Friday, September 4, 2015

දෙමළු...

වස කම්මැලිකමෙන් මං උදේ නැගිටිනකොට 'මචං යූ ප්‍රිෆර් ටී ඕර් කොෆී?' කියල අහල තාමත් නිදි මරගාතෙ ඉන්න මගෙ අතට 'බෙඩ් ටී' එක දෙන එකා දෙමළෙක්.

ටික වෙලාවකින් උදේ කෑමට කැන්ටිමට එනව. "සර් මොනවද?" කියල අහල කන බොන ජාති ස්ටාෆ් ටේබල් එකටම ගෙනත් දෙන එකා දෙමළෙක්.

ඊට පස්සෙ ඔෆිස් එකට එනව. මාව දැකල දෙයියො බුදුන් දැකල වගෙ අතුගගා හිටපු කොස්ස කෙළින් කරල අල්ලගෙන එකත්පසක්ව පැත්තකට වෙලා යටහත් පහත්ව "ගුඩ් මෝර්නින්ග් සර්" කියන ගෑණි දෙමළියක්.

ඒ වෙනකොටත් මගෙ ප්ලාස්ක් එකේ උණුකරල නිමපු වතුර පුරවල. ඒත් වැඩි වෙලාවක් යන්න කළින් මම වතුර සේරම බීල ඉවර කරනව. එතකොට "සර් වතුර ඕනෙද" අහල අල්ලපු බිල්ඩින් එකට දුවල ඉක්මනට වතුර උණුකරල නිමල ගේන ගෑණි දෙමළියක්. 

රාජකාරි වැඩකට ඇඩ්මින් බිල්ඩින් එකට ගියාම හැමදේම හොයල බලල උදවු කරන Assistant Registrar දෙමළෙක්.

උදේ 10 ටයි හවස 3.30 ටයි අපිට තේ හදල බොහොම ගෞරවයෙන් පිළිගන්වන්නෙ දෙමළියක්. කොටින්ම අපි බීපු තේ කෝප්පෙ පවා හෝදන්නෙ දෙමළ ගෑණියෙක්.

ඔෆිස් එකේ වැඩයි පී.එච්.ඩී එකේ වැඩයි වැඩිවෙලා ස්ට්‍රෙස් උනාම මගේ වැඩත් එක්ක අදින්නෙ දෙමළෙක්.

මං කෑවද, බීවද, බෙහෙත් බිව්වද, මේ හැම එකක්ම සහෝදරයෙක් වගේ හොයා බලන්නෙ දෙමළෙක්.

"අයියා. ගෙදර අය බලන්නෙ නැතුව පාළුයි." කියල තමන්ගෙ දුක මාත් එක්ක බෙදාගන්න ජූනියර් ලෙක්චරර් දෙමළ කෙල්ලක්.

කොණ්ඩෙ වැවිල වැඩියි කියල හිතුනම හවසට ටවුන් එකට යනව. ටවුමට යන බස් එකේ කොන්දොස්තර දෙමළෙක්.
සැලූන් එකේදි මගේ කොණ්ඩෙ කපන්නෙ දෙමළෙක්.
ආපහු එන ත්‍රීවීල් එක එළවන්නෙ දෙමළෙක්.

"මගෙ වෙඩින් එකට 'සුනිත්' එන්නම ඕන කියල" ඔෆිස් එකටම ඇවිත් ඉන්විටේෂ්න් එක දීල, මං ඒ වෙනුවෙන් යාපනේ ගියාම මගේ අත මිරිකල තදින් බදාගෙන වැළඳගත්තෙ දෙමළෙක්.

ඒ යන ගමනෙදි මට සත 5ක් වියදම් කරන්න දෙන්නෙ නැතුව, නැවතුන තැනදි මදුරුවෙකුටවත් මට ළං වෙන්න නොදී, ළිඳෙන් වතුර අදින්නවත් දෙන්නෙ නැතුව මාව පොඩි එකෙක් වගේ පරිස්සමින් බලාගත්ත එකා දෙමළෙක්. 

මේ දැනුත් කෑමට යන්න මගේ වැඩ ඉවරවෙනකම් බලාගෙන ඉන්න එකා දෙමළෙක්.

දැන් ඔබට තිබෙන සාධාරණ ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්නම්.

Q. උඹ/මල්ලි/අයියා/සර් වැඩ කරන්නෙ තමිල්නාන්ඩුවෙද / තූත්තුකුඩියෙද?
A. නෑ මචං/මල්ලි/අයියා/පුතා. මේ සිරි ලංකාවෙ බදුල්ලෙ. පහසුකම් නම් තූත්තුකුඩියෙ වගෙ තමා. ඒත් මේකත් ලංකාව ඇතුළෙම තියෙන පුහුලමක් තමා.

Q.ප්‍රභාකරනුත් දෙමළෙක්නේ?
A. ඔව්. දෙමළෙක් විතරක් නෙවෙයි නොම්මර එකේ ත්‍රස්තවාදියෙක්.
Q. 'ත්‍රස්තවාදියා' යන වචනයට ඔබ දෙන නිර්වචනය කුමක්ද?

A. නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන, එසේ කරන්නට සැලසුම් කරන හෝ අනුබල දෙන ඕනෑම එකෙක් (මොන ජාතියේ වුනත්) ත්‍රස්තවාදියෙක්.

9 comments:

  1. රෙස්පෙක්ට් බං.උඹ නියම ලාංකිකයෙක්.

    ReplyDelete
  2. ත්‍රස්තවාදියෙක් කියන්නෙ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන, එසේ කරන්නට සැළසුම් කරන හෝ අනුබල දෙන එකෙක් නෙවෙයි මචං පුතා මල්ලි අයියෙ.
    ත්‍රස්තවාදියෙක් කියන්නෙ තමන්ගෙ පෞද්ගලික හෝ සාමූහික අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා අන් අය තර්ජනයෙන් හෝ ප්‍රහාරයෙන් හෝ බියට (ත්‍රස්තයට) පත් කරන එකාට.
    ත්‍රස්තයා කියන්නෙ බියට පත් වූ එකාට. (සමහර අය ත්‍රස්තවාදියා කියන වචනෙ ෂෝට් කරල ත්‍රස්තයා කිව්වට, ඒ වචනෙ නියම තේරුම ත්‍රස්තයට පත් වූ නොහොත් බියට පත් වූ තැනැත්තා කියන එකයි.)
    සිංහල වචන වලටත් ඉංග්‍රිසි හෝ වෙනත් භාෂාවන්ගේ වචන වලට වගේම නිශ්චිත තේරුමක් තියනවා. ඒ තේරුම් කාලයක් ගිහාම වෙනස් වෙනව වෙන්න පුළුවනි. ඒත් මට ඕනැ විදිහට සිංහල භාෂාවෙ වචන වෙනස් කරන්න මට අයිතියක් නෑ. සිංහල භාෂාව කියන්නෙ මගෙ පෞද්ගලික දේපොලක් නොවන නිසා.
    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ බදුල්ලෙ, රත්නපුරේ නැත්නම් කොළඹ වුනත් සිංහල මිනිස්සුන්ට දෙමළ මිනිස්සුත් දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුත් ඉතා කුළුපගව උදව් කරනවා වගේම ඔවුනොවුන් සහයෝගයෙන් ජීවත් වෙනවා කියන එකයි.
    ප්‍රශ්නය වෙන්නෙ ඔළුව ඉදිමිච්ච සමහර බූරු සිංහලයො හිතාගෙන ඉන්නවා දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට ගෞරවයක් දක්වන්න ඕනැයි කියල. එහෙම දෙයක් නෑ. සියළු මිනිස්සු එක සමාන ගෞරවයක් ලැබිය යුතුයි. වයසට, පූජ්‍යත්වයට, දැනුමට ගරු කරන එක මිසක් ජාතියට ගරු කරන එක මනුෂ්‍යත්වයට ලැජ්ජාවක්.

    ReplyDelete
  3. මෙතැන සියලුම දෙමළ වැසියන් ඔබට පහත් තත්ත්වයක ඉන්න ඔබට සේවය සපයන අය නේද? ඔබ සර් කියා අමතන වෙන දමෙළ මිනිසුන් නැතිද? මෙතැනදි මට හැගෙනවා ඔබට සේවය සපයන නිසා ඒ අය ගැන ඔබ සංවේදි වෙලා වගේ කියන අදහසක්. ඇතැම් තැනක ඉන්නේ ඔබට උදව් කරන දෙමළ පිරිසක්. නිකමට වගේ මං කියනවට යාපනය යන රාත්‍රී තැපැල් දුම්රිියකට ගොඩවෙලා මේ අයගේ හැසිරීම් කොහොමද කියල බලන්නකෝ. තියන හිස් අසුනක ඉඳගන්නවත් ඔයාට අවස්ථාවක් දේවිද කියලා.

    ReplyDelete
  4. සහොදරත්වයෙන් කටයුතු කරන ද්‍රවිඩ අය නැතිව නෙවෙයි.මගේ සමීපතම මිතුරන් අතරේ ද්‍රවිඩ මිතුරන් කීපදෙනෙක්ම හිටියා.මම 2003 දි විතර මත්තේ ගොඩ බෝඩිමක හිටියා මාස දෙකක් විතර.එතන මට කලින් නැවතිලා හිටිය ද්‍රවිඩ කොල්ලෙක් හිටියා කුමාර් කියලා .අන්තිමට කුමාර් මගෙත් එක්ක මොන තරමි සමීප උනාද කීවොත් හතට බෝඩිමට එන කුමාර් උයලා තියලා මම එනකමි ඉන්නවා කෑ කන්න නවය විතර වෙනකමි.තනියම කෑවෙිම නැ.මම එතනින් එනකොට උඹ යනවද මචං කියලා ඇහුවා සෑහෙන දුකකින්. සර් කියලා කතා කරන ද්‍රවිඩයකුට වඩා සමීප මිතුරෙක් විදියට ආශ්‍රය කරන ද්‍රවිඩයෙක් අතර වෙනසක් තිබෙනවා.බගවන්තලාව සමිපූර්නයෙන්ම ද්‍රවිඩ ගමිමානයක්.පවුල් තිස්දහකට වැඩි මම දන්න විදියට.සිංහල පවුල් පන්සියක් විතර ඉන්නේ.මෙ වෙනකමි කිසිම කරදරයක් කරලා නැ සිංහල අයට.නමුත් යාපනයේ තත්ත්වය එයට වඩා වෙනස්.තමන්ගේ පටු පරමාර්ථ මුදුන් පමනුවා ගන්න ඔවුන් කටයුතු කරන්නේ ඉතා සූක්ෂමව.ජාත්‍යන්තර මතවාද ගෙනියනවා.රට දෙකඩ කරන්න හදනවා.කදුකරයෙයි වන්නියෙයි තත්වය ආකාර දෙකක්.ඒ නිසා හැම ද්‍රවිඩ පුද්ගලයෙක්ම එකම විදියේ අය කියලා හිතලා කටයුතු කරන්න ගියොත් අමාරැවෙි.මෙ හැම දෙයක් ගැනම අපි අවධානයෙන් ඉන්න ඔන.මොනව කරත් අපිට තියෙන්නේ මෙ රට විතරයිනේ.

    ReplyDelete
  5. උඹ/මල්ලි/අයියා/සර් ට පැටලිලා ඔය දෙමෙල්ලු නෙමෙයි ඒකීය පුද්ගලයො

    ReplyDelete
  6. මාත් ඒක්කත් ළගින් ම ඉදගෙන වැඩ කරන ටැමිල් යාලුවෙක් ඉන්නවා.... අපි මේ දෙමළා සහ ත්‍රස්තවාදියා තාම පටලං ඉන්නේ... ඒ නිසාමයි අායෙම ත්‍රස්තවාදයක් අැති වෙන්නෙත්.... බදුල්ලේ කොහෙද????

    ReplyDelete
  7. කාලෙකින් කියවපු හොඳම සටහනක්.
    මිනිස්සු කියලා හැමෝම ගැන හිතන්න පුළුවන්වීමම ලොකු ජයඝ්‍රහණයක්.
    Hats Off!!!

    ReplyDelete
  8. මගේ ජ‍ීවිතයේ මට හමුවුන හොදම මිතුරා දෙමලෙක්. ඌ නිකං දෙමලෙක් නෙවෙයි නියම යාපනේ කුලවත් දෙමලෙක්.
    මම ඒ ගෙදරට නිතරම යන එනවා. මම විතරක් නෙවෙයි අපේ සෙට් එකේ හැමෝම එකතුවෙන තැන එතන. මගේ යාළුවගේ අක්කල දෙන්නයි, අයියල දෙන්නයි, නෑනයි, අම්මයි හැමෝම අපිට සැලකුවේ වෙනසක් නැතුව. අපි එහේ ගිහිල්ලා නටපු පිස්සු ගැන කියන්න වචන නැහැ. අපිට කවදාවත් මේ වෙනස දැනිලත් නැහැ. මිනිහගේ අක්කා මම කැමති කෑම වර්ග එදා හදලා දුන්නා. අද මම විවාහ වෙලා බිරිදත් දරුවත් එක්ක එහේ ගියත් ඒ විදිහමයි.

    මගේ යාළුවත් කසාද බැදලා (සිංහල කෙල්ලෙක්) පොඩි අවුලක් වුනාම කියන්න දාස් ගානක් ඉද්දි කාර් එකේ ඇවිල්ලා මම ඔෆිස් එකේ වැඩ ඉවර වෙනකම් පැය 4 ක් ඉදලා මාත් එක්ක ගිහිල්ලා ප්‍රශ්න කතා කලේ, මම අදටත් එයාගේ හොදම යාළුවා නිසා

    ReplyDelete
  9. ඔයා බදුල්ලේ ද මාත් එ ලග පහත තමයි ඉන්නෙ

    ReplyDelete