Saturday, December 7, 2013

කාල යන්ත්‍රය සහ භෞතිකවාදියෝ

ඔන්න ඉතින් අපේ හේතුවාදී, භෞතිකවාදී අති පණ්ඩිත මල්ලිලා දෙන්නෙකුට දවසක් හම්බුණාලු කාල යන්ත්‍රයක් (Time Machine). නොදන්න අයට දැන ගන්නයි කියන්නෙ, හේතුවාදීන් කියන්නේ භෞතික පැහැදිලි කිරීමක් කරන්න බැරි, විද්‍යාත්මක උපකරණවලට අහුවෙන්නෙ නැති සේරම මිත්‍යාවන් කියලා ෂුවර් පිටම කියන මහා ප්‍රාඥයෝ නේ. එයාල ගැන තවත් කියනවනම් එයාලගෙ අසාමාන්‍ය බුද්ධි මට්ටමට (අයින්ස්ටයිනුත් පරාදයි!) ඔය ආගම් වගේ සිල්ලර කෑලි ගෝචර වෙන්නේ නැති නිසා එයාල නිර්-ආගමික යි (හරි ආඩම්බරෙන් ඒ බව කියන්නෙ).



කාල යන්ත්‍රය(Time Machine) කිව්වෙ අතීතයට, අනාගතයට කාලය, අවකාශය හරහා තරණය කරන්න පුළුවන් මැෂිමකටනේ. තමන්ට යන්න ඕන කාලය ක්‍රි.ව. වලින් හරි ක්‍රි.පූ. වලින් හරි සෙට් කරල, ප්‍රාධූර්භූත වෙන්න ඕන රටත් සෙට් කරල 'ඕකේ' කරන්න විතරයි තියෙන්නේ. 

ඉතින් අපේ ගොයියො දෙන්න වැඩර්ල වගේ සෙට් කළා ක්‍රි.ව. 1687. රට විදියට එංගලන්තය සිලෙක්ට් කලා. පොෂ් රටනෙ. එබුව රතු පාටට දිලිසි දිලිසි තිබුණ 'OK' රතු බට්න් එක. 

පොඩි අවුලක් වුනානේ. මැෂින් එකේ සුළු කාර්මික දෝෂයක් තිබුන නිසාත්, සීට් බෙල්ට් නොදා හිටපු නිසාත් මේක වේගෙන් කැරකෙනකොට අපේ ප්‍රාඥයො දෙන්නගෙ විශාල ඔලු දෙක හැප්පුනා මැෂිමෙ යකඩ බිත්තියක. හරි වැඩේ තමයි, දුමින්ද සිල්වට වෙඩි වැදුන වගේ මතකය, නූතන දැනුම් සම්භාරයත් එක්කම ඉරේස් වෙලා ගියානෙ මේ දෙන්නගෙම. 

ඔන්න දැන් මැෂිම කැරකිල ඉවරවෙලා නතරවෙලා. ඩබල ඇහැ ඇරලා බලනකොට ඇපල් වත්තක් මැද. කොන්ඩෙ වවාගත්ත ටිකක් පිස්සු වගේ ලුක් එකක් තියෙන පොරක් ගල් බංකුවක් උඩට වෙලා පොතක් බලනව. අපේ පොරවල් දැන් හැංගිලා බලන් ඉන්නව.



වැඩි වෙලාවක් යන්න උනේ නෑ, "තහ්" ගාල කොන්ඩෙ වවාගත්ත පොරගෙ ඔලුවට වැටෙනව ගෙඩියක්. ඇපලක්.

"හොඳ වෙලාවට ගහ පොල් ගහක් නොවුනෙ!" අපේ මලයෙකුට කියවුනා.

දැන් පොර (කොණ්ඩෙ වවාගත්තු ඩයල් එක) අහස පොළොව ගැටගහන්න කල්පනා කරනව. මේ අතරෙ අපේ බුවාල මිනිහට කිට්ටු කළා.

"ඔයාල කවුද? මම සර් අයිසෙක් නිවුටන්."

"හඳුනාගැනීම සතුටක් අයිසෙ නිවුටන්" 

(අපි මිනිස්සුන්ට ඔය 'සර්', 'ඩොක්ටර්', 'ප්‍රොෆෙසර්' වගේ කැටයම් දාන්නෙ නෑනෙ නම මුළට. එතකොට උන් ලොකු වෙනව. ඒ නිසා කෙළින්ම නම කියල කතා කරනව. මිනිස්සු කවුරුත් එකයි. කෙළින්ම බෝක්කුවක් උඩ ජොයින්ට් එකක් දාන රස්තියාදුකාරයයි, ප්‍රොෆෙසර් කාරයයි ඔය ඔක්කොම එකයි. මොකද දෙන්නගෙම තියෙන්නෙ එකම රතු ලේ නෙ. ආයෙ මොකටද එකෙක් විතරක් ලොකු කරන්නෙ.)

"ඔයාල හොඳ වෙලාවට ආවෙ. මම මේ දැන් විශිෂ්ට නිගමනයකට ආවා. මම හොයාගත්ත මේ ඇපල් ගෙඩිය බිම වැටෙන්න හේතුව."

"හේතුව? මොකද්ද?"

"ගුරුත්වාකර්ෂණ බලය."

"කෝ කොහෙද එහෙම එකක් තියෙන්නෙ. අපිටනම් පේන්නෙ නෑ. මොන උපකරණෙටද ඕක අහුවෙන්නෙ?"

"ඒක අදෘෂ්‍යමානයි. හොඳයි මම ඔප්පු කරන්නම්. සෛධාන්තිකව. ඒකට මාස කීපයක් යයි. හොඳයි, එහෙනම් කියන්න බලන්න ඔයාල හිතන හේතුව ඒ ඇපල් ගෙඩිය බිම වැටුන."

නක්කල් හිනාවක් කට කොනකට නගාගත් අපේ බුවා,

"අපිනම් ඔය අදෘෂ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නෑ. ඕව පට්ටපල් බොරු. මිථ්‍යාවන් පස්සෙ දුවන්න එපා සහෝදරයා. හේතුව නේද? හේතුව තමයි ඒ ගෙඩිය නටුවෙන් ගිලිහිච්ච එක. නැට්ට කැඩුන්නැත්තන් ඒක තාම ගහේ!. හොඳයි නැද්ද?"

නිවුටන් කාරයා ඉංගිරිසියෙන් කුණුහරුප දෙකක් කියලා අන්තිමට මෙහෙමත් කිවුවා:

"දුප්: පරයෝ මගෙ වත්තට අනවසරෙන් ඇවිත් මාවම චාටර් කරනව. පලයව් ආපු තූත්තුකුඩියකට තොලොන්චි වෙලා මගේ දෑහට නොපෙනී."

ඩබල හනිකට මැෂිමට ගොඩ වෙලා අතට අහුවෙව්ච ඉලක්කම් හතරක් ඩයල් කළා. ඩයල් වුනේ 1895. ටාගට් ඩෙස්ටිනේෂන් ඇවිල්ලා ජර්මනිය.

ප්‍රාධූර්භූත වුනා ලැබ් එකක් ඇතුළේ. පොරක් වීදුරු ටියුබ් එකක් ඇතුළෙ තව මොකක්ද අටවගෙන හෙන බර වැඩක්.



"හෙලෝ. ඔයාල කොහෙන්ද ආවෙ? මේ දොරත් වහල තියෙද්දි?. කමක් නෑ. මම විලියම් රොන්ජන්."

"හඳුනාගැනීම සතුටක්, රන්ජන්. ඔය මොකද්ද ඔය අට්ටාලෙ?"

"මේකද? මම හැදුවා ඇසට නොපෙනෙන කිරණ වර්ගයක්. මේක කොච්චර ප්‍රබලද කිව්වොත් අපේ ඇඟේ මස් පසාරු කරගෙන අනිත් පැත්තෙන් මතුවෙනවා. පොඩ්ඩක් ඉන්න මම ඩිමෝස්ට්‍රෂන් එකක් දෙන්නම් ලෙසටම."



මෙහෙම කියපු පොර බලෙන්ම වගේ අපේ බුවෙක් ඇදලා අරගෙන මැෂිම උඩින් අත තියලා තුනී ප්ලාස්ටික් ෆොයිල් එකක් මැෂිමට දාලා මැෂිම ක්‍රියාත්මක කළා. ටික වෙලාවකින් බැලින්නම් කළු ෆොයිල් එකේ තීන්ත මිනිස් අතක ඇටසැකිල්ලක රටාවට පිච්චිලා.

"මෙහෙම වෙන්නෙ මේ ඉන්විසිබල් රේ එක ඔයාගෙ ඇඟ ඇතුළෙන් ගමන් කරපු නිසා. මම ඒකෙ ඉන්ටෙන්සිටි එක- ඒ කියන්නෙ තීවෘතාව පාලනය කරපු නිසා ඔයාගෙ අස්ථි හරහා ඒ කිරණ ගමන් කළේ නෑ. ඒක නිසයි මේ විදියේ රිසල්ට් එකක් ආවේ." ජර්මන් කාරයා කියාගෙන එනකොටම අපෙ බුවෙක් පැනලා,

"ඇටේ තමයි. බලපන් මචං අපිත් හරි තැනකට තමයි ගොඩ බැහැලා තියෙන්නේ. මේ හලෝ. අපිව තම්බන්න හිතුවා මදි! ඉන්විසිබල් නේද? ඒ කියන්නෙ අදෘෂ්‍යමාන, අපි ඕවා විශ්වාස කරන්නෙ නෑ. තමුසෙ මහ බොරුකාරයෙක්නෙ ඕයි. ඕව කියනවා කොණ්ඩෙ බැඳපු චීනුන්ට!!"

පොරට අම්බානක සලකපු අපේ වීරයෝ දෙන්නා ආයෙත් මැෂිමට ගොඩ වෙලා 1608, නෙදර්ලන්තය ඩයල් කළා.

ඒ පාර මොන මඟුලක්ද? කණ්ණාඩි සාප්පුවක් ඇතුළේ.
පොරවල් දෙකක් බට, වීදුරු කෑළි අටවලා මොකද්ද අටවනවා.



"හෙලෝ, අළුත් කස්ටමර්ලා වගේ. මම හාන්ස් ලිපර්ෂයි, මේ මගේ බොක්ක, zසචාරියස් ජැන්සන්. මොකද කෙරෙන්න ඕනෑ."

"මේ මොකද්ද?"

"මේක තමයි ලෝකෙ පළමුවෙනි සංයුක්ත අන්වීක්ෂය. මේකෙන් ඔය දිලීර වගේ ක්ෂුද්‍ර ජීවීන් බලන්න පුළුවන්."

"ක්ෂුද්‍ර ජීවීන්?"

"ඒ කියන්නෙ?"

"ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් විශේෂයක්"

අපේ බුවෙකුට බකස් ගාල හිනායන්න ආවත් බොහොම අමාරුවෙන් හිනාව තදකරගෙන මෙහෙම ඇහුවා.

"හරි. ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවාමයයි කියමු. කොහොමද ඔප්පු කරන්නේ?"

හාන්ස් කියන පොර ඇතුළට ගිහින් ගෙනාවා දවස් ගාණකට කළින් කාල ඉතිරි වෙලා නොහෝදා තිබුණ පෘට් සැලඩ් කෝප්පයක්.

"බලන්න. මේක පුස් කාලා තියෙන හැටි. මෙහෙම වෙන්නෙ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා."

"ආ ඇත්තද?"  කෝචොක් හිනාවක් දාපු අපේ වීරයා

"දැන් මේකෙන් කොහොමද ක්ෂුද්‍ර ජීවීන් කියල කොටසක් ඉන්නව කියල ඔප්පු වෙන්නෙ?"

ඒ පාරනම් නෙදර්ලන්ත කාරයන්ට මළම පැන්නා.

"හරි පොඩ්ඩක් ඉන්නවකො ඕයි මේ මයික්‍රස්කෝප් එක හදාගන්නකම්. එතකොට තමුසෙටම බලාගන්න පුළුවන්."

"තමුසෙගෙ බඩකඩුත්තුව තියාගන්නව ඕයි. මෙතන කෙප්ප කෙළින්නෙ නැතුව. අපි යනවා."

ඒ පාර ඩයල් කළා 1620, ඉතාලිය. කෙළින්ම ඉතාලියෙ පීසා කුළුන පාමුල.
තව රැවුල්කාර පොරක්, පුළුන් රාත්තලකුයි, යකඩ රාත්තලකුයි උස්සගෙන කුළුන මුදුනට නගිනවා.



"ඒ ගැලීලියෝ ගැළලි." ළඟ හිටපු එකෙක් කිවුවා.
"ඔය දෙකම පොළොවට එන්න ගතවෙන්නෙ එකම කාලයක් කියලයි මිනිහ ඔප්පු කරන්න හදන්නෙ. ඒ කියන්නෙ ඇරිස්ටෝටල් කියපු 'බර එක කළින් එනවා' කියන එක බොරු කරන්න."

ටික වෙලාවකින් රැවුල්කාර පොර බිමට බැස්සා. කතාවෙන් කතාවෙන් අපේ බුවාල පොරත් එක්ක හෙනට ෆිට් උණා. මිහිනගෙ ගෙදර ඩිනර් එකකටත් අපේ බුවාට ඉන්විටේෂන් ලැබුණ.

මිනිහගෙ ගෙදරත් තිබුණ යකඩ බම්බුවකට වීදුරු කෑලි ගහල හදපු අමුතු බාණ්ඩයක්.



"ඕකට කියන්නෙ දුරේක්ෂය කියල. මම තමයි ඕක මේ තරම් දියුණු තත්වෙට ගෙනාවෙ."

"ඉතින් මොනාද මේ 'බම්බුවෙන්' කරන්න පුළුවන්?"

"ඇයි ලෝකෙ ගෝලාකාරයි කියන එක ඔප්පු කරන්න පුළුවන්."

"ලෝකෙ ගෝලාකාරයි? ඒ මොන කුණුහරුපයක්ද? මෙච්චර ලස්සනට පැතළියට තියෙන පොළොව ගෝලාකාරයි කියල මිනිහ කියන්නෙ. මාර පොරක්."

"ඒකට සෑහෙන කාලයක් මේකෙන් නිරීක්ෂණය කරන්න ඕනේ. ක්‍රි.ව. 1500දි විතර මැගලන් කියන පෘතුගීසිකාරයා ගියපු චාරිකාවෙන් ඒ සංකල්පය ඔප්පු වෙනව."



"ඒක කොහොමද එහෙම කියන්නෙ? කවුද දන්නෙ මිනිහ රවුමක් ගහල වෙන තැනකින් ගොඩ වුනාද කියල. ඒකට ලෝකෙ ගෝලාකාරම වෙන්න ඕන නෑනෙ." මෙහෙම කියපු අපේ පොර රතු පෑනක් අරන් මැගලන් ගියපු පාර මෙහෙම ලකුණු කළා. (ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ පොර මාක් කරපු සිතියම.)



කොහොමහරි ගැලීලියෝවත් මඥ්ඥං කරල අපේ වීරයො දෙන්න ආපහු යහතින් කාල යන්ත්‍රයට ගොඩ වුණා.

මේ පාර ගැහුව ලොකු අංකයක්. 1911 වගේ.

පොරක් චිත්‍රයක් දිහා බලාගෙන ඉන්නව මෙලෝ රහක් නැතුව. මැද රවුමකුයි, ඒක වටේ රවුමට යන මැස්සො වගේ.



"මේ පොරනම් කළින් උන්ට වඩා ඩීසන් විදියට ඇඳන් ඉන්නව නේද?" අපේ එකෙක් කණට කරල අනිකට කිවුවා.

"මොකක්ද ඔය?"

"මේක තමයි පරමාණුක ආකෘතිය."

"මොකක්?"

"පරමාණුව කියන්නෙ පදාර්ථයේ මූලිකම තැනුම් ඒකකය. මේ තියෙන්නෙ ඒකෙ ව්‍යුහය. මැද තියෙන්නෙ න්‍යෂ්ඨිය. ඒකෙ ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන තියෙනව. වටේට ඉලෙක්ට්‍රෝන කක්ෂවල යනව."

අපේ වීරයෙකුට බකස් ගාල සිනා යනව.

"ඔයා දැක්කද?"

"නෑ. නමුත් එහෙම බවට සාධක තියෙනව."

"කතා වැඩක් නෑ. ඔයා දැක්කද නැද්ද?"

"තාම ඉලෙක්ට්‍රන් මයික්‍රස්කෝප් එක හදල නෑ. හදපු දවසට...."

"බලමු නේද?"

"කොහේද යන පිස්සෙක්..." මෙහෙම කියාගෙන අපේ ඩබල මැෂිමට ගොඩ වුණා.

කැරකුවා මීටරේ ක්‍රි.පූ. 490ට. ඉන්දියාව. රාත්‍රී කාලය.
කහ රෙදි පොරවගත්ත මනුස්සයෙකුට එවැනිම පුද්ගලයෙක් දේශනයක් දෙනවා.

"අර අඹරේ දිලෙන තරුව බලන්න. ඒක එතැන මේ මොහොතේ තියෙනාවායැයි ඔබ සිතනවාද?"

"ඔව්. ඒක එතැන තියෙනවා."

"වැරදියි. ඒක දැන් එතැන නෑ. මීට වසර කිහිපයකට කළින් එය පුපුරා ගියා. දැන් එතැන ඇත්තේ පුපුරායාමට පෙර, අවසන්වරට ඉන් නිකුත් වූ ආලෝකය පමණයි."

මේක අහගෙන හිටපු අපේ පොරක් මෙහෙම කියන ගමන් යානයට ගොඩ වුණා.

"මුන් ඔක්කොටම පිස්සු. මෙච්චර යස අගේට දිලිසි දිලිසි පේන තරුව අවුරුදු ගාණකට කළින් පිපුරුවලු!."

"පිස්සු හැදෙනවා. අනේ අම්මපා, මේ පට්ට කෙබර විශ්වාස කරන මෝඩයනුත් ඉන්නවානේ. ඒ අතින් අපි කොච්චර බුද්ධිමත්ද? "

22 comments:

  1. ‍මේ‍කෙ අරමුණ ‍භෞතිකවාදීන්ට ගැහීම නං වැ‍ඩේ අසාර්ථකයි. මීට වඩා ‍හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න ‍වෙනව.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ මතයට විරුද්ධව ලියැවෙන ලිපි දුර්වලයි, අසාර්ථකයි කියන එක දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා. තව අය ඔය වගේ කතා කිවුව මීට කළින් පෝස්ට් එක ගැන, අම්බලම ෆේස්බුක් සමූහයේ. හැබැයි හේතු ඇහුවම සමහරුන් හිරවෙනව. මොනව වුනත් ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
    2. 1.//තමන්ගෙ මතයට විරුද්ධව ලියැවෙන ලිපි දුර්වලයි, අසාර්ථකයි කියන එක දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා//
      දැං ඔයා දන්නවද ම‍ගේ මතය ‍මොකද්ද කියල? ඒක උපකල්පනය කල හැටි කියන්න ඉස්‍සෙල්ල.

      2.මම ‍භෞතික වාදි‍යෙක් ‍නෙ‍වේ, නිර් ආගමික‍යෙකුත් ‍නෙ‍වේ. හැම මගුලම බටහිර විද්‍යා‍වෙන් ඔප්පු කරල ‍‍‍පෙන්නන්න ඕන කියන මත‍යේත් නෑ.

      3.විද්‍යාවට හසු ‍‍නොවන ‍දේවල් ඕන තරම් ති‍යෙන්න පුළුවන් කියලත් විශ්වාස කරන ‍සහ මනස විවෘතව තියා‍ගෙන ඉන්න ‍කෙ‍නෙක්.

      4.ලිපිය අසාර්ථකයි කිව්‍වෙ අසාර්ථක නිසා. දහය වස‍රෙ විද්‍යාව ඉගනගන්න ළමයින්ට නං ‍හොඳයි. ඔබතුමා ඊට වැඩිය ඉගන‍ගෙන තියන ‍කෙ‍නෙක් නිමා මම මීට වැඩි ‍දෙයක් බලා‍පොරොත්තුවුනා.

      5.බුද්ධාග‍මේ ‍දේවල් විද්‍යා‍වෙන් ඔප්පු කරන්න හැදීමත්, විද්‍යා‍වෙන් ඔප්පු කල ‍නොහැකි දේවල් වලට ‍මේව‍ගේ තර්ක ‍ගොඩනැඟීමත් ආගම ප්‍ර‍මෝට් කරන්න විද්‍යාවට ගැරහීමත් කරන්නන් මට අනුව නං ‍තේරුමත් නැති ‍දේවල්.

      Delete
    3. 1. එය අදහස් දැක්වීමක් පමණයි. ඔබ එම කැටගරියට අයත් යයි මා කියා නෑ. එවැන්නක් හැඟී ගියා නම් සමාවන්න.
      2,3. ඒ ගැන සතුටුයි.
      4. මම ලියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටනේ රාජ්.
      5. ඒ ඔබේ අදහස. ඔබට එවැනි අදහසක් දරන්නට අයිතියක් තිබෙනවා. මම ඒ අයිතියට ගරු කරනවා.
      මගේ පෞද්ගලික මතයත් එයම විය යුතුයි කියා දෙයක් නැහැ නේද?
      බුදු දහම සහ විද්‍යාව අතර සම්බන්ධය මා විද්‍යාත්මක දර්ශනය උගත් අබෞද්ධ හා නිර්-ආගමික සංදර්භයේදී සාකඡ්ඡාවට ගැණුනා. මගේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරුන් අබෞද්ධයින්. විද්‍යාඥයින් අතරේ බෞද්ධ දර්ශනය ගැන කතිකාවක් තිබෙනවා.
      ඒ නිසා එහි වරදක් මා නම් පෞද්ගලිකව දකින්නේ නෑ.
      මා විද්‍යාවට ගරහනවා කියන එකට නම් එකඟ වෙන්න බෑ. මා විද්‍යාවේ ප්‍රගමණයට දිවි හිමියෙන් කැපවූ අයෙක්. මා මහාචාර්ය නලින් ගේ අනුගාමිකයෙක් නොවෙයි. (ගොඩක් අයට මාව රුවිතෙට පේන්න එහෙම ආකල්පයක් ඇතිවීම බලපාලා තියෙන හැඩයි.) විද්‍යාවට දැඩි ලෙස ආදරය කරන කෙනෙක්. එයින් හම්බුකරගෙන කන කෙනෙක්. එයට එරෙහි නෑ. එකම දේ බටහිර විද්‍යාව තවමත් පරිපූර්ණ වෙමින් පවතින්නක් බව පිළිගැනීම.

      Delete
  2. භෞතිකවාදීන්ට නෙලීම කෙසේ වෙතත් මේක ලිව්ව කෙනා තමන්ගේ බුද්ධි මට්ටමනම් අපූරුවට පෙන්නලා තියෙනවා. මාරයි සෑර්! ඔයා මාරයි!

    ReplyDelete
  3. මේ‍කෙ අරමුණ ‍භෞතිකවාදීන්ට ගැහීම නං වැ‍ඩේ අසාර්ථකයි. මීට වඩා ‍හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න ‍වෙනව.x 2
    අද කාලේ මිනිස්සු ආගමේ නාමෙන් නටන නාඩගම් දැක්කම නිරාගමිකයෝ බිහිවෙන එක හොඳයි කියල මට හිතෙනවා.විශේෂයෙන්ම අදෘශ්‍යමාන බලවේග පස්සේ යන හැටි බැලුවාම.
    අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන අය එහෙම දෙයක් ගැන අත්දැකීමක් ලැබුනොත් ඒක විශ්වාස කරන්න පටන් ගනීවි.එතකල් ඔය ඉන්න හැටියට හිටපුවාවේ.අනිත් මිනිස්සුන්ට කරදයක් නැත්නම් ඒ මිනිස්සු මොනා විශ්වාස කලත් අපේ මොකෝ.
    ෂර්ලොක් හෝම්ස් පොතක තිබුන දෙයක් මෙතෙන්ටත් ගැලපෙනවා කියල මම හිතනවා.

    "ඔබ කියනවා පොලොව ඉර වටේ යනවලු.පොලොව ඉර වටේ ගියත් හඳ වටේ ගියත් මටවත් මගේ වැඩ වලටවත් පැන්සයක වාසියක් සිදු වෙන්නේ නෑ.ඒ නිසා මම දැන් උත්සාහ කරන්නේ ඒ දේ දැනගත්ත වුනත් අමතක කරලා දාන්න.මොකද මට මතක තියාගන්න ඊට වඩා දේවල් තියෙනවා"

    අදෘශ්‍යමාන බලවේග ගැනත් ඔය ටික තමා කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අද මිනිස්සු ආගමේ නාමයෙන් පිස්සු නටනවා කියන එක ඇත්ත. නක්ෂ්ත්‍රය, දේව ඇදහිලි, යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් ආදිය නේ ඔය කියන්නේ. ඒත් ඔය කියන එකක්වත් පිරිසිදු බෞද්ධ දර්ශනයට අයත් නෑ.
      පෞද්ගලිකව මට අදටත් කේන්ද්‍රයක් නෑ. නක්ෂත්‍රය ගැන කිසිදු විශ්වාසයක් නෑ. විෂ්ණු, කතරගම, නාථ, ගැටබරු, කාලි ආදී බෞද්ධ-අබෞද්ධ කිසිදු දෙවියකු මා අදහන්නේ නෑ. යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් ගැනත් කිසිම විශ්වාසයක් නෑ. කොටින්ම බෝධි පූජා, පාලි ගාථා, ස්ත්‍රෝත්‍ර හඬනගා ගායනා කර සෙත් ශාන්ති පැතීම ගැනත් මා තුළ විශ්වාසයක් නෑ. සරලවම කිවහොත් මා සම්ප්‍රදායික බුද්ධාගම් කාරයෙක් නොවෙයි. බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක්.
      අදෘෂ්‍යමාන බලවේග ගැන මා තුළ ඇත්තේ ඇල් මැරුණු ආකල්පයක්. ඊට වඩා මා විශ්වාස කරන්නේ මා තුළින්ම සංවර්ධනය කරගත හැකි අධ්‍යාත්මික දියුණුවක්.
      මා බටහිර හා පෙරදිග දර්ශනය හදාරා තිබෙනවා. දර්ශනයක් ලෙස බෞද්ධ දර්ශනයට අබෞද්ධ (හා නිර්-ආගමික පවා) දාර්ශනික විද්වතුන්, ජාත්‍යන්තර තලයේ විද්‍යාඥයින් අතරේ පිළිගැනීමක් තිබෙනවා.
      නමුත් ලංකාවේ මා දකින නිර්-ආගමිකයින් තරමක් අන්තවාදීයී. කෙනෙකුට කැමති ආගමක් ඇදහීමට මෙන්ම කැමතිනම් නො-අදහා සිටින්නත් අයිතියක් තිබෙනවා. ඇත්ත. නමුත් එය එසේය කියා අන් ආගම්වල අයට හෝ කුමක් හෝ ආගමක් අදහන අයට අවමන් කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. ලංකාවේ නිර්-ආගමික අය හැසිරෙන්නේ ආගම් අදහන අයගේ සිත් රිදෙන ලෙසට. මීට පෙර පෝස්ටුවේ ඇති ග්‍රැෆික් එක බලන්න. එය සැර අඩුම එකක්. මෙවැනි දේට විශාල ප්‍රචාරයක් දීම මගින් මොවුන් බලාපොරොත්තු වන්නේ නිර්-ආගමික සංකල්පය බලෙන් ඇඟේ ගැසීමටයි. ඒ ගමන්ම නිර්-ආගමිකයින් අන් අයට වඩා බුද්ධිමතුන් යයි හැඟවීමට මොවුන් යත්න දරනවා. වෙනත් වචන වලින් කියනවා නම් ආගමක් ඇදහීම මෝඩකමක් දෙසටයි මොවුන් අර්ථ දර්ක්වන්නට හදන්නේ. (වැඩිය ඕනෑ නෑ. මීට කළින් කමෙන්ටුව බලන්නකෝ.). තමන්ගේ මතවාද හරි හෝ වැරදි හෝ වේවා, අනුන්ගේ ඇඟේ බලෙන් ගැසීම බලහත්කාරකමක්. මා පෙනී සිටියේ ඒ වෙනුවෙන්.
      මෙහි අරමුණ පළියට පළිය ගැනුම හෝ හේතුවාදීන්ට පහර ගැසීම නොවේ. කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු තිබෙන බව පෙන්වා දීම පමණයි. මොකද නිර්-ආගමිකයන් / හේතුවාදීන් හැසිරෙන්නේ ඔවුන් සර්වඥ ලෙස. ඒ කියන්නේ පරම සත්‍යය අවබෝධ කරගත් ලෙස. තමන් සර්වසම්පූර්ණයි, 100% හරි මතවාදයක සිට්නවා කියා ඔවුන් අධිමානයක සිටිනවා.
      ඒ සඳහා මා ඔවුන්ගේ ප්‍රබලම නිර්ණායකයේ ඇති අඩුපාඩුවක් පෙන්වා දෙන්නට උත්සාහ කරනවා. ඒ තමයි "විද්‍යාත්මක උපකරණ වලට හසු නොවන සෑම දේම මිථ්‍යාවක්" යන ඔවුන්ගේ තර්කය සෑම විටම නිවැරදි නොවන බව.
      මගේ තර්කය, ඇතැම් සංසිද්ධි භෞතික ගතිගුණ මත පදනම්ව පාඪාංක පෙන්වන උපකරණවලට අසු නොවිය හැකි බවයි. වෙනත් අයුරකින් කියනවානම්, යමක් ග්‍රහණය කරගන්නට දැනට තිබෙන උපකරණවල සංවේදීතාව ප්‍රමාණවත් නොවීම.
      එනම්, යමක් උපකරණවලට හසු නොවන පමණින් එය නොපවතී යයි කීම නිවැරදි නැහැ. ඔබ දන්නවා ඇති පරමාණුව තුළ ඇති තව අංශුවක් වන 'හිග්ස් බෝසෝනය' මේ මෑතකදී සොයාගත් බව. නමුත් එහි සංකල්පය, මෙවැන්නක් පැවතිය හැකි බවට අනාවැකි පළවී තිබුණා. මේ ආකාරයෙන්, නවීන විද්‍යාව කියන්නේ දචසින් දවස වෙනස් වන දෙයක්. එහි වත්මන් දියුණුව මතින් බිහිවූ උපකරණ යොදාගෙන යමක් හරියටම ඇතැයි හෝ නැතැයි කිව නොහැකියි. මෙය පුනර්භවය, නිවන ආදී සංකල්ප වලට අදාලයි. හරියටම විද්‍යාත්මකව ඔප්පු කරන තුරු කෙනෙකුට ඒ සංකල්ප පිළි නොගෙන සිටීමට අයිතියක් තිබෙනවා. නමුත් 'නැහැ' කියන අවසන් නිගමනයකට එලැඹීම වැරදියි. මා ඉලක්ක කරන්නේ එවැනි 'අනිවාර්යයෙන්ම නැහැ' කියන දැඩි මතයේ ඉන්න අන්තගාමීන් පමණයි. 'ඔප්පු කළොත් පිළිගන්නම්කෝ' කියා විවෘත මනසින් ඉන්න අය නොවෙයි.
      හෝම්ස් ගේ කතාව ගැන කියන්නට තිබෙන්නේ නිරුත්සාහයෙන්ම ලැබෙන දැනුම ප්‍රතික්ෂේප කිරීම වර්තමානයට ගැලපෙන ප්‍රවේශයක් නොවන බවයි. කෙළින්ම කියනවා නම් එය "මොළයේ මතක ධාරිතාව ඉතාම සීමිතයි" යන යල් පැනගිය පසුගාමී මතයට සහය දෙන්නක් මිස අසීමිත දැනුම කේන්ද්‍ර කරගෙන සීඝ්‍ර ප්‍රගමණයක් පතන ප්‍රවණතාවයට අනුකූල වන්නක් නොවේ.

      Delete
  4. ඔයා කියන්න යන දේ අපිට පැහැදිලි නැහැ.. ඔයාට ඕනි බූතයො ඇත්ත කියන්න නම් බූතයෝ ඕනි තැනකදි අපිට ඕනිම කාලයකදි අකාලික වෙන්න ඕනි..

    නිව්ටන්ගේ ඇපල් ගෙඩි එදා වගේම අදත් වැටෙනවා.. ගැලිලියෝ බිම දැම්ම මලු තාමත් ඒ විදියට වැටෙනවා.. කිරණ වලින් ඇමරිකාවෙදි වගේම ලංකාවෙදිත් මිනිස්සුන්ට තුවාල කරන්න පුලුවනි. නමුත් ආගමික මත හා සම්බන්ධ දෙයි ගොල්ලා සහ බූත ගොල්ලා සම්බන්ධ මත එහෙම ලෝකෙ ඕනි තැනකදි සනාථ කරන්න බැහැ....

    ඔබ විස්වාස කරන දෙවියන් හෝ ඔබ විස්වාස කරන දහම කුමක්ද කියලා මේ වගේ ලිපියක් දැම්මොත්..අපිට පුලුවන් එය බොරු කියලා පෙන්වන්න. එහෙම නැතුව ඔබ කියන්නා වගේ තැනින් තැන බයිලා ටිකක් එහෙම නෛමෙයි මොහමයි කියලා කියන්න අපි නාස්ති කරන යුනිකෝඩ් අපරාදෙ...

    දැන් ඔය ලෝකෙම සත්‍යයි කියන බුදුදහම ඇතුලෙ ත්‍රිපිටකේ අස්සෙ තියනවා ඇත්ත.. නමුත් ත්‍රිපිටකේ බාගයයකට වඩා තියෙන්නෙ බොරු... ඒ බොරු ප්‍රමාණෙ ප්‍රතිශතයක් විදියට ගත්තොත් නිව්ටන් අයින්ස්ට්යින් ගෙ පොත්වල තියෙන බොරු වලට සහ විශ්වාස කල නොහැකි කාරණා වලට වඩා බොහොම වැඩියි...

    සනාතන සත්‍යන් සහිත තියරි ලෝකෙ කොහෙවත් නැහැ.සුලු වැරදි තිබෙනවා.. උදාහරණ විදියට ටයිම් මැසින් එක හැදුවෙ නැති වුනාට ටයිම් මැෂින් කියලා තියරියක් තිබෙනවා.. ඒ ඔක්කොම ඒ විදියටම සනාථ කරන්න බැහැ.

    ආගම් වල අරහෙම මෙහෙම වුනා කියනකොට ඒක සර්ධාව අස්සෙ හංගල රෙද්ද අස්සෙ ගහගන්නවා වගේ සරලව විද්‍යාත්මක දෙයක් ඔලුවට දාගන්න බැහැ. ඒකට විද්‍යාත්මක චින්තනය කියන එක තිබෙන්ට ඕනි.. කොයි තරං ලංකාවෙ විද්‍යාව ඉගැන්නුවත් ඕක නැති නිසා තමයි රාවනා..පිළිකා හොද කරන සිංහල බෙහෙත්,...බූත බලයෙන් අනාගතය කියන පොරවල් ..ආදි මිත්‍යා මත විටින් විට කරළියට එන්නෙ..

    ReplyDelete
    Replies
    1. ප්‍රමුදිට මම දීපු උත්තරය බලන්න.

      Delete
    2. ඒ උත්තරේ දිග වැඩියි සෑර්. ප්‍රමුදි මොබිටෙල් ඇම් ටැක්සියකින් ගිහිල්ල ඒ ටික කියවන්න තාම ඇවිත් නෑ. බැරිද සෑර්ට මේ අපි වගේ නූගත් එවුවන්ට කියවන්න ලේසි වෙන්නත් එක්ක ඒ කමෙන්ට් එක කෑලි කීපයකට කඩල දාන්න

      Delete
    3. භූතයන් ගැන මගේ මතය මෙච්චරයි:
      එහෙම අය ඉන්නත් පුළුවන්. නොඉන්නත් පුළුවන්. හිටියත් නැතත් මට ඔවුන්ගෙන් වැඩක් නෑ. නක්ෂත්‍රය, වෙනත් අත්භූතබල වගේම මගේ ඔවුන් ගැන ආකල්පය ඉතාම ඇල්මැරුණු එකෙක්.
      හැබැයි ෂුවර් එකටම නෑ කියන එකට මම එකඟ නෑ. ඉන් අදහස් වෙන්නේ නෑ මම උන් ෂුවර් එකටම ඉනව්ව යයි විශ්වාස කරන බව. එයයි ඔබ හා මගේ වෙනස.
      කවුද දන්නේ දැනට අපේ තියෙන උපකරණවල දියුණුව මදිද කියා උන් ග්‍රහණය කර ගන්නට. දෙවියන් ගැනත් මගේ ආකල්පය එයමයි. මා විශ්වාස කරන්නේ දෙවියන් (ඇත්තටම ඉන්නවානම්) ඔවුන් අත්භූත බල සහිත කොටසක් නොව, යම් ජීවී කොඨ්ඨාශයක් විය යුතුයි.
      රාවණා, පිළිකා සුව කරන බෙහෙත්, අත්භූත බල වලින් අනාගතය කීම මිථ්‍යාවන් වීමට තිබෙන සම්භාවිතාව ඉතාම ඉහළයි කියන මතයේ තමයි මමත් ඉන්නේ.
      මෙයිනුත් අත්භූත බල වලින් අනාගතය කීම අනිවාර්යයෙන්ම මිත්‍යාවක්.

      Delete
  5. මේක ඔහේගේ නිර්මාණයක් නම් මට කියන්න තියෙන්නේ පට්ටයි කියන එක. ඒත් ඉතින් කියපු පලියට විශ්වාස කරන්න බෑ කිසිම දෙයක්. ඔප්පු කරොත් පිළිගන්න පුළුවන්.. මම දැන් කියනවා තව අවුරුදු දෙකකින් මේ ළෝකය, වෙනත් ළොකයකින් ආක්‍රමනය කරනවා කියලා. ඉතින් ඕක පිලිගන්න එකාට කියන්නේ පිස්සෙක් කියලද බුද්ධිමතෙක් කියලද.

    නැත්නම් මෙහම කියනවා. මට කතරගම් දිවියෝ කිව්වා එයා ලබන සෙනසුරාද, හැන්දෑවේ පූජාවට දේවාලෙට එනවා. පඬුරුවලට තියන ඒවා ද ගුණයකින් වැඩි කරලා දෙනවා කියලා. හිතාගන්න පුළුවන්ද දේවාලේට එන ඉන්කම් එක. දැන් මේ දේ වෙන්න බැරිද.. එතකොට ඒක පිලිගන්න එකාට කියන්නේ පිස්සෙක් කියලද.. වෙන මොකක් හරි කියලද.. කරුමෙට හරි ආවා.. කින්ඩිය දාපු උන්ට මොකෑ වෙන්නේ.. ඒ නිසා ඇවිත් බෙදනකන් මම නම් පිලිගන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරනකම් විශ්වාස කරන්න කියලා මම කියන්නේ නැනැ. ප්‍රමුදිට මම දීපු උත්තරය බලන්න.
      //යමක් උපකරණවලට හසු නොවන පමණින් එය නොපවතී යයි කීම නිවැරදි නැහැ. ඔබ දන්නවා ඇති පරමාණුව තුළ ඇති තව අංශුවක් වන 'හිග්ස් බෝසෝනය' මේ මෑතකදී සොයාගත් බව. නමුත් එහි සංකල්පය, මෙවැන්නක් පැවතිය හැකි බවට අනාවැකි පළවී තිබුණා. මේ ආකාරයෙන්, නවීන විද්‍යාව කියන්නේ දචසින් දවස වෙනස් වන දෙයක්. එහි වත්මන් දියුණුව මතින් බිහිවූ උපකරණ යොදාගෙන යමක් හරියටම ඇතැයි හෝ නැතැයි කිව නොහැකියි. මෙය පුනර්භවය, නිවන ආදී සංකල්ප වලට අදාලයි. හරියටම විද්‍යාත්මකව ඔප්පු කරන තුරු කෙනෙකුට ඒ සංකල්ප පිළි නොගෙන සිටීමට අයිතියක් තිබෙනවා. නමුත් 'නැහැ' කියන අවසන් නිගමනයකට එලැඹීම වැරදියි. මා ඉලක්ක කරන්නේ එවැනි 'අනිවාර්යයෙන්ම නැහැ' කියන දැඩි මතයේ ඉන්න අන්තගාමීන් පමණයි. 'ඔප්පු කළොත් පිළිගන්නම්කෝ' කියා විවෘත මනසින් ඉන්න අය නොවෙයි.//

      Delete
  6. අම්මප සෑර් මගෙ ඔලුව දෙපැත්තෙන් කසනව . . . අං එන්නද කොහෙද

    ReplyDelete
  7. ඔබ භෞතිකවාදය කියන්නේ මොකක්ද වත්ව් තෙරුන් අරගෙන නැහැ වගේ. භාව්තිකවාදය කියන්නේ ශරීරයට නොදැනෙන, මැනිය නොහැකි දේවල් විශ්වාස නොකිරීම නම් බුද්දි ගෝචර, තර්කයෙන් පහදිහිලි කළහැකි දේවල් භෞතික දේවල් නෙනෙඉද?

    ReplyDelete
    Replies
    1. අන්න එර්ක තමයි මාත් කිව්‍වෙ ලිපිය අසාර්තකයි කියල. අල්ලගත්ත තැන වැරදියි. ‍භෞතිකවාදීන් කියන්‍නෙ කවුද කියල ඉස්‍සෙල්ල නිර්වචනය කර ‍නො‍ගැනී‍මේ වරද!

      Delete
  8. මේ වගේ දේවල් ගැන ලියන්න කලින් ටිකක් හැම පැත්තම ගැන හොඳට දැන ගෙන ලියන එක තමා වඩා හොඳ... මොකද ඔබ ඉන්නෙත් එක දැක්මක.. ඔබ ඉන්න දැක්මට සාපේක්ෂව අනිත් අය ලෝකය දකින අදහන විදිය නිර්වචනය කරන්න කලින් ඔබට හිතන්න වෙනවා මම මේ ඉන්න දැක්ම කොහොමද අනිත් අයට වඩා හොඳ එකක් වෙන්නේ කියන එක.. ඔබ ලෝකය දකින විදිය තව පුළුල් වෙච්ච කාලෙක සමහර විට ඔබ ඔය බිඳ දමන්න හදන තර්ක ඔබම හිස මුදුනින් තියාගෙන පිළිගනියි... මේ ගත්ත උදාහරණ වලින් ඔබ කරන්න හදන පැහැදිලි කිරීම නිකන් ජෝක් එකක් වෙලා විතරයි...

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුතියි.
      //මේ වගේ දේවල් ගැන ලියන්න කලින් ටිකක් හැම පැත්තම ගැන හොඳට දැන ගෙන ලියන එක තමා වඩා හොඳ...මොකද ඔබ ඉන්නෙත් එක දැක්මක.. ඔබ ඉන්න දැක්මට සාපේක්ෂව අනිත් අය ලෝකය දකින අදහන විදිය නිර්වචනය කරන්න කලින් ඔබට හිතන්න වෙනවා මම මේ ඉන්න දැක්ම කොහොමද අනිත් අයට වඩා හොඳ එකක් වෙන්නේ කියන එක..//
      ඒ අවවාදය නම් මම පිළිගන්නවා.
      //ඔබ ලෝකය දකින විදිය තව පුළුල් වෙච්ච කාලෙක//මගේ ලෝකය පිළිබඳ දැක්ම පුළුල් එකක් නොවන්න පුළුවනි. ඇත්ත. මොකද මනුෂ්‍යයෙක් මැරෙන්තුරුම ඔය දැක්ම කියන එක පුළුල් වෙනවානේ ජීවන අත්දැකීම්, ලබන අධ්‍යාපනය එක්ක..ඔව්. මා මගේ උපරිමයට තවමත් ළඟා වී නැහැ. නමුත් ඔබ කතාකරන විදියෙන් හැඟී යන්නේ ඔබේ දැක්ම මගේ දැක්මට වඩා පුළුල් යයි ඔබ අවසන් නිගමනයකට එලැඹ ඇති අයුරිනුයි. ඒ නිගමනයට පැමිණි අයුරු පැහැදිළි කරන්න පුලුවන්ද? (අභියෝග කිරීමක් හෝ අවඥාවට ලක්කිරීමක් නොවෙයි, අවංක හා කාරුණික ඉල්ලීමක්.)
      //මේ ගත්ත උදාහරණ වලින් ඔබ කරන්න හදන පැහැදිලි කිරීම නිකන් ජෝක් එකක් වෙලා විතරයි...//වෙන්න පුළුවනි. එය ඔබේ අදහස. එම අදහස් දරන්න ඔබට අයිතියක් තිබෙනවා. නමුත් ඔබේ (හෝ මගේ) අදහස පමණක් නිවැරදියයි කිවහැක්කේ කෙසේද? වෙනත් කෙනෙකුට වෙනස් අදහසක් දැරිය හැකියි. මෙහි අදහස් දක්වන හැමෝම (මමද ඇතුළත්ව.) තමන්ගේ මතය අමණක් නිවැරදියි කියන මතයේ ඉඳගෙන තර්ක කරන අය. කවුරු හරි කියා කවුද දන්නේ?

      Delete
    2. පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි නැති සංකල්ප විශ්වාස කරන අය ඔබට ජෝක් එකක්.
      මේ ලෝකේ හැම සංසිද්ධියක්ම විද්‍යාවෙන් ඔප්පු කළයුතුයි, නොහැකිනම් එය අනිවාර්යයෙන්ම මිත්‍යාවක් යයි කියන අය මට ජෝක් එකක්.
      හැමදෙයක්ම සාපේක්ෂයි සහෝදරයා. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ. නමුත් සමහරු කරාකරන්නේ සිදත්ලා (සියලු දේ දන්නා, අතිශය පුළුල් කෝණ වලින් ලෝකය දකින.) වගේනේ.

      Delete
  9. ඔබ කිව්ව විදියට අපි හැමෝම අපේ මත වල ඉන්නවා... ඔබ මේ ලියු ලිපි කිහිපය තුලම සඳහන් වෙච්ච කරුණු මිනිසුන් බොහෝ කාලයක් තිස්සේ වාද විවාද වලට මුලික කරගත්ත කරුණු... ආගමික, නිර් ආගමික, භෞතික වාදී ,හේතු වාදී මෙකි නොකී හැම අයම බොහෝ කාලයක් තිස්සේ මේ කරුණු ගැන වාද විවාද කරලා තියෙනවා.. හැබැයි මේ වෙනකම් ඔය එක පැත්තක් වත් දිනලා නෑ... ඒ කියන්නේ ඔය පැති හැම එකකම සත්‍යතාවයන් තියෙනවා.. කෙනෙක් ආගමික වෙන්නෙත් නිර් ආගමික වෙන්නෙත් තම තම නැණ පමණින් එක තේරුම් ගන්න විදියට...

    ඔබගේ දැක්ම පුළුල් වෙනකොට ඔබගේ අදහස් වෙනස් වෙන්න පුළුවන් කියන එක මම කිව්වේ මම සියල්ල දන්නා නිසා නෙවෙයි... ඔබට වඩා වෙනස් විදියේ කෝණ වලින් මම ලෝකය දකින නිසා... ඒවා ඔබ දකින එකට වඩා හොඳයි කියන එක නෙවෙයි මගේ මතය.. ඒක වෙනස් කියන එක... ඒ විදියේ වෙනස් කෝණ වලින් අපි ලෝකය දකින කොට අපි දැන් එල්බගෙන ඉන්න සමහර මත වල තියෙන අඩුපාඩු අපිට පෙන්න පටන් ගන්නවා... සමහර විට අලුත් මතයට වඩා පරණ මතය හරි කියන දේ අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න අපි එහෙම විවිධ මත වලින් ලෝකය බලන්න තරම් නිහතමානි වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. කොන්දේසි විරහිතව එකඟයි.

      Delete
  10. මට නම් මෙක අසාර්තකයි කියල හිතෙන්නෙ නෑ. ඔබට අනිවාර්යෙන්ම මෙහි දක්වලා තියෙනවට වඩා විද්යාව පිලිබද දනුමක් තියෙනවා. ඊත් මෙහෙම සරලව දක්වලා තියෙන්නෙ හමොටම තීරුම් ගන්න පුලුවන් විදියට වෙන්නත් ඔනි. මට නම් ඔබෙ ලිවීම සාර්තකයි.

    ඔබ බුද්දාගම අන්දානුකරනයෙන් අදහන් නති බව හොදටම තේරෙනව. බෞද්ද දර්ශනය තෙරුම් ගෑනීම සහ බුද්දාගම ඈදහීම අතර ලොකු වෙනසක් තියෙනව.

    මෙ පොස්ට් එකට මම comment කරා පරක්කු wedi ඈති. :) එත් comment නොකර ඉන්න හිතුනෙ නෑ..

    ReplyDelete