Friday, February 20, 2015

ඔබේ දැනුම් පොතට....

ඇතැම්විට ඔබ විද්‍යා සිසුවෙක් හෝ විද්‍යාවීදී උපාධිධාරියෙක් නොවනවා ඇති. එහෙත්....ඔබ මහරගම පිළිකා රෝහළට වරක් හෝ ගොස් තිබෙනවාද? 
ඒ අසරණයින් දිනක් හෝ වැඩිපුර ජීවත් වීමේ බලාපොරොත්තු සඵල කරගන්නේ මේ උදාර මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගය නිසා බව ඔබ මොහොතකටවත් සිතුවාද?

ලොව විශාලතම නොබෙල් පවුල
(රාජපක්ෂ පවුල ගැන දන්නා බොහෝ දෙනා මේ ගැන නොදන්නවා ඇති. :D )
කියුරි පවුල.
1. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
2. පියරේ කියුරි (මාරි කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
3. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1911
4. අයිරින් කියුරි (මාරි සහ පියරේගේ දියණිය.) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
5. ජීන් ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
6. හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ (මාරි සහ පියරේගේ බෑණා, ඊව් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් සාම ත්‍යාගය 1965
7. හෙලේනා ලැන්ග්විට් ජුලියට් (අයිරින් කියුරිගේ දියණිය.) නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව  (නිර්දේශිත.)

මේ සියලු සාර්ථකත්වයන්, විද්‍යාව වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාවන් පසුපස කඳුලින් ලියැවුණු තවත් කතාවක් ඇත. එනම් මෙයින් බොහෝ දෙනා, විකිරණශීලිතාව (Radioactivity) ගැන පර්යේෂණයන්හි නිරතව සිට එයින්ම සිය ජීවිතය අකාලයේ කෙළවර කරගත්, වඩාත් සංවේදීව කියනවා නම් දිවි පිදූ විශිෂ්ටයින්. ඒ විකිරණ වලට නිරාවරණය වීමෙන් ආසාධනය වූ රුධිර සෛල අවසාධනය ආශ්‍රිත වූ රෝග තත්ත්වයන් හේතුවෙන්.
මොවුන් භාවිත කළ පොත් පවා අධික ලෙස විකිරණශීලී බවක් අදටත් දක්වනවා. 

*මාරි කියුරි වයස 66දී මියයන්නේ ඇප්ලාස්ටික් ඇමීනියා නම් මෙවැනි රෝගයකින්.
*පියරේ වයස 46දී මිය ගියේ රිය අනතුරකින් වුවත් ඒ වනවිටත් ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියා. ඔහු මග මග ඇද වැටුණේද ඒ වනවිට ඔහු ශාරීරීකව බොහෝ දුර්වලව සිටි නිසා.
*අයිරින් මියගියේ වයස 58දී ලියුකේමියාවෙන්.
*අයිරින්ගේ සැමියා ෆෙඩ්‍රික්ද මියගියේ වයස 58දී.

අපි දික්කසාද වෙමු

වෙනස් සංස්කෘතියක තියෙන කිසිම දෙයක් අපිට මතුපිටින් බලා හොඳ නරක නිර්ණය කරන්නට නොහැකියි. මේක තේරුම් ගැනීමේ අඩුපාඩුවක් නිසා මම මේ ලඟදි අලි අමාරුවක වැටුණා.

මගේ රුසියානු ජාතික මිතුරිය මරීයා වරක් මගෙන් විමසුවා "ඔබේ රටේ මිනිසුන් ජීවිත කාලයම එකම සහකරුවා සමඟ ජීවත් වනවා. දික්කසාදය සලකන්නේ අවමානයක් ලෙසටයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?"
මගේ පිළිතුර වූයේ 

"ඒක අපේ සංස්කෘතියේ තිබෙන හොඳ දෙයක්. මා එයට කැමතියි."
ඇය මා දෙස හැරී බැලුවේ විමතිය හා මදක් අවඥාව මුසු බැල්මකින්.

"ඔබ විද්‍යාඥයෙක්. මං වගේ කළමණාකරණ උපාධිධාරියෙක්* නොවෙයි. ඇයි ඔබ වගේ කෙනෙකුත් එහෙම පටු විදියට හිතන්නේ?" 

මෙවර තිගැස්සී ගියේ මම. මෙවැනි චෝදනාවක් කවදාවත් මට එල්ල වී නැහැ. ඊළඟ මොහොතේ ඇය එය පැහැදිළි කළා.

"මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතන පතන විදිය පවා වෙනස් වෙනවා. ඉලක්ක, අරමුණු වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ අරමුණු වලට යනකොට තමන්ගෙ ආදරණීයයන් අමතක වෙනවා.

එතකොට එතැන ඉන්නේ අපි ආදරය කළ කෙනා හෝ විවාහ වූ දිනයේ සිටි කෙනා නොවෙයි. මං අහන්නේ අපි ආදරය කළේ වෙන කෙනෙකුට නම්, අහවල් මගුලකටද අතීතයෙ හිටි කෙනෙකුට මැරීගෙන කත් අදින්නේ?. අතීතයේ ජීවත් වෙන්නේ. වර්තමානයේ ජීවත් වන අපිව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකෙ ඉඳිද්දි අපි මොකටද එහෙම අය නොසොයා දුක් විඳ විඳ ඉන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ."

මම නිරුත්තර වුණා.

ගමනාන්තයට ළඟා වීමට ගත වූ ඊළඟ පැය 2 1/2 ම මම කල්පනා කළේ ඇගේ පිළිතුරේ තර්කාණුකූල භාවය හා එයට අභියෝග කළ හැකි පිළිතුරක් ගැනයි.

ඇය නැගූ ප්‍රශ්නය තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා.

"මිනිස්සු වෙනස් වෙනවා නම්, ඇයි අපිට වෙනස් වෙන්න බැරි?"
----------------------------------------------------------------------
*මගේ කළමණාකරණ උපාධිධාරී මිතුරන් තරහ වන්නට එපා. මේ ඇය කියපු දේ එළෙසින්ම සිංහලට නැගූ විට හැඟෙන අදහසයි.. මගේ පෞද්ගලික මතය නම් කිසිම උපාධිධාරියෙක් වෙනත් කිසිම උපාධිධාරියෙකුට වඩා ලොකු නැත කියාය.

Tuesday, February 17, 2015

හයිබ්‍රිඩ් සිහිනය බොඳ කළ එකාලාට සුද්ධ සිංහලෙන්....


හයිබ්‍රිඩ් ගැන හරවත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. එයට පොහොර දමමින් බ්ලොග් එකෙහි මකුළුදැල් කැඩීමට තීරණය කළෙමි.

සතුට නම් සිළුමිණේම මෙවැනි අගනා අපක්ෂපාතී ලිපියක් පළ වීමය. (එහෙත් යහපාලනය ෂෝක්..! කීමට ඉක්මන් නොවෙමි.)

ලංකාවේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් භාවිත කරන අයගෙන් 95% කට වඩා උගත් වෘත්තිකයින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධනපතීන් වන දේශපාලඥයින්, සුපිරි වය්‍යාපාරිකයින්, නින්දගම් වලින් ඕසෙට සල්ලි ගලන නායක හිමිවරුන්, මහාපරිමාණ ටියුෂන් ගුරුවරුන් වැන්නවුන් ඉන්ධන පිරිමැසීමක් හෝ පරිසර හිතකාමී බවක් ගැන තකන්නේ ඉතාමත්ම කළාතුරකිනි. ඒ අනුව හයිබ්‍රිඩ් රථය යනු මෙරට උගත් වෘත්තිකයාගේ නිල වාහනය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 

උදාහරණක් ලෙස, මා ලැබූ අධ්‍යාපන පසුබිම මත, මගේ මිතුරන් බොහෝ දෙනා තොරතුරු තාක්ෂණික හෝ ඉංජිනේරු වෘත්තිකයින්ය. නැතහොත් සරසවි ඇදුරන්ය. ගණනින් 70ක් පමණ වන මගේ උසස් පාසැල්, විද්‍යාවේදී, පශ්චාත් හා ආචාර්ය උපාධි බැචාලාගෙන් හා මා සේවය කළ ආයතන සතරෙහි වෘත්තීය සඟයන්ගෙන් 50ක් පමණ එක්කෝ හයිබ්‍රිඩ් රථයක් භාවිත කරති; නැතහොත් ළඟදීම එකක් මිළදී ගැනීමට බලාපොරොත්තු වෙති. එය පෞද්ගලිකව මා සම්බන්ධයෙන්ද අදාලය.

මෙවැනි සන්දර්භයක් තුළ මෙරට උගත් වෘත්තිකයින් සූරා කන මෙවැනි අම්බරු ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් සිදුවන්නේ මෙරට ගැන උගතුන් කළකිරී බුද්ධි ගලනයට ඉණිමං බැඳීම මිස අන් කිසිවක් නොවේ.

මෙවැනි අදූරදර්ශී රොබින්හුඩ් ප්‍රතිපත්ති හදනා එකාලා දැනගතු යුතු දෙයක් ඇත. එනම් පසුගිය රජය පිරිහීමට 6% කාලයේ උගතුන්ට කරනලද අවමන් පාරාවළල්ලක් ලෙස ක්‍රියාකළ බවත්, එකී දූෂිත රජය පෙරලන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සාධනීය මෙහෙවරක් ඉටු කළ බවත් ය.

එවන් සරසවි ප්‍රජාවේ හා ඉන් පිටවන්නන්ගේ වත්මන් හා අනාගත බලාපොරොත්තුවල ගෙළ සිඳලන්නට ඉදිරිපත් වන්නේ නම්, නුඹලාට වැඩි දුරක් යා නොහැකිය.

Sunday, February 9, 2014

කාටවත්ම නොකී මගේ ප්‍රේම වෘත්තාන්තය

එක අතකට මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලත් හිතෙනවා. කෙනෙක්ගෙ අතිශයින් පෞද්ගලික ජීවිතේ දේවල් තව කෙනෙකුට හෙළි කරන එක. 
ඇත්තටම මේක කියවන කෙනෙකුට ගන්න කිසිම දෙයක් නෑ. නමුත් පුරා අවුරුදු 5ක් මම මේක හිතේ තදකරගෙන හිටියා. මාව හොඳින්ම තේරුම් ගෙන සිටිනවා යයි මා විශ්වාස කරන හිතවත්ම මිතුරු මිතුරියන්වත් මේ කතාව මෙච්චර විස්තරාත්මකව අදවන තුරුම දැනගෙන හිටියෙ නෑ. 
එහෙනම් ඇයි මම මේ දේවල් හිටිහැටියෙම වමාරන්නෙ? මටත් හිතාගන්න බෑ ඇත්තම හේතුව. 
ආසන්නතම හේතුව මේකයි. අවසානයක්, පරක් තෙරක් පේනතෙක් මානයකවත් නොපෙනෙන මේක මට දැන් ඇති වෙලා. කාට හරි කියලා දාලා හිත සැහැල්ලු කරගන්නයි අවශ්‍ය. 
මගේ පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙන් ඔබේ වටිනා කාලය කා දැමීම ගැන දහස් වාරයක් මට සමාවන්න.

මේක ඒක-පාර්ශවික ප්‍රේම කතාවක්. මේ දක්වා කතාව අහපු හැමෝම කිවුවෙ එහෙමයි.

එක-පාර්ශවික ප්‍රේමය, දෙදෙනාගේම එකඟතාවය ඇතුව දළුළා වැඩුණු, ගලා යන, බිඳුණු ප්‍රේමය තරම් උත්තරීතර දෙයක් නොවන බවයි, මට ඒ හැමෝම කිවුවේ. මේක සමාජ සම්මතයක් තරමටම මිනිස්සුන්ගේ හදවත් තුළ පැලපදියම් වී තිබෙන බව දකින්නට ලැබෙනවා. අවසානය කුමක් වුවත්, සම්මත හෝ අසම්මත ප්‍රේම කතා වලින් 99% කටත් වඩා දිවෙන්නේ එම, ඒ කියන්නේ දෙදෙනාගේම කැමැත්ත මත ඇතිවූ ඒවා.
දශක තුනක ජීවිතයේ මා නරඹූ දේශීය-විදේශීය නිර්මාණ දහස් ගණනක් අතුරින් ඒක-පාර්ශවික ප්‍රේමයට තැනක් දීපු නිර්මාණක් මම දුටුවේ එකම එකයි. ඒ ගුණදාස කපුගේ ගායනා කරන 'උන්මාද සිතුවම්' ගීතය ඇතුළත් 'එක් ටැම් ගේ' සිනමා සිත්තම. මේ සටහන තබන්නට එයින් ලැබුණු ධෛර්‍යය අප්‍රමාණ බව කිවයුතුයි.

මගේ ජීවිතයේ මම තරුණියන් 3 දෙනෙකුට ආදරය කර තිබෙනවා. කියන්න කණගාටුයි එයින් පළමු 2ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පාර්ශවික ඒවා. ඒ කියන්නේ ඒවාට අනිත් පාර්ශවයෙන් අංශු මාත්‍ර හෝ දිරිගැන්වීමක් ලැබුණේ නැති බව අවංකවම කියන්න ඕනා.
ඉන් පළමු එක ඇතිවූයේ මීට වසර 11කට පෙර, මා උසස් පෙළ හදාරණ කාලයේ. මා සහභාගී වූ රසායන විද්‍යාව කුඩා කණ්ඩායම් පන්තියකට පැමිණි අසල්වාසී සමවයස් තරුණියක් කෙරෙහි. අවුරුදු 3ක් විතර මම බලාපොරොත්තු තියාගෙන හිටියත් ඇය දැඩිව මාව ප්‍රතික්ශේප කළ නිසා සරසවියේ පළමු වසරේ මගේ කණ්ඩායම් ව්‍යාපෘතියක හිටපු කෙනෙකුට මා අවධානය යොමු කළා. මාස කිහිපයක් ඇවෑමෙන් කල් යල් බලලා මා මගේ අදහස ප්‍රකාශ කරන්නට ඔන්න මෙන්න තිබියදී මගේ මිතුරකු ඇයට ඇගේ ගම් පළාතේ පෙම්වතකු සිටින බව සොයාගත්තා. ඉතින් හිත හදාගන්නට සිද්ධ වුණා.

ගොඩක් දෙනෙකුට බොක්කටම වදින්නේ ප්‍රථම ප්‍රේමය බව පැවසෙතත් මා සම්බන්ධයෙන්නම් එය සම්පූර්ණයෙන්ම වෙනස්. හේතුව වඩාත් හොඳ අවබෝධයෙන් යුතුව, වඩාත්ම ගැඹුරින්, අධ්‍යාත්මිකව මම පෙම් කළේ තුන්වන සහ අවසන් වතාවට.

පළමු වසර අවසානයේ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු ක්ෂේත්‍ර චාරිකාවකදී තමයි අපි එකිනෙකාට සමීප වුණේ. 
මගේ දෙවන උත්සාහයක් අසාර්ථක වූ නිසා මා සිටියේ තරමක කළකිරීමෙන්. නමුත් ඒ ගමනේදී ඒ වනවිට එකම බෝට්ටුවේ සිටි ඇයව හඳුනාගන්නට ලැබුණා. එකම බෝට්ටුවේ කිවුවේ ඒ වන විට ඇයත් ඇගේ ආදරය බිඳිලා වේදනාවෙන් හිටියේ.

අවුරුදු 2 1/2ක්ම අපේ හිතවත්කම (අවසානයේ ඇය එය හැඳින්වූයේ එහෙමයි.) ගලාගෙන ගියා. 
මට ඕනෑ වුණේ ඇගේ ආදරය ස්ථිරවම දිනාගන්නා තුරු කිසිවෙකුටත්ම ඒ ගැන දැනගන්නට ඉඩ නොතැබීම. කොටින්ම මගේ හිතවත්ම මිතුරන්, මිතුරියන්වත් ඒ ගැන හාංකවිස්සියක්වත් දැනගෙන හිටියේ නෑ. ඉන් සමහරු අදවනතුරුත් මේ ගැන දන්නෙ නෑ.

ඇත්ත. ඇය මට කවදාවත්ම 'මම ඔයාට ආදරෙයි' කියා නෑ. අහන අහන කෙනා එය හුදෙක් මගේ හිතළුවක් යයි නිගමනයට එන්නට ඒක පාවිච්චි කරනවා. සමහරවිට ඇත්ත වෙන්න ඇති.

ඒත් ඒ අවුරු දෙකහමාරට අපි අතරේ ඇතිවුණු දුරකතන සංවාද, කෙටි පණිවුඩ, 'මිස්ඩ් කෝල්ස්' (මීට අවුරුදු 7 1/2 කට කළින් ඔය ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වෙලා තිබුණෙ නෑ. 'මිස්ඩ් කෝල්' තමයි හුඟක් ජනප්‍රිය වෙලා තිබුණෙ.)
සමහර දවස්වල මගේ ජංගම දුරකථයට ඇයගෙන් ලැබුණු 'මිස්ඩ් කෝල්ස්' ගණන දුසිම් ගණනක්. කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)ත් එහෙමයි.
ඒ කිසිම එකක 'ආදරය' කියන වචනය තිබුණේ නැති බව ඇත්තයි. නමුත් මේ හැම එකකම සාමාන්‍ය මිත්‍රත්වයට එහා ගිය දැඩි ලෙන්ගතුකමක් තිබුණු බවයි මට හැඟී ගියේ.

ඇයත් මා මෙන්ම ඉතාම සංවේදී හදවතක් තිබුණු කෙනෙක්. ඉතාම සුළු දේටත් මහා ලොකුවට සිත රිදවා ගන්නා කෙනෙක්. මේ අවුරුදු දෙක හමාරට එවැනි සිදුවීම් දුසිම් ගණනක් ඇය මට පවසා තිබෙනවා. සමහර දවස්වල රාත්‍රියට අපි පැය ගණන් හැඟීම්බර කතාවල යෙදුණා. කෙළින්ම ආදරය යන මාතෘකාවට නොබැස්සත් අපි කතා කළේ ඊට ගොඩක් සම්බන්ධ දේවල් ගැන. ජීවිතය ගැන, සමහර දේවල්වල නිස්සාරත්වය ගැන එකිනෙකා හිතන පතන විදිය ආදියයි. එතැනදී මට හැඟී ගිය දෙයක් තමයි, මේ තරම් මම සිතන පතන විදියට අනුකූලතාවයක් දක්වන වෙනත් සිතක් දරන්නෙක් මේ ලෝකේ සිටීම හරිම පුදුම සහගතයි කියන කාරණය. අපි අතරේ ඒ තරම් ගැලපීමක් තිබුණා. 

ඇයට මා ගැන හැඟුණේ හුදෙක් සාමාන්‍ය මිත්‍රයෙක් ගැන දැණුන විදියටයි කියා මට තවමත් සිතෙන්නේ නෑ. එය එහෙම වූයේ කෙසේදැයි වචනයෙන් විස්තර කරන්නට බැහැ.

ඒ අවුරුදු 2 1/2 තුළදීම මම ඇයට මගේ ආදරය ප්‍රකාශ කරන්නට සුදුසු අවස්ථාවක් එනතුරු කල්මරමින් සිටියේ. නමුත් විස්තර කරන්නට තේරෙන්නේ නැති හේතුවකට මා එය දවසින් දවස කල් දැමුවා. එය එයට වඩාත්ම සුදුසු වේලාව නොවේයයි මගේ සිත කියූ නිසයි. අනවශ්‍ය ලෙස කළබල වීමෙන් ආදරය පමණක් නොව, ජීවිතයේ හමුවූ වඩාත්ම මා තේරුම් ගත්, අවිහිංසක, සංවේදී, හැඟුම්බර, චාම්, සරල, අවංක යන ගුණවලින් පරිපූර්ණ වූ තැනැත්තියගේ මා කෙරෙහි අවධානය, සැබෑම ලෙන්ගතුකම, ඇසුර පවා අහිමි වී යා හැකි බව මට හැඟී ගියා.

මේ අතරේ ඇගේ යම් සියුම් වෙනසක් මා නිරීක්ෂණය කළා. වෙනදාට වඩා කල්පනාවේ නිමග්න වෙමිනුයි ඇය කාලය ගත කළේ. යම් කෙනෙකුට දුරකථනයෙන් අමතන්නට ඇය උත්සාහ දරණ බවත්, අනිත් කෙළවරෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන නිසා යම් තැවුලකින් ඇය සිටින බවයි මට හැඟුනේ. නමුත් ඇගේ නිහඬ බව ප්‍රශ්න කරන්නට මා බිය වුණා. මේ වනවිටත් මට එසේ කිරීමට අයිතියක් තිබුණේ නෑ.
අන්තිමේදී මගේ ප්‍රාණ සමාන යෙහෙළියක් මඟින් මා පිළිබඳව ඇගේ අදහස කුමන ආකාරයක එකක් දැයි දැනගැනීමට මා තීරණය කළා.
මා යෙදවූ යෙහෙළිය ඉතා විශ්වාසවන්ත වුවත්, ඇය කී කතාව මට පිළිගන්නට අපහසු වුණා.

"එයා හොඳ යාලුවෙක් තමයි. ගතිගුණත් ගොඩක්ම හොඳයි. නමුත් එයා වගේ කෙනෙක් බඳින්න නම් මම කැමති නෑ."
එයට හේතුවත් මගේ මිතුරිය උපක්‍රමශීලීව අසාගන්නට සමත් වූ තිබුණා. එයත් විශ්වාස කරන්නට අපහසුයි.
ඇය පවසා ඇත්තේ මෙවැන්නක්:
ඇයට අවශ්‍යයිලු සරසවියෙන් පිටවූ වහාම විවාහ වීමට. ඇය විවාහ කරගන්නා තැනැත්තාට තමන්ගේම කියා නිවසක්, වාහනයක් තිබිය යුතුයිලු.

ඇය වගේ සරල, චාම් (ඇත්තටම මම ඇයට කැමති වන්නට ප්‍රධානම හේතු එකී කී ගුණාංගයි.) භෞතික දේවල් වලට වඩා අධ්‍යාත්මික දේවල් අගය කරන කෙනෙක් හදවතට එකඟව ඒ විදියට කතා කරන්නේ කොහොමද කියා මට සිතාගන්නවත් බැරි වුණා.

මොකද්ද මේ කතාවේ තේරුම කියා මා දින ගණනක් කල්පනා කළා. සමහරවිට ඇය කියපු කාරණය ඇත්ත වන්නට පුළුවන්. හැඟීමවලට ඉඩනොදී යථාර්ථයට මුහුණදෙන්නට ඇය ඉටාගන්න ඇති.

නමුත් මා පරාජය බාරගන්නට කැමති වූයේ නෑ. විශේෂයෙන්ම ඇය වගේ අය අද කාලේ හොයන්න හරිම අමාරුයි.

ඉතින් මම තීරණය කළා ඇයට අවශ්‍ය සුදුසුකම් හදා ගැනීමට.
ඒ වනවිට මම සිහින මවමින් සිටියේ උපාධියේ ප්‍රථම පන්ති සාමර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමට. එය මා පමණක් නොවේ, ඇය ඇතුළු මුළු විශ්වවිද්‍යාලයම දැන සිටියා. මගේ ඒ ගැන කිසිවෙකුට අබමල් රේණුවකවත් අවිස්වාසක් තිබුණේ නෑ.  
නමුත් ඇය වෙනුවෙන් අවශ්‍යනම් එය පවා අත් හරින්නට මා තීරණය කළා. (මීට වසර 5-6කට පෙර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුට ලැබුණේ ඉතාම සොච්චම් වැටුපක්.)
උපාධිය ලැබූ පසු ආචාර්ය මණ්ඩලයට නොබැඳී ඉංජිනේරුවකු ලෙස පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී, එයින් ලැබෙන ඉහළ වැටුපෙන් සාපේක්ෂව කෙටි කාලයක් තුළ නිවස හා වාහනය යන අරමුණු වලට ලඟා විය හැකි බව මට පෙනී ගියා.
මේ අනුව, ඒ කැපකිරීම කිරීමට මා සම්පූර්ණ සූදානමින් සිටියා. ඒ අරමුණු ඉටුකරගන්නා තෙක්, තවදුරටත් අපේ සමීප සම්බන්ධතාවය පෙර පරිදිම ඉදිරියට ගෙන යාමටයි මා බලාපොරොත්තු වූයේ.
මේ වනවිට උපාධියේ තුන් වන වසර අවසාන භාගයයි ගතවෙමින් තිබුණේ. ඒ වනවිටත් එකිනෙකාගේ සුවදුක් විමසන කෙටි පණිවුඩ හුවමාරු වෙමින් තිබුණා.

ඒ අතරේ මගේ මිත්‍රයෙක් ගෙනා ආරංචිය නම් මට සුභදායක එකක් වුණේ නෑ. එයින් කියැවුණේ ඇය ඇගේ ගම් පළාත වන මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නාවික ඉංජිනේරු විද්‍යාව හදාරණ තරුණයෙගෙන් ආදරය අයදින බව.

එක්තරා දිනෙක මම දුටුවා ඇගේ යම් කැපී පෙනෙන වෙනසක්.  ඇය වෙනදාට වඩා බොහෝ සතුටින් සිටින බවයි මා දුටුවේ. ඇගේ ජංගම දුරකථනයටත් කිසිම නිවනක් තිබුණු පාටක් පෙනෙන්නට තිබුණේ නෑ.
මා අනුමාන කළ දේ නිවැරදි වී තිබුණා. ඔහු ඇගේ ආදරය පිළිගෙන තිබුණා.

ලෝකයට හොරෙන් ආලය කිරීමේ බරපතලකම මට තේරුණේ එදායි. අපි අතර සිදුවූ කිසිම දෙයක් අප දෙදෙනා හැර අන් කිසිවෙකු දැන සිටියේ නෑ.

එය මට දැඩි කම්පනයක් ඇති කරන්නට සමත් වුවත් හිතේ හැටියට ශෝක වන්නට හැකි වාතාවරණයක් එහි තිබුණේ නෑ. ප්‍රසිද්ධියේ හිතේ අමාරුව පිට කරන්නට යාමෙන් මා උන්මත්තකයෙකු හා කුහකයෙක් යයි මිතුරන් අතරේ ආකල්පයක් ඇති වනවාට මා බිය වුණා.

එදින මා දැඩි තීරණයක් ගත්තා. ඒ දෙබිඩි ජීවිතයක් ගතකරන්නටයි. එනම් ලෝකයට පෙනෙන්නට ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර දුක, ශෝකය හුදකලාවම විඳ දරාගන්නට. වෙනත් වචනවලින් කියනවා නම් සැහැල්ලු විනෝදකාමී ජීවිතයක් ගතකරන බව මවාපාමින් රහස් ශෝකභරිත ජීවිතයක් ගෙවන්නට.

මගේ එම තීරණය වහාම ක්‍රියාවේ යෙදුණා.  
ඒ අනුව දිවාකාලයේ සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකළ මා, දේශන නිම වී පැමිණ කාමරයට වැදී දොර වසා විදුලි පහන නිමා දමා, යහනේ වැතිරී පැය ගණනක් හිතේ හැටියට ශෝක වන්නට මා පුරුදු වූවා.
(කෘෂි විද්‍යා සිසුවෙකු වූ මගේ කාමර සඟයා, හිස් ඇඳක් තිබූ වෙනත් කෘෂි විද්‍යා සිසුවෙකුගේ කාමරයේ ලැගුම් ගන්නට යාම එයට විශාල පහසුවක් වුණා.)
මටත් නොදැනීම ආහාර රුචිය කෙමෙන් කෙමෙන් මගෙන් ඉවත් වී ගියා. තරමක් තරබාරු සිරුරක් තිබූ මගේ ශරීරය ක්‍රමයෙන් කෘශ වී යන්නට පටන් ගත්තා.
ශරීරය දුර්වල වීම හේතුවෙන් මා නිතර රෝගාතුර වන්නට පටන් ගත්තා. රෝගවලට ප්‍රතිකාර ගන්නා බව ඇඟෙවුවත් ඇත්තටම එවැන්නක් සිදු වුනේ නෑ. 'ඕනේනම් ඉබේම සුව වී ගියාවේ. නැත්නම් වෙන ඕනම දෙයක් වුනාවේ' යන ස්ථාවරයක මා සිටියා.

මාස 7කට පමණ මේ විදියට ගෙවී ගියා.....

එකදිගට මාසයක් විතර උණ, ශරීරය අප්‍රාණික බව තිබුණා. හරිහැටි ප්‍රතිකාරයක් ගැනීමට මට වුවමනාවක් ඇති වූයේ නෑ. කෑම අරුචිය උත්සන්නම වුණා. ජීවිතය යන්තම් ගැටගසා ගත්තේ බිස්කට් කිහිපයක් සහ ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝස් වලින් සහ ෆාමසියකින් මිළදී ගත් 'ජීවනී' නම් පානයකින්.
දිනක් මේ මෙහි උච්චයට ළඟා වුණා. සිහිසුන්ව ඇදවැටුණු මා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ මගේ රුධිරගත ග්ලූකෝස් මට්ට්ම ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ට්මක පවතින බවයි. සංඛ්‍යාත්මක වශයෙන් එය 667ක් වූවා. එවැනි ඉහළ අගයක් ඔවුන්ගේ ජීවිතයේ කිසි දිනෙක වාර්තා වී නොමැති බව වෛද්‍යවරු ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට මා තාවකාලික අර්ධ අන්ධභාවයට පත්වූවා.
වැඩිදුර පරීක්ෂණ වාර්තා මගින් වෛද්‍යවරු මවිතයට පත්වුණා. එනම් මට වැලඳී තිබුණේ අකලට වැළඳෙන දියවැඩියා ප්‍රභේදය (Type I/Insulin dependent) නොව, වයස්ගත පිරිසි අතර බහුල Type II/Insulin independent නම් ප්‍රභේදයයි.
ජානමය හේතු නිසා තවත් වසර ගණනාවකින් මතුවන්නට තිබූ ප්‍රවේණික රෝගයක්, අධික මානසික අසංතුළිත භාවය නිසා කල්තියා අත්විඳින්නට සිදු වූ බවයි විශේෂඥ වෛද්‍ය මතය වූයේ.

මා නේවාසිකව ප්‍රතිකාර ලැබූ සති 3 තුළ තුළ මා බලන්නට පැමිණි ලබැඳියන් අතර සෑම දිනකම මම ඇගේ දෑස බලාපොරොත්තු වුවත් කවදාවත් එය ඉටුවූයේ නෑ. 

මා මුළින් කී මගේ දෙබිඩි ජීවිතය, වසර 5කට පසුවත් අදටත් නොවෙනස්ව පවත්වාගෙන යනවා. ඉන් මිදෙන්නට මට කවදා හැකියාවක් ලැබේදැයි සිතාගන්නටත් අමාරුයි.

Friday, January 17, 2014

උන්ටම ගිය රටක්....!

ප්‍රභූවරයෙක් මහමග වඩින කල ලේන්සුව අතට ගෙන කාණුවට බැස, දෙකට නැමී 'හාමුදුරුවනේ' යයි කී කලක් තිබුණි. මා සිතා සිටියේ ඒ යුගය අවසන් බවය. එහෙත් ඊයේ අපරභාගයේ සන්ධ්‍යා කාලයේ සිදුවූ එක්තරා අත්දැකීමක් හේතුවෙන් මගේ ඒ කල්පිතය බිඳී ගියේ ය.

වෙහෙසරකර දිනක නිමාව සනිටුහන් වෙද්දී මා රියට ගොඩවූයේ නිවස බලා යාමටය.

වාහනය මාතර - කතරගම ප්‍රධාන මාර්ගයෙන් ඇතුළ් මාර්ගයට දමා වැඩි දුරක් යාමට මත්තෙන් ප්‍රධාන ලාම්පු දල්වාගත්, එක්සත් රාජධානියේ නිෂ්පාදිත නවතම ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ පෙළක් විරුද්ධ දිශාවෙන් එනු දක්නා ලදී. 

පාරේ ඉඩ තිබෙන්නේ වාහන දෙකක් යන්තමින් මාරුවීමට පමණි. එසේ තිබියදී රිය පෙරහර පැමිණෙන්නේ අධික වේගයෙනි. ඒ මදිවට ඩිෆෙන්ඩර් වර්ගයේ රථ 4ට මැදිවූ අළුත්ම සුදු පැහැති ලෑන්ඩ් කෲෂර් ප්‍රාඩෝ රථයක් එන්නේ පාර හරි මැදය.

ප්‍රාඩෝ රථය හා මගේ රථය ගැටී අනතුරක් සිදුවීමට ඔන්න මෙන්නය. එහෙත් එහි රියැදුරුට රාජ උෂ්ණය වැදී තිබීම නිසාවෙන්දෝ මා රිය ලං ලංව පැමිණෙනු දැකීම කිසිදු චකිතයක් ඇති කරන්නට සමත් නොවී ඇති බව පැහැදිලි විය. මාර්ගය අයිනට ගනු වෙනුවට එය තවදුරටත් වේගය අඩාල නොවීම මා රිය දෙසට විදුලි වේගයෙන් එනු පෙණින.

ගෑවෙන-නොගෑවෙන ගානට අනතුරක් නොවී රථය බේරාගැනීමට මට ඇති එකම විකල්පය මා ගතිමි. එකම වෙනස ලේන්සුව කරට ගැනීම වෙනුවට ඉංග්‍රීසි කුණුහරුපයක් කියැවීම පමණි.

අපූරු ප්‍රභූවරු!

පිං බත් කෙළින පිං තෙල් වලින් දුවනා පිං වාහන වලින් සවාරි ගසනා පිනාලා නොදන්නා වග නම්, මහමග උන්ගේ අප්පාගේ බූදලයක් නොවන බවත්, දශක තුනක් අනේකවිධ කැපකිරීම් මැද කෘතිමව වඩවාගත් සිය මොළය මිරිකා ගත් මුදලින් ගත් ඉංජිනේරුවාගේ දුප්පත් වාහනය පමණක් නොව, දහඩිය කඳුළ මතින් ගත් කම්කරුවාගේ බයිසිකල් කටුවද පිනට පහළ වූ පින් ප්‍රාඩෝවට, ඩිෆෙන්ඩරයට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටිනා බවත් ය.

Saturday, January 4, 2014

ඉන්ටර්නල්ද? එක්ටර්නල්ද?

මේ සටහන තබන්නට හේතුවූයේ මෙන්න මේ අදහස් දැක්වීම යි.

සරලවම එහි කියන්නට යත්න දරන්නේ, බාහිර උපාධිධාරියාට වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් 'සම තැන දීම' අසාධාරණ බවයි. කරුණාකර සටහන අවසන් වන තුරු මගේ ආකල්පය ගැන අවසන් තීරණයකට එන්න එපා.

රජයේ විශ්වවිද්‍යාලයක පූර්ණකාලීනව උපාධියක් හදාරණ කෙනෙක්ගේ ජීවන අත්දැකීම් වෙනස්. මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විශ්ව-විද්‍යාලයක් (Univers-ity) වන නිසා. එයින් ලැබෙන්නේ අද්විතීය විශ්වීය (Universal) දැනුමක්. පොත පතේ දැනුම පමණක් නොවෙයි. 

ගෙදරදී තමන්ගෙ රෙද්දක් හෝදගන්න බැරි, තේ එකක්වත් හදාගන්න බැරි හාමුලා, කුමාරිහාමිලා කැම්පස් ඇවිත් අගේට තමන්ගේ වැඩ කරගන්නවා. අවුරුද්දකින් දෙකකින් අගේට උයන්නත් ඉගෙන ගන්නවා. ගෙදරදි බැරිවෙලාවත් ආයුධයක් අල්ලන්නෙ නැති, කැත්ත උදැල්ල අල්ලන්න දන්නේවත් නැති උන් අගේට මළ ගෙවල්වල කාණු කපනවා. වත්තෙ හතර මායිම නොදන්න උන් ලංකාවෙන් තුනෙන් දෙපංගුවක් කවර් කරනවා. කුණුහරුපයක් ඇහුණොත් ලැජ්ජාවෙන් මූණ රතුවෙන උන් අපූරුවට කුණුහරුප කියනවා. කෙල්ලෙකුටනම් ඇඹරෙන්නේ නැතුව අහගෙන, දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. (මේ හැමදේම ජීවිතේට වැදගත්.)

කැම්පස් එකක් කියන්නේ සමාජයේ සෑම ජනකොටසකම නියෝජනයක්. සෑම ජාතිකයකම, සෑම ආගමකම අය එතන ඉන්නවා. විවිධ සංස්කෘති එහිදී මිශ්‍ර වනවා. ඒ විතරක් නොවෙයි, විවිධ මත, ආකල්ප දරන පුද්ගලයින් හා ගැටෙන්න වෙනවා. විවිධ සමාජ වලින් පැමිණි අය (ධීවර ආදී.), විවිධ තරාතිරම් වල අය, විවිධ දේශපාලන මත දරන අය, කුලභේද සලකන අය, උඩරට-පහතරට භේද සලකන අය, විවිධ දුර්ගුණ, විකෘති ඇබ්බැහි වලට යොමු වුණු අය ආදී වශයෙන් සංකීර්ණ සංකලනයක්. ඒ හැම ජාතියේම අය එක්ක එක නේවාසිකාගාරයේ, එක කාමරයේ ඉන්න සිදුවනවා. (උදාහරණයක් විදියට සරසවි ශිෂ්‍යයන් අතරේ ඉන්නවා ගංජා පානය කරන අය, මම හොඳට දන්නවා. අපේ හොස්ටල් එකේ හිටියා හෙළුවෙන් ඇවිදින එකෙක්.)

සාමාන්‍ය පවුලක කෙනෙක් වන මම, කෝටිපති ව්‍යාපාරිකයින්ගේ දෝණියැන්දලා එක්කත්, මහපොළ 2,500න් තමනුත් ජීවත් වෙලා ඉතුරු කරලා ගෙදරටත් යැවූ අන්ත දුගී අසරණ 'තෙලා' එක්කත් එකම පොල් රොටිය බෙදාගෙන කාලා තියෙනවා. 
කැම්පස් එනකොට සිංහල වචනයක් වත් නොදන්න (පස්සේ අපිටත් වඩා දක්ෂ විදියට සිංහල කුණුහරුප කියපු.) දමිළ 'කැනා' (ඔය පහළ පිතූරෙ දැකුම්-කළුවට ඉන්නෙ කැනෝජන් හෙවත් ආරණීය 'කැනා'. උගේ ගැන වෙනම සටහනක් නෙමෙයි පොතක් ලියන්න පුළුවන්. හරිම ආතල් ඩයල් එක.) ප්‍රධාන චරිතය රඟපාපු සහ ෆයිරූස්, ෂිෆාන් සහ රිෆ්කි මුස්ලිම් මිතුරන් වෙතින් සහාය නළුවන් විදියට උපරිම සහයෝගය ලබපු වේදිකා නාට්‍ය 3ක් සාර්ථකව වේදිකාගත කරලා තියෙනවා. 



කැම්පස් ජීවිතේ උපරිමෙන් විඳපු කෙනෙකුට, ඒ කියන්නෙ විවිධ සංස්කෘතින් එක්ක මිශ්‍ර වෙච්ච කෙනෙකුට කවදාවත් පට්ට ජාතිවාදියෙක් වෙන්න බෑ. කැනාල හිතන්නෙ, පතන්නෙ, අපිව දකින්නෙ කොහොමද කියන එක තේරෙන්නෙ උන් එක්ක එකට කාපු, පිස්සු කෙළපු උන්ට විතරයි. උන් අපි ගැනත්, අපි උන් ගැනත් හිතන හැටි වෙනස් කරන්නෙ නැතුව කවදාවත් මේ රටේ ජාතික ලෙඩේ - ජාතිවාදය නිට්ටාවටම සුව කරන්න බෑ. මෙන්න මේ අතිනුත් (හරියට) කැම්පස් ගියපු එකෙක් සාමාන්‍ය එකෙකුට වැඩිය පරිණත වෙනව. 

සංවිධානය කරපු දන්සැල්, අවුරුදු උත්සව, වෙසක් උත්සව, රාමසාන්, දීපවාලි ආදී උත්සව සංබ්‍යාව මෙච්චරයි කියා කියන්න බෑ. ගියපු විනෝද චාරිකා ගණනත් ඉලක්කම් දුසිම් කිහිපයකට අඩු නෑ. කොටින්ම මගේ ඡායාරූප එකතුවෙන් 90% කටත් වඩා තියෙන්නෙ ඒ සදා අමතක නොවෙන මිහිරි මතක.

මිනිසුන් එකිනෙකා තේරුම් ගන්නවා. අන්‍යෝන්‍ය සහයෝගය, නායකත්වය, සංවිධානය, වගකීම් ඉසිලීම, මිනිස්සුන්ගේ අමාරුකම් තේරුම් ගැනීම, වැරදි වලට සමාව දෙන්නට ඉගෙන ගන්නවා.

කණ්ඩායමක් විදියට වැඩ කරන්නේ කොහොමද (කණ්ඩායම් ව්‍යාපෘති වලදි.), ඒ වගේ වෙලාවක එකෙක් වැටුණොත් (ලව් සීන් එකක් නිසා/ආර්ථික හෝ වෙනත් නොසිතූ විරූ මානසික/සාමාජයීය ආදී සංවේදී ගැටළුවක් නිසා) කොහොමද ඌව ගොඩ දාන්නෙ කියලා ඉගෙන ගන්නවා. 
කැම්පස් උප සංස්කෘතියෙ(sub-culture) තියෙනවා 'කුප්පිය දානවා' කියල එකක්. මේකෙදි කරන්නෙ දේශනවලදි ගොඩක් අයට නොතේරෙන කරුණු, තේරුණු කෙනෙක් සරලව කියා දෙන එක. පුදුමය කියන්නෙ මහාචාර්යවරු මාස ගණන් කියලත් තේරෙන්නෙ නැති ඒව කුප්පියෙදි විනාඩි ගණනෙන් තේරෙන එක. (ඒක භාෂාමය සහ ආකල්පමය හේතු මත සැබෑ වන ආශ්චර්යයක්. ආකල්පමය කිව්වෙ සමහරු මහාචාර්යවරු කියන දේවල් තේරෙන්නෙම නෑ කියල පූර්ව-ආකල්පෙක ඉන්න නිසා.) මේ අත්දැකීම් සාමාන්‍ය ජීවිතේට වගේම වෘත්තීය ජීවිතේටත් ඉතාම වැදගත්.

දුප්පත්-පොහොසත් සෑම දෙනෙක්ම ජීවිතය හරියටම අත්දැකීමෙන් විඳින්නේ මෙහිදි කිව්වොත් එය නිවැරදියි.  
මේ පහත තියෙන්නේ ඒවාට සාක්ෂි. මේ අඩවිය කියවලා වැඩිම දෙනෙක් සිනාසුනු මෙන්ම අඬපු අනුවේදනීය සත්‍ය සටහන්. 

සරසවි ජීවිතයේ රසවත් සිදුවීම්.


සරසවියේදී හමුවූ අපූරුම චරිත


වෙනස් අත්දැකීම්


බලන්න, මේ අඩවියේ සටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සහ ජනප්‍රිය සහ වැඩිම ප්‍රතිචාර (කමෙන්ට්ස්) ලැබූ සටහන් සියල්ලම පාහේ සරසවි ජීවිතයට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ ජීවිතේ හොඳම අත්දැකීම් වලින් අති බහුතරය ලබා තිබෙන්නේ සරසවි භූමිය තුළදී. සරසවි ජීවිතයේ වසරක්, සාමාන්‍ය ජීවිතයේ වසර 5කට මා සමාන කරන්නේ ඒ නිසයි.

නමුත්, සමාජ අත්දැකීම් අතින් අභ්‍යන්තර උපාධිධාරියෙක් බාහිර උපාධිධාරියෙකුට වඩා අනිවාර්යයෙන්ම ඉදිරියෙන් සිටියත් විෂය දැනුමෙන් බාහිර උපාධිධාරියෙක් එවැන්නෙකුට දෙවැනි වන්නේ නෑ. 

මා මේ කරුණ කියන්නේ දීර්ඝ කාලීන අත්දැකීම් වලින්. ඔය දෙපිරිසම සමඟ මා විවිධ අවස්ථාවල ගණුදෙනු කර තිබෙනවා. ඇතැම්විට බාහිර උපාධිධාරීන් සිටින්නේ පූර්ණ කාලීනව සරසවි වල ඉගෙන ගත් අයට පවා ඉදිරියෙන්. 

බාහිර උපාධිධාරියෙක් සිය උපාධිය සම්පූර්ණ කරන්නේ දහසකුත් එකක් අභියෝග, දුක් කම්කටොළු මැද. අභ්‍යන්තර වුවත්, බාහිර වුවත් උපාධියක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවෙයි.

මෙන්න මේ නිසා, රැකියාවක් ප්‍රදානය කිරීමේදී බාහිර උපාධිධාරියාට සම අයිතිය දෙන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. සරසවි යන්නට ලකුණු කිහිපයක් මදිවූ පළියට ඔවුන් හෙළා දැකිය යුතු නැහැ. ඔවුනුත් අපේම සොයුරන්, සොයුරියන්.

Monday, December 9, 2013

බැහැලා බැහැලා දැන්නම් බැහැලා...

දැන් නම් මගේ දේශප්‍රේමී උණ හොඳටම බැහැලා ය. 

දේශප්‍රේමයෙන් ඔද වැටී, දේශීය නිෂ්පාදකයා නගා සිටුවීමේ පරම පවිත්‍ර උත්තුංග චේතනාව පෙරදැරි කරගෙන, දේශීය (යයි කියාගත්, චීනයෙන් කොටස් ගෙන්වා එකළස් කරන) සමාගමකින් මිළදී ගත් මෝටර් රථයක් නිසා ය.

ඉතා සුළු අනතුරකට ලක්ව (ඩීමෝ බට්ටෙක් අතුල්ලාගෙන යාම නිසා) ඉදිරිපස Passenger Side දොරේ තහඩුව ටිකක් ඇතුළට එබුණි.
එවෙලේම වීදුරුව පහත් කරන්නට උත්සාහ කළෙමි. මෝටරය කැරකෙන බව දැනුනත් වීදුරුව පහත් වූයේ නැත. යම් හේතුවක් නිසා එය සිරවී තිබුණි.

රක්ෂණ සමාගමෙන් රු. 16,000 ක මුදලක් ඇස්තමේන්තු කර අනුමත කළේය. පිටින් පෙනෙන හානියට වඩා අභ්‍යන්තර හානි තිබිය හැකි බැවින් මා ඒ ගැන විමසුවෙමි.

වීදුරුව පවා සුළු හෝ හානියක් නොමැතිව හොඳින් තිබෙන නිසා ඔවුන් (පමණක් නොව මමද ) විශ්වාස කළේ තහඩු දිගහැරෙන විට අවහිරය ඉබේම විසඳෙනු ඇති බවයි.

අවශ්‍යනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ එකඟතාව මත මා එම වටිනාකමට එකඟ වූයෙමි.

නමුත් අවාසනාවක මහත! ගරාජයේදී තහඩුව දිගහැරිය පසුවත් ස්වයංක්‍රීයව වීදුරුව උස් පහත් කිරීම ක්‍රියාත්මක වුණේ නැත.

"පවර් ෂටර් මිකෑනිසම් එකේ" තුනී ප්ලාස්ටික් වලින් තනා තිබූ යම් කොටස් වලට හානි සිදුවී ඇති බවට කාර්මික මහතා මට වාර්තා කළේය.
ඒ අනුව මා එකී 'දේශීය'  සමාගමේ අමතර කොටස් අංගනය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමි.

හානි වූ කොටස පමණක් වෙනම විකුණන්නේ නැති බවත්, මෝටර් ආදී සියළුම කොටස් සමඟ සම්පූර්ණ යාන්ත්‍රණයම මිළදී ගත යුතු බවත් ඔවුන් දන්වා සිටියහ.

නමුත් දැනට එයද ඔවුන් සතුව නොමැති බවත්, එය චීනයෙන් ආනයනය කළ යුතු බවත් ඔවුන් සඳහන් කළහ. ඒ සඳහා මාසයක් පමණ ගතවනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබිණ.

විකල්පයක් ලෙස ඔවුන් යෝජනා කළේ මුළු දොරම අංග සම්පූර්ණව මිළදී ගැනීමටය.

නිකමට එහි මිළ විමසූ මට තරු පෙණුනි. 

රු. 86,000 ක්!. 

ඉන් අඩක වටිනාකමට ජපන් වාහනයක අංග සම්පූර්ණ දොර 4ම මිළදී ගත හැකිය.

මීට පෙර ඉදිරිපස බෆරය පළුදුවී එය යථා තත්ත්වයට පත් කරන්නට මා හට රු. 75,000ක වියදමක් දරන්නට සිදුවිය. 
ඒ ජපන් මෝටර් රථයක බෆරය අළුතින්ම දමන්නට යන්නේ රු. 25,000 ක මුදලක් පමණක් වන සංදර්භයකදීය.

(Spare Parts Division - 077-3512439 හෝ 077-5749360 අංකවලට ඇමතීමෙන් ඉහත කරුණුවල සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරු කරගත හැකිය.)

ස්පෙයාර් පාට්ස් මෙච්චර ලාභ වන මේ රථයේ උසස් කොලිටිය ගැනත් යමක් කිව යුතුමය...

ප්‍රදර්ශනාගාරයේ සිට මගේ නිවසට ඇත්තේ කි.මී. 7ක් පමණි. ඒ ගෙන යන අතරතුර වායුසමන යන්ත්‍රය උපරිමයට දමා තිබීයදී පවා අධික ලෙස දහඩිය දමන්නට වූයෙන් හීට් මීටරය බැලුවෙමි.

අම්මට සිරිය. රතු කට්ටත් පැන තව ටිකකුත් පැන ඇත.

කාර්මිකයෙකු ගෙන්වා පරීක්ෂා කළෙමි. ඔහු රපෝත්තු කළේ රේඩියේටරයට සම්බන්ධ විදුලි පංකාව (Radiator Fan) ක්‍රියාත්මක නොවන බවකි. විලාකය පුවරුව (Fuse Box) පරීක්ෂා කළ ඔහු මට දැවී උණු වී ගිය චීනයේ නිෂ්පාදිත Relay උකරණයක් ගලවා අතට දුන්නේය.

ඒ එවැනි පළමු සහ අවසන් සිදුවීම නොවේ. මේ වනවිට වාහනයේ විදුලි පද්ධතියේ උපාංගවලින් හරි අඩක්ම ජපන් ය. මෙහෙම ගියොත් තව වැඩි දවසක් යන්නට කළින් මෙය ඉබේම ජපන් වාහනයක් වනු ඇත!

'Factory Fitted' ස්වයංක්‍රීය විදුලි අගුළු පද්ධතිය හෙවත් Central Lock System වසර දෙකක් තුළ අළුත්වැඩියා කළ වාර ගණන 4කි. ඒ සෑම අවස්ථාවකදීම ජපානයේ නිෂ්පාදිත සෙන්ට්‍රල් ලොක් සොලෙනොයිඩ් යොදාගැනීමට මා වගබලා ගත්තේ චීනයේ නිෂ්පාදිත කොටස්වල විශ්වසනීයත්වය වරක් දෙවක් නොව, කිහිප වරක්ම මා හට සපථ වී තිබූ හෙයිනි. 

නමුත් මා ඉස්තාලය වැසුවේ අස්සයා පැනගිය පසුය. මේ වනවිට එම විදුලි උපාංග හොඳ තත්ත්වයේ ඇති නමුත් දුරස්ථ පාලකය මගින් දොරගුළු ලෑම සහ හැරීම කළ නොහැකිය. පොර සේ දුරස්ථ පාලකයේ බොත්තම ඔබා, අනතුරුව ආදී කාළීන රථයකට මෙන් දොරට යතුර දමා කරකැවිය යුතු වේ.

වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබියදී මට ගෝබි කාන්තාරය හෝ උත්තර ධ්‍රැවය මතක් වූයේ වරක් දෙවරක් නොවේ.
ඒ සෑම අවස්ථාවකදීම චීනයේ නිෂ්පාදිත අධි තාක්ෂණික සංවේදක (Sensor) සහ පරිගණක පද්ධති වල නිරවද්‍යතාව මා වෙත මනාව ඔප්පු කර පෙන්වන ලදී.

අන්තිමේදී Climate Control තාක්ෂණය හිතින් අහක් කරගෙන සරල On-Off ස්විචයක් මගින් වායුසමනය ක්‍රියාත්මක කිරීමටත්, සීතල වැඩි වූ පසු එකී ස්විචය යොදාගෙන එය ක්‍රියාවිරහිත කිරීමටත් මට හිත හදාගන්නට සිදු වූයේ අදාල අධි තාක්ෂණික සංවේදක සහ පරිගණකය ප්‍රතිස්ථානගත (Replace) කිරීමට මගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක් ඕනෑවන බව දැනගත් දිනය. (අවම වටිනාකමක් ඇති කාර් කට්ටක් අමාරුවෙන් දිවුවාට කැම්පස් ගුරුවරු කියන්නේ මහා ලොකු සල්ලිකාරයන් නෙමේය. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගසාගෙන දුවන තවත් දුප්පත් රජයේ සේවකයෙක් පමණි.)

මේ වනවිට රථයේ ඩෑෂ් බෝඩය මත සවිකර තිබෙන ඔරලෝසුව කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද යත්, ඉලක්කම් පමණක් නොව ග්‍රීක අක්ෂර මගින්ද වෙලාව දක්වනු ලබයි. නමුත් ඒ වේලාව අදාල වන රට දන්නේ දෙවියන් වහන්සේ පමණි.

මේ වන විට ඉදිරි ෆොග් ලාම්පු වලින් එකක් නිවන් ගිහිල්ලාය.
ඒ අතරේ පිටුපස ෆොග් ලාම්පු පද්ධතියම පත්තුකරන් ගිහිල්ලාය.

වසර දෙකක් ඇවෑමෙන් 'බීට් සයිලන්සරයක්' නොමිළේම හිමි විය. 

ආ. අමතක වුණාය. සුපිරි ඉන්ධන පිරිමැස්ම ගැනත් යමක් කිව යුතුමය.
සංවේදී වැඩ කොරන විස්සවිජ්ජාලය තියෙන්නේ එයාගේ ගෙදර සිට කි.මී. 5.5ක් පමණ ඉතා විශාල දුරකින්ය.
මාසයට දවස් 20ක් විතර ඔය දුර එහා මෙහා ගියාම ලීටර් 40ක ටැංකිය සම්පූර්ණයෙන්ම හිඳෙනවා ය. ඒ ටැංකියේ හිලක් තියෙන නිසා නොවේ, සුපිරි චීන තාක්ෂණයෙන් නිර්මිත, මල්ටි පොයින්ට් ඉලෙක්ට්‍රොනික් ෆුඑල් ඉන්ජෙක්ෂන් එන්ජිමේ සුපිරි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට පින්සිදුවන්නටය.

මේකට හේතුව මගේ ඩ්‍රයිවින් ඉස්ටයිල් එකේ වෙනසක් බව මෙය විශ්ලේෂණය කළ මෝටර් රථ විශේෂඥයෝ කියන්නට වූ නිසා මේ හොරය අල්ලන්නට තීරණය කළෙමි.

1986 ජපානයේ නිෂ්පාදිත කාර් කට්ටක්ද මා සතුව ඇත. ඔය EFI තියා මෙලෝ මළදාන කොම්පීතර තාක්ෂණයක් ඒකට ගෑවිලාවත් නැත. තනිකරම කාබියුරේටර්ය. මේකේ එන්ජින් ධාරිතාව 1500කි. ('දේශීය' රථයේ සිලින්ඩර් capacity 1000කි.)
සැෆාන් එකේ ඒ/සී දාගෙන මාසයක්ම වැඩට ගියත් දැවී තිබුණේ පෙට්‍රල් ලීටර් 20කට අඩු ප්‍රමාණයක් පමණි.
මේ අනුව සුපිරි චීන තාක්ෂණයේ මහිමය සිතාගත හැකිවිය.

කෙසේ වෙතත් (කවුරුහරි අරන් දෙනවා නම්) ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟාවිය හැකි සිලින්ඩර 6යේ අධිබල ටර්බෝ එන්ජිමක් සහිත අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්zස්, වොල්වෝ, ෆර්ජෝ, පෝ(ර්)ෂා හෝ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ වැනි වාහනයක් පවා නඩත්තු කිරීමේ හැකියාව මා සතුව ඇතිබව පෙන්වා දීමට මේ 1000cc. එන්ජිමට හැකිවීම අරුමයක් මැයි! 

මේ කියන වාහනය හරිහැටි නඩත්තු නොකර, සෑහෙන දුරක් ධාවනය කළ (එනම් පට්ටා ගසන ලද) සෑහෙන්න පැරණි එකක්යැයි ඔබ සිතනු ඇත.
අහෝ ඛේදයකි!. ඉරකි. තිතකි.!! යටින් දඟරයකි.!!! වසර දෙකක් 'ඉපැරණි' මේ අනගිබවනීය වාහනය, තවමත් ධාවනය කර ඇත්තේ කි.මී. 15,000ක් පමණි!

මේක මෙච්චර ඔඩු දුවනකම් පොල් ගෑවාදැයි ඔබ අසනු නො අනුමානය.

මේ අවුරුදු 2 තුළ වාහනය විකිණූ සමාගමට පැමිණිලි කළ වාර ගණන ඉසේ කෙස් ගණනට විය. (මා තට්ටයෙකු නොවේ.)
"කතාවනම් දෝලාවෙන්, යන්න වෙන්නෙ කකුල් දෙකෙන්" කියමන මතක් කර දෙමින් ඔවුහු ඔවුන්ගේ අති විශිෂ්ට කස්ටමර් කෙයාර් සේවාවෙන් මට සංග්‍රහ කළහ.

ප්‍රතිචාරය ඉතා ඉහළ වූයෙන් අන්තිමේදී මගේ මාධ්‍ය සඟයකු මාර්ගයෙන් එහි වගකිවයුතු නිලධාරියෙකු (නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රේණියේ පුද්ගලයකු) වන ආරියරත්න මහතා (දු. අං. 077-3667667) සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මා කතාකරණ සෑම මොහොතකම මොකක් හෝ වැදගත් මීටිමක සිටින ඔහු බේරෙන්නට බැරි තැන නිශ්ශංක නම් මහතෙකුගේ දුරකථන අංකය (077-0284685) ලබාදෙමින් දක්ෂ ලෙස බෝලය පාස් කළේය. 

නිශ්ශංක මහතා උපදෙස් දුන්නේ නිල වශයෙන් පැමිණිල්ලක් දමා එන්නට කියා ය. ඒ අනුව මා සමාගමේ General Line එකට (0114-7844844) ඇමතුමක් ගතිමි. සංවාදය මෙසේ විය:

"හෙලෝ. මම කස්ටමර් කෙනෙක් කතාකරන්නෙ. මට කම්ප්ලේන් එකක් කරන්න ඕන. කොහොමද ප්‍රොසීඩියර් එක?"

එහා පැත්තෙන් ගැහැණු කටහඬකින් 
"කවුද කිව්වෙ කම්ප්ලේන් කරන්න කියල?"

"මිස්ටර් නිශ්ශංක."

"එහෙනම් එයාගෙන්ම අහගන්න කම්ප්ලේන් කරන්න ඕන ප්‍රොසිඩියර් එක"

ඇමතුම විසන්ධි විය.

දේශප්‍රේමී වනවාට අපිට මෙහෙම සලකනවා මදිය.