටින වසන්ත පමණක් මා සමග එක්විය.

අපි එතැනට යනවිට උදේ 10 ට පමණ විය. පාක් එකේ අදාල ත්‍රීවීල් එක තිබුනේ නැත. හයර් එකක් යන්න ඇතැයි අප සිතුවද අන් කුළී රියැදුරන්ගෙන් දැන ගත්තේ ඔහු අද නොපැමිණි බවයි. වෙනදා නම් මේවලාවට ඇවිත් සිටින බව ඇසූ මට බලාපොරොත්තු සුන් විය.

ඉල්ලා ගත් ජංගම දුරකථන අංකය ඇමතූ නමුත් ප්‍රතිචාර දැක්වූයේ නැත. මගේ සල්ලි වලින් ඊයේ රාත්‍රී සාදයක් දමා ඇඟේ අමාරුවට තවමත් නිදි බවට මම උපකල්පනය කළෙමි. මෙපමණ දුර ගෙවාගෙන අපි යළි පැමිණෙනු ඇතැයි ඔහු නොසිතන්නට ඇත. දැන්නම් ඔහු සොයා ගෙදරට ගියත්, ඔහුට මගේ රු. 2000 ලැබුණු බව පිළිගත්තත් කිසිදු ඵලක් නොමැති බව මට වැටහුණි. ඊයේ රාත්‍රී සාදයට ඔහුට එම මුදල් වියදම් වීම අසාමාන්‍ය නොවේ.

සියලු බලාපොරොත්තු අත් හැර අප එන්නට හැරුණා පමණකි, ඔහු පැමිණ අප අසල ත්‍රිරෝද රථය නැවැත්වීය.
"අපිව මතකද? අපි කැම්පස් එකේ. ඊයෙ රෑ බස් එක් අල්ලන හයර් එක..."
"ඔව් ඔව්. මොකද මතක නැත්තේ. ඊයෙ රෑ පොඩි පාටි එකක්. ඒකයි දවල් වුනේ.දන්නැද්ද.."
මගේ උපකල්පනය ඉතාම නිවැරදිය.
"මේ...මෙයාගේ රුපියල් 2000ක් වැරදිලා ඊයෙ රෑ දීල කරුවලේ" මගේ මිතුරා කීවේ වැඩකට නැති කතාවකි.

මීළඟට ත්‍රීවිල් මල්ලි කියූ දෙයින් මම විමතියට පත්වීමි.
"ආ.. ඒ සල්ලි අය්යලගෙද..? ඒක තමයි මාත් බැලුව එක පාරටම පර්ස් එකේ සල්ලි වැඩිඋනේ කොහොමද කියලා. ඔයගොල්ලෝ ආපහු එයි කියලා හිතුන නිසා මම ඒකට අතවත් තිබ්බෙ නෑ."
මෙසේ කියා ඔහු මගේ නෝට්ටුවම සිය පසුම්බියෙන් ඇද දුන්නේය.

ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ අපි යළි ආවෙමු. එන ගමන් මා කල්පනා කළේ පිටිසර ගම් පළාත්වල තවමත් මනුස්සකම් සෝදාපාළු නොවී පවතින බවයි.

වසන්ත, ඔබට මෙම සිදුවීම මතකද..? (මගේ නම සඳහන් කරන්න එපා)

ඔෆිස් ආතල්

මෙවර තරමක් වෙනස් සටහනක් තබන්නට සිතුවා. නැත්නම් ඔබ සිතයි මේ විස්ස විජ්ජාලවල උගන්නන එව්වෝ මෙලෝ රහක් නැති අලයෝ කියා.

මා කලින් සේවය කළ පුද්ගලික ආයතනයේ සිදුවූ රසවත් සිදුවීමක්.
අපේ ඔෆිස් එක තියෙන්නේ ගාළු පාරෙන් ටිකක් ඇතුලට වෙන්න. මීටර් 700ක් යන්න ඕන අතුරු පාරක. 

දවසක් මම ඔෆිස් යන්න පයින් යනකොට ඇහුනා 'ස්...ස්...'කියලා නයෙක් පිඹිනවා වගේ සද්දයක්. බලනකොට කතා කරලා තියෙන්නේ අපේ ඔෆිස් එකේ යෙහෙළියක්.

මම එනකම් නැවතිලා හිටිය ඇය ළඟට ගියාම පහත් හඬින් කිව්වේ මෙහෙම කතාවක්. "_____, අර බයික් එකේ ඉන්න කොල්ලා මට සීන් වගේ. දැන් මෙතනින් කීප සැරයක්ම එහාට මෙහාට ගියා."
"ඉතින් හොඳයිනේ? ඔහොමවත් එකෙක් උඹ දිහා බලපු එක ගැන සතුටු වෙයන්" මම ගත් කටටම කිව්වා. "කෝ පෙන්නහන් ඩයල් එක. ඌට කණ්ණාඩි අරන් දෙන්න වෙයිද දන්නෙ නෑ. පවු අහිංසකයා."
"අර ඉන්නේ කුණු ලොරියෙ අයත් එක්ක චැටක් දාගෙන"
මම හැරී බැලුවා. ඇත්ත නෙන්නම්. ටිකක් රස්ත පෙනුමක් තියෙන ඩයල් එකක් අපි දෙදෙනා දිහා වුවමනාවෙන් බලනවා.
"මේක විහිළුවක් නෙමෙ. මම මේ පාරෙ තනියමත් යනවා" ඇය පැවසුවේ බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගනිමින්. "ඔයාට බැරිද මගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ රඟපාන්න. ඔෆිස් එකට යනකන් විතරයි. හැබැයි ඔන්න ඔෆිස් එකට ගියාම කාටවත් කියන්නෙ එහෙම නෑ!" මගේ කට ගැන දන්නා ඇය යෝජනාවකුත් එක්ක කොන්දේසියකුත් දැම්මා.

කාර්යාලයට ගියාට පස්සේ මම මේ පුවතට පුළුල් ප්‍රචාරයක් දෙන්න අමතක කළේ නෑ. විහිළු දිරවන අපේ කතානායිකාවටත් ඒක එච්චර ප්‍රශ්නයක් වුනේ නැහැ.
ඊට පස්සෙ දවස් කිහිපයක්ම අපි මෙයා (සීන් කරන කෙනා) අපි යන පාරේ කුණු ලොරියේ සේවකයින් එක්ක කතාකර කර ඉන්නවා දැක්කා.
පස්සෙ මේක සාමාන්‍ය දෙයක් උනා. අපේ යෙහෙළියගේ ආපසු ගමන් වලට මම ආරක්ෂාව දුන්නා. ඒත් උදේට සෙට් වෙන්නේ නෑ හැමදාම.
අපේ කතා නායිකාවට අපි 'මිලානි' යයි කියමු.

මේ සිද්ධිය අල්ලලා මිලානිට කට්ටිය විහිළු කරන එක නම් එන්න එන්නම වැඩි වුනා. ඔෆිස් එන්න පරක්කුවුනොත් ඇහෙන්නෙ මේ වගෙ කතා.
"කෝ මිලානි තාම නෑනෙ. අර අසරණයා අමාරුවෙ දැම්මද දන්නෙ නෑ. පවු අහිංසකයා."
"කුණා එක්ක පැනල ගියාද දන්නෙ නෑ." කුණු ලොරියේ අය එක්ක හිතවත් නිසා ඒ අපි ඔහුට දාපු නම.
එහෙම පරක්කු වෙච්ච දවසට එයා එනකොට මම ගත් කටටම අහන්නේ "ඔන්න එන වෙලාව මෙයා. අපිට නිකං කොලේ වහලා මෙයා කුණා එක්ක රවුන් ගහලා."
"ඔව්.ඔව්." කියලා හිනාවෙලා මිලානි වැඩ පටන්ගන්නවා. ටික වෙලාවකින් ගැඹුරු කල්පනාවක. "මොකද කුණා ගැනද හිතන්නෙ?"
"මොකද මිලානි ඔයාට බැරිනම් මම කියන්නම්. තවත් අර අනුෂ්කයට බලාපොරොත්තු දෙන්න එපා." අනුෂ්ක ඇගේ ගමේ පෙම්වතා.

දවස් කීපයකට සැරයක් අපි අපිම වැඩකර  තැන සුද්ද පවිත්‍ර කරගන්නවා. මෙහෙම දවසක මිලානිගෙ මේසය යට බිම තිබිලා පුංචි කඩදාසි කෑල්ලක් එළියට එනවා.
අපේ නංගි කෙනෙක් කියනවා
"බලන්න ____ අයියේ. මෙයා ඉස්සරනම් මෙහෙම නෑ. දැන් කුණු එක්ක ඉන්නමයි කැමති. අපි අස් කරනවටවත් කැමති නෑ".
එතනින් පටන් ගත්තම ආයේ කට්ටියම එක එක ඒවා කියලා එතන එකම රස ආකරයයි. හැබැයි මිලානි හොඳ කෙල්ල. කොච්චර විහිළු කළත් තරහායන්නේ නෑ.

මතුපිටින් විහිලුවට ගත්තත්, මම මේ ගැන ෆුල් සීරියස් අපේ අයි.ටී. මැනේජර් සුදේශ්ටත් කියලා තිබුනේ පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මිලානිගේ ආරක්ෂාවත් අපි තවත් දැඩි කලා.
මෙහෙම මාසයක් විතර ගතවුනා. කිසිම අවුලක් වුනේ නැහැ. හැබැයි කුණා මහතාගේ නිරීක්ෂණ චාරිකා අඩු වෙලා තිබුනෙත් නැහැ.
ටික දවසකින් සුදේශ් අපූරු කරුණක් හොයාගෙන තිබුණා. 
ඒක අහලා තමයි අපිට නියම ආතල් එක.

අර මනුස්සයා කුණු ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඒ කියන්නේ කුණු ලොරිය පස්සෙන් ගිහින් වැඩේ හරියට කෙරෙනවද කියලා බලන එක ඒ මනුස්සයගෙ රස්සාව. බයික් එකෙන් එහෙ මෙහෙ ගිහින් බලලා තියෙන්නෙ කුණු හරියට අස් කරලද කියලා මිසක් අපේ එකීගෙ හැඩරුව නෙවෙයි!   

තාත්තා - ඌන පූර්ණය

මට එල්ල වී තිබූ චෝදනාව ඉතා බරපතල එකකි. ගමේ ප්‍රභූවරයෙකුගේ නිවසක් වන 'වැවේ ගෙදර' ඉපැරණි රේඩියෝ යන්ත්‍රය කඩා දැමීම චෝදනාව විය.

ඒ වන විට අප වාසය කළේ මගේ අම්මාගේ මහගෙදරයි. අම්මාගේ වැඩිමල් සොයුරියන්ගේ පවුල් කිහිපයක්ම මෙහි වාසය කළ නිසා මගේ පියා මෙහි 'ගෘහ මූලිකයා' නොවීය. ඉතින්, මේ අසරණ මා දඬුකඳේ ගැසිය යුතුබව එක් අයෙක් හැර අන් සියල්ලෝම ඒකමතික එකඟතාවකට පැමිණ සිටියහ. ඒ එක් අයනම් මගේ ආදරණීය තාත්තාය. 'මගේ කොල්ලාට අත නොතියනු' යනුවෙන් ඔහු සිංහයෙකු මෙන් ගේම (මහගෙදර නොව) ඉල්ලීය. 

මේ වනවට මගේ වයස යන්තම් අවුරුදු 5ක් වුවද, සංසාර පුරුද්දකටදෝ මා ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා යාන්ත්‍රික පද්ධති ගැන උන්මාදයකින් සිටි බව ඔහු දැන සිටියේය.

ගලවා වෙන් කිරීමට නොතේරෙන නිසා බිම ගසා දෙපළු කර, වයින් තබන සෙල්ලම් බඩුවල යාන්ත්‍රණ මා මහත් කුතුහලයෙන් යුතුව තේරුම් ගන්නට උත්සාහ කරනු ඔහු දැක ඇත. වරක් උපන් දිනයකට බාප්පා ගෙනා වයින් කරන මෝටර් සයිකලයේ ආයු කාලය මිනිත්තු කිහිපයකට සීමාවීම ගැන ඔහු සිටියේ කලකිරීමෙන් නොව, ආඩම්බරයෙන් බව ඔහු අන් අයට පවසනු ඇසින. මා එලෙස කරන්නේ විනාශකාරී හැඟීමෙන් නොව, සංසිද්දීන් තේරුම් ගැනීමට බව, ඔහු ඒ බව නොපිළිගෙන මට අප්‍රසාදයෙන් "මූ නම් කවදහරි මහ පෝරිසාදයෙන් වෙනවා" කියමින් අවලාද නැගූ 'වැඩිහිටියන්ට' තේරුම් කර දීමට අසාර්ථක උත්සාහයක යෙදුනේය. (අවාසනාවකි, එසේ ඔහුට එකඟ නොවී සෙල්ලම් බඩු කඩන දරුවන්ට දඬුවම් කළ දැනමුත්තන්ගේ දරුවන් අද මේසන් වරුන්ය, පෝරිසාදයෙක් වනු ඇතැයි අනාවැකි පළකළ මා අද ඉංජිනේරු විද්‍යාවන් පිළිබඳ රටේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයේ රොබෝ ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂකයෙකි. - එම වෙළද දැන්වීම ඔබ වෙත ගෙන ආවේ ****** අනුග්‍රහයෙනි.) 

කලාකරුවකු වූ ඔහු මා කිසිදින ඔහුගේ කලා කටයුතුවලට සම්බන්ධකර නොගන්නා ලදී.

සතියකට වරක්වත් මවිසින් සැලසුම් කරන ලද විද්‍යුත් පරිපථයක් අත් හදා බැලීම මා 9 වසරේ සිටම කළ දෙයකි. මීට කිසිදු මැසිවිල්ලකින් තොරව බරපැන දැරූ ඔහු ඇතැම් දිනක ඊට වියදම් කළේ පසුම්බියේ වූ අවසන් රුපියල් විස්ස බව අවංකව සහ සක්සුදක් සේ දනිමි.

සිය පුත්‍රයා උසස් පෙළට හදාරන විෂයයන් 3 වෙන් වශයෙන් කීමට නොහැකි වූ එකම තාත්තා ඔහුදැයි නොදනිමි. මගේ අභිමතය වෙනුවෙන් ඔහු දුන් නිදහස සහ මා වෙනුවෙන් ඔහු තැබූ විශ්වාසය එපමණ විය. ('හැඳි නොගා හැදූ කිරිහොද්දක් වූ' මා එය කඩ නොකිරීම ගැන මා අද සතුටු වෙමි.)

තාත්තාගේ නියම ස්වරූපය පෙනෙන්නේ තමනුත් තාත්තා කෙනෙකු වූ දාටයයි කියමනක් තිබේ. මට සමහරවිට කිසිදා පියෙකු වීමට නොහැකි වනු ඇත. වුනත් ඔබවන් පියකු වීමට නොහැකිවනු අත. මා එතරම් ඉවසීම, උපෙක්ෂාව ආදී දේවගති ප්‍රගුණකර නොමැති නිසාවෙනි.
මගේ ආයුෂත් ගෙන ඔබ නිදුකින් වැජඹේවා..!
ඔබ වැනි පියෙකු මේ සසර සෙවීම දුෂ්කරය. එහෙත් යළිදු ඔබම ලබන්නට පින්කරමි.

තාත්තා


තමන්ගේ පියා තරම් මිහිපිට වෙනත් කිසිම පුරුෂයකු (ආගමික නායකයන් මේ කුලකයෙන් ඉවත් වේ) උත්තරීතර නොවන බව ඕනෑම සුජාත පුනණුවෙකුගේ, දියණියකකේ විශ්වාසය වේ. මමද එම විශ්වාසයේ දැඩිව එල්බ ගත්තෙක්මි. නමුත් සෑම තාත්තා ගෙනෙකු තුළම ස්වභාවයෙන්ම පිහිටන පිය ගුණයට අමතරව සුවිශේෂී වූත්, දුර්ලභ වූත් ගුණාංග කිහිපයක්ම මම ඔහු තුළින් දුටුවෙමි.

සාමාන්‍යයෙන් තාත්තලා, දරුවන්ට, වෙසෙසින්ම පිරිමි දරුවන්ට සිය ආදරය එළිපිටම නොපෙන්වති. මා කියන්නේ කුඩා කල නොව, පුතුන් යොවුන් වියේදී හා තරුණ වියේදීය. අන්‍යයන් ඉදිරියේ එසේ කිරීම තම පෞර්ෂ්‍යයට මදි කමක් යයි හෝ කොල්ලා හදා ගැනීමට නොහැකි වේ යැයි බියෙන් විය යුතුය. (වැඩි ආදරය නිසා දරුවන් නොමඟ යනු ඇතැයි මොවුහු විශ්වාස කරණ බවට හොඳම උදාහරණය 'හැඳි නොගා හදන කිරිහොද්ද' වහරයි. මගේ පියා මෙය මිථ්‍යාවක් බවට පසක් කළ අයෙකි. අභියෝග කරනවුනට සාක්ෂි වුවමනා නම් මම නොබියව ඉදිරිපත් වෙමි. මම හැඳි නොගා හැදූ කිරි හොද්දකි. මෙය කැටි ගැසී ඇත්දැයි විමසා බැලීමට මා දැන් සිටින අධ්‍යාපන හා වෘත්තීය මට්ටම නොසලකා හැරියද පුළුවන. පංච ශීලය රැකගෙන කාටවත් කරදයක් නොවී, රටට බරක් නොවී පාඩුවේ ජීවත්වෙන එකම මදැයි!) මා දකින විදියට නම් එය තම ලෙයින් සැදුන දරුවා අවිශ්වාස කිරීමකි.

බොහෝ කලාකරුවන්ගේ ඇරඹුම සේම, ඔහුගේ ජීවිත කතාවද කඳුලෙන්ම ඇරඹී කටුක අත්දැකීම් මට පරිණත වූවකි. 
පොළොන්නරුව මූලික රෝහළ 1955 වනවිට තිබී ඇත්තේ ඉතා නොදියුණු තත්ත්වයකය. එහි මුල්ම සේවකයා වූ මගේ සීයා එහි බහු කාර්ය සේවකයෙක් විය. රාජකාරිය අතින් ඔහු කෝකියා විය. මීට අමතරව පිස්සු කෙළින, දඟලන රෝගීන් මෙල්ල කිරීමට සහය දුන් හැඩි දැඩි පුරුෂයෙකි. රාජකාරියෙන් බැහැරව ගොඩ - මඩ දෙකම ආවරණය කළ ගොවියෙකි. දඩයක්කරුවෙකි. සතුන්ට ඉතා ආදරය කරන, ඔවුන් සමග අදටත් දොඩමළු වන මගේ පියා ඔහුගේ ගමන් මග නොගැනීම පුදුමයකි. ආහාරය පිණිස මෙන්ම විනෝදය සඳහාද සතුන් දඩයම් කළ සිය පියාට එදිරිව ඔහු, කරදකාරී මීයන්ට පවා අනුකම්පාව දක්වන කරුණාබර හදවතක් ඇත්තෙකි. ගෙදර බළලා මිය ගිය විට ඒ ගැන වැඩිපුරම දින ගණනක් ලත වුනේ ඔහුය. මාද සංවේදී මිනිසකු වූයේ ඔහුගේ ආභාශයෙන්යැයි සිතේ.

පාසල් යන වයස එළබෙත්ම, පොළොන්නරුව නගරයෙන් සැතපුම් විස්සක් පමණ අති දුෂ්කර (එකළ) ගම් පෙදෙසක් වූ 400 ට මගේ සීයා මාරු කර යැවුනේ එහි නව රෝහලට අවශ්‍ය ප්‍රවීණ සහයකයකු ලෙසෙනි. ඉන් පසු එම පළාතෙන් කුඹුරු ඉඩකඩම් මිළදීගෙන සිය 8 දෙනෙකුගෙන් යුතු දරු පවුල සමග ඔහු පදිංචි විය. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වූ මගේ පියාට සිය සොයුරන්ගේත් වගකීම් කුඩා කල සිටම පැවරී තිබුණි. නමුත් ඒ අධ්‍යාපනය සම්බන්ධ ඒවා නොවේ. ඉගෙනීමේ වටිනාකම ගැන කියා දීමට කෙනෙකු නොමැති පරිසරයක, තමාද එයට යොමුවී සිය සොයුරන්ද එමගට ගත්තේ මපියාය. එහෙත් මේ අසරණයින්ට ඊට අවශ්‍ය ප්‍රතිපාදන ගෙදරින් වෙන් නොවුනි.

අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටි සීයා, සිය සොච්චම් වැටුපෙන් දරුවන්ගේ ඉගෙනීමට කිසිවක් වෙන් නොකළේ ඒ බව පෙන්වා දීමට තරම් උගතකු ඒ ගමේ නොවූ නිසා විය හැක.
උසස් පෙළ පන්ති සඳහා නගරයේ පිරිවෙණකට මගේ පියා නගරයට පැමිණ ඇත්තේ පයින්ය. දිනකට දෙපා ආවරණය කළ දුර කිලෝමීටර 50ක් පමණ විය. (යාමට ඒමට දෙකටම) පන්ති ගාස්තු සොයාගෙන ඇත්තේ කුළී වැඩ කිරීමෙනි. උසස් පෙළ කලා අංශයෙන් හැදෑරූ ඔහුට ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට පෙරදින එළිවන තුරාම සීයාට අයත් කුඹුරක අධික වෙහෙස වී වැඩ කරන්නට සිදුවී ඇත.
කෙසේ වුවත් ඔහු සිය අප්‍රතිහත ධෛර්ය්‍යය මත විශ්වවිද්‍යාලය වරම් ලැබීමට වාසානාවන්ත විය. පසුකලක මගේ අම්මා වූ තරුණිය එහිදී හමුවීම ඔහු (ජීවිතය පිළිබඳ දැක්ම අතින් සහ වෙනත් අංශ කිහිපයකින්ම) පරිපූර්ණ, අධ්‍යාත්මික අතින් පොහොසත් මිනිසකු කළ දෛවෝපගත සිදුවීමකි.

මහපොළ හෝ ශිෂ්‍යාධාර ක්‍රමයක් නොවූ එකල තවදුරටත් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට ඔහුට සිදුවිය. බෝඩිමේදී සියතින් සකස් කළ බත්පත හැර භෞතික අන් කිසිදු ලාභයක් ඔහු සිය ආදරවන්තියගෙන් නොපැතීය. අවශ්‍ය අනෙකුත් වියදම් පියවා ගැනීමට පත්තර කන්තෝරුවක වැඩ කිරීමට සිදුවිය. ලේඛකයෙක් ලෙස ඔහු මුලකුරු කියවන්නේ එහිදීය. 'අත්තටු නැති කුරුල්ලෝ' නමින් චිත්‍රකතාවක් ලියමින් ඔහු ලාංකික තරුණ හදවත් ලක්ෂ ගණනක් ස්ඵර්ශ කළේ ය.

මොන ආර්ථික ප්‍රශ්න තිබුණත්, පොත්පත් එකතු කිරීම ඔහුගේ විනෝදාංශය විය. මෙසේ මා කුඩාකළ වනවිට, ඔහුගේ එකතුවේ තිබූ විවිධ විෂයන් අලලා තිබූ පොත් සහ සඟරා ගණන දහස් ගණනකි. මේ සියල්ල ඔහු දාඩිය මහන්සියෙන් ඉපයූ දේ විය. (පන්ති නොගිසින්ම බොහෝ විභාග සමත් වීමට මා මේ නිධානයෙන් ලද පිටිවහළ අතිවිශාලය.)

සරසවිය තුළ සිය කලා කුසලතා තුළින් ඉමහත් ජනප්‍රියතාවට පත් ඔහුට මිතුරන් රාශියක් විය. කලා කටයුතු වලදී පෙරමුණ ගෙන ක්‍රියාකළ ඔහු ඇතුළු පිරිස සංවිධානය කරන ලද ප්‍රසංග ගණන අති මහත් විය.
දුක් විඳින සරසවි ශිෂ්‍යයා සැමදාමත් ඔහු කම්පාවට පත්කළ චරිතයකි. ඔවුන් උදෙසා වූ සටන් වලට පෙරමුණ ගත්තවුන් සමග ඉදිරියෙන්ම සිටියෙකි ඔහු. අසාධාරණය ඔහුට පෙන්නන්නට බැරිය.

සමාජවාදය ඔහුගේ සිත් පැහැර ගත් ආකර්ෂණීය දේශපාලන සංකල්පයක් වුවද ඕනෑම දෙයක අන්තවාදී ස්වරූපය ඔහු පිළිකුළ් කළේ ය. පළමු පෙළ ජ.වි.පෙ. ක්‍රියාකාරියෙකු වූ ඔහු 1988-89 කාලයෙදී එය අත් හැර දැමුවේ අහිංසක මිනිස් ඝාතන හා රාජ්‍ය දෙපළ විනාශය ඔහුට දරා ගත නොහැකි කම්පාවට පත්කළ නිසාවෙනි. සංවිධානයේ නඩත්තු වියදම් වශයෙන් අහිංසක සුළු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලා නොදුන් තැන ඔවුන් ඝාතනය කර පවුල් පිටින් මහමගට බැස්සවීම, සුළු සමාජ විරෝදී වැරදි හා විකල්ප මත දැරූ වරදට ඔවුන්ට කරුණු පෙන්වාදී / විකල්ප ආදායම් මාර්ග යෝජනා කර යහමගට ගැනීම වෙනුවට අහිංසකයන් පරලොව යැවීම, රාජ්‍ය ආයතනවල සේවය කළ හිතහොඳ මාධ්‍යවේදීන් ඝාතනය, රාජ්‍ය දේපළ (කාර්යාල හා වාහන, විශේෂයෙන් ලංගම බස් රථ) ගිණි තැබීම ඔහු කිසිදා අනුමත නොකළ අපරාධ විය. (රජයට විරෝධය පළ කිරීමට එසේ කිරීම 'වාහේ එක්ක තරහට නාහේ කපා ගැනීම'කි. මන්ද දැවී අළු වී යන්නේ දේශපාලුවන් ගෙදරින් ගෙනා මුදලින් මිළදී ගත් දේපළ නොව නොව, මෙරට අහිංසක දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් යොදවා මිළට ගත් හා  අහිංසකයින්ගේ දාඩිය මහන්සියෙන් නඩත්තු වන නිශ්චල චංචල දේපළ බව තේරුම් ගැනීමට නොහැකි වීම ජ.විපෙ. ලද මහත් අවාසනාවකි.) ඔහු ජ,විපෙ.ට යළි සහය පළ කලේ බොහෝ කලකට පසුව, ඔවුන් පරණ ගොන්කම් අතහැර ඇතැයි සිතිය හැකි පරිදි ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසි පසුය. (දැන්නම් උන් කෙළින පිස්සු වල හැටියට ඔහුට සියලු දේශපාලුවන් එපා වී ඇත. එනම් වර්ණය අවර්ණයි.) නමුත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම උදෙසා ජ.වි.පෙ. හා අන්තරේ විරු සිසුන් විසින් කර ඇති අසමසම හා විශිෂ්ට කැපකිරීම් ඔහු කිසිදා ලඝුකොට තකන්නේ නැත. සමාජවාදය උතුම් දර්ශනයක් බවත්, වැරදි පුද්ගලයන් අතට පත්වුණු විට විනාශකාරීබවත් ඔහු දකී. එවැන්නන් නිසා ඔහු සංකල්පයට හා සිද්ධාන්ත වලට නිගරු නොකරයි. 'ලෙනින්' පොත් කට්ටලය ඔහු එකල (88-89) සමඟින් ඔහු සිය ජීවිතය රැකගෙන ඇත්තේ ඒවා වළලා ඒ මත කෙසෙල් පඳුරක් සිටවීමෙනි. අදටත් ඒ වෙළුම් කිහිපය ඔහු සතුව ඇත. මෙසේ අන්තගාමී නොවී සෑම දෙයකම හොඳ නරක දෙකම විවෘත මනසකින් විචාරශීලීව බැලීමට අප හුරුකිරීමට තරම් විශිෂ්ටයකු වීම ගැන මම ඔහු ගැන ආඩම්බර වෙමි. 

ආකල්පමය හේතූන් මත, ඔහු වසර හතළිස් ගණනක් වන තුරුම පුද්ගලික පන්ති පැවැත්වීම ප්‍රතික්ෂේප කලේය. (ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිධාරියෙකි.) අකමැත්තෙන් වුවද ඒ සඳහා යොමුවුනේ ගෙදර ආර්ථික ප්‍රශ්න ඉහවහා ගිය හෙයින්, අපට දුක් දීමට නොහැකි නිසාය. ආර්ථික අතින් තරමක් යහපත් වුවත්, ඔහු ප්‍රියකරන්නේ සරල දිවි පෙවෙතකටය. වසර 60ක් පමණ පැරණි ගරාවැටෙන අම්බලමක් බඳු නිවස වෙනුවට අලුත් නිවසක් තැනීමට ඔහු කිසිදු උත්සාහයක් නොගනී. මා මේ මෑතකදී නවීන මෝටර් රථයක් මිළදී ගන්නා තෙක්ම ඔහු පාවිච්චි කළේ කසිකබල් කෑලි හැලෙන කාර් කට්ටකි. මෙයට යවන්නේ පතෝල වැලක්ද, ලබු වැලක්ද යන්න ඔහු හැර අපට තිබුණු ප්‍රශ්නයකි. එය සුදුසු එලවළු මැස්සක් ලෙස පාවිච්චි කිරීමටද, වැටෙන කෑලි අහුලාගැනීමට තවත් වාහනයක් පිටුපසින් පැමිණිය යුතු බවටද, මේක අල්ලන්නේ පොලීසියෙන් නොව පී.එච්.අයි. මහතා යැයිද මම ඔහුට නිතර විහිළු කළෙමි. ඔහු නොවෙයි එය ගණනකටවත් ගත්තේ. අළුත් වාහනය ගෙනා පසු ගරාජ් කාරයා විසින් ඔහුගේ අනගිබවනීය වාහනය හප්පා චප්ප චොරියන් කළේය. ඒ ගැන නොසැලුනු ඔහු එය ඉතා අඩු මුදලකට විකුණා මුදල් මගේ පශ්චාත් උපාධියේ පාඨමාලා ගාස්තු වශයෙන් ගෙවා දැම්මේ නිර්ලෝභීවය. මා වාහනයෙන් වැඩට එද්දී ඔහු අදටත් තෙමි තෙමී වැස්සේම රාජකාරිය සඳහා කිසිදු හීල්ලීමක් නොමැතිව පිටව යයි. ඔහුට වාහනය දී මා මෝටර් සයිකලය ඉල්ලා ගන්නට උත්සාහ කළද ඔහු විවිධ හේතු කියමින් එය මගහරියි. මෙවිට මට මතකයට නැගෙන්නේ 'අම්මා කියන බොරු' නම් අනුවේදී සටහනයි. පවුලේ සියල්ලන්ට ප්‍රමාණවත් ආහාර නොමැතිනම් 'මට බඩගිණි නෑ' යනු එවැනි එක් 'බොරුවකි'.

විශාල වාරික මුදලක් වාහනය වෙනුවෙන් ගෙවීමට තිබියදීත් මා පුද්ගලික අංශයේ රැකියාව ගැන කළකිරී ඉතා අඩු වැටුපකට රජයේ රැකියාවකට යාමට තීරණය කිරීම ගැන ඔහු කණගාටු වූවා නොව අතිශයින් සතුටට පත්විය. මා රැකියාවේ අධික මානසික පීඩනය යටතේ රෝගියකු වනු දැක්මට ඔහු බියවීම එයට හේතුවයි. කිසිදු මැසිවිළි නැගීමකින් තොරව ඔහු වාහනයේ අති විශාල වාරිකය මා වෙනුවෙන් සිය ආදායමෙන් ගෙවා දැමීය.

හිත හොඳ මිනිසකු වූ ඔහුව බොහෝ දෙනෙකු විසින් නිතරම රවට්ටනු ලැබේ. වරක් පොත් ව්‍යාපාරයක් ආරම්භ කළ ඔහු වැඩිදිනක් යාමට මත්තෙන් බංකොළොත් වූයේ අතිවිශාල ණය මුදලක් හිඟව පවතිද්දීය. වාහන විකිණා  ගෙවූ පසුද ඉතිරි වූ රු. හයලක්ෂ ගණන ඔහු වාරික වශයෙන් අදටත් සිය වැටුපෙන් ගෙවනු ලබයි.

පශ්චාත් උපාධි ගණනාවකට හිමිකම් කීවද ඔහු අඩුගණනේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, ගුරු උපදේශකයකු වීම ඔහුගේ අභිමතය නොවේ. ලැබූ උපගුරු තනතුරෙන් ඔහු සෑහීමට පත්ව ඇතුවා මදිවට ඒ පිළිබඳ උපරිම තෘප්තිමත්භාවයෙන් පසුවේ. ඔහුට වඩා සුදුකම් හා අත්දැකීම්වලින් අඩු අය ඔහුට උපදෙස් දීමට පැමිණීම ඔහු උපේක්ෂාවෙන් ඉවසයි.

කලා කටයුතුවලට ඔහු සිය පුද්ගලික මුදල් යොදවන්නේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නොව හුදෙක් ආත්ම තෘප්තිය උදෙසා පමණකි. වරක් ඔහු නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යයක් නැරඹීමට ප්‍රවේශ පත්‍ර මිළදීගෙන පැමිණ තිබුනේ අතේ  ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. නමුත් ඒ දර්ශනය සඳහා ඔහු වියදම් කළ මුදල රු. 80,000 ඉක්මවීය. ආදායම යන්තමින් රු, දසදහසකට ආසන්න විය. නමුත් ඔහු මින් කම්පාවට පත්ව සියල්ල අත් හැර දැමුවේ නැත.

ඔහු ගැන ලියනවා නම් පොත් ගනණක් ලිවීමට තරම් අපූර්ව චරිතයකි. ඔහු මා මිනිසකු කළ ආකාරය මෙහිදී නොකියාම බැරි වුවත් දැනටමත් මෙය දික්ගැසුනා වැඩි හෙයින් අදට මෙතැනින් නවතිමි. බලා සිටි ඔබට ස්තුතියි.