Wednesday, July 31, 2013

බාප්පලාගේ බලාපොරොත්තු කඩකිරීමේ සතුට

මහමග රිය පදවන (ලොකුම ලොකු හැර) ලොකු කුඩා කාටත් හිසරදයක් වූ, කාගේත් පොදු සතුරෙක් සිටින බව තමන්ගේම කියා කුමක් හෝ වාහනයක් ඇති සියල්ලෝම දනිති. ඒ බාප්පලා හෙවත් ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ය. ඉහත ප්‍රකාශය පිළිබඳව ජීවිතේට අනුන්ගේවත් වාහනයක් පදවා නැති අය මෙසේ කියනු ඇත. 

"ඔවුන් සිටින්නේ නීතිය ආරක්ෂා කර එමගින් මහජනයාගේ ජීවිත සුරක්ෂිත කිරීමටය. කොටින්ම ඔවුන් නැත්නම් ලංකාවේ රියැදුරන්ගේ විනය මීටත් වඩා දරුණු ලෙස පිරිහෙනු ඇත. නීතිගරුක, විනය ගරුක රියැදුරෙකුට කිසිදා ඔවුන්ගෙන් බාධාවක් ඇති නොවන අතරම ඔවුන් කෙරෙහි අප්‍රසාදයක් ඇති නොවනු ඇත...!"

මමද කාලයක් ඔය මතයේ සිටියෙක්මි. එහෙත් දැන් නම් ඒ ගැන සරලව කීමට ඇත්තේ "ආච්චිගෙ රෙද්ද!" කියා ය. 

ඔවුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කිරීමට දීර්ඝ කාලීන රියැදුරු අත්දැකීම් වුවමනාය.

ඊට හේතු බොහෝය.

එක් ප්‍රබල හේතුවක් නම් සැබෑ ලෙසම වරදක් නොකළ රියැදුරන් පවා සිය අභිප්‍රාය මත රස්තියාදු කිරීමය. මෙවැනි අත්දැකීම් රාශියක් පෞද්ගලිකව මට ඇත. වරදට දඬුවම් කර යළි එම වරද යම් රියදුරෙක් අතින් සිදුවීම වැලැක්වීමට වඩා ඔවුන්ට ඇත්තේ හුදෙක් සිය බල පරාක්‍රමය පෙන්වීමට ඇති පහත් රුචිකත්වයක් හා දඩ මුදලක් නියම කිරීම මගින් ලැබෙන කොමිස් කුට්ටිය පිලිබඳ ලොබ බැඳි ආශාවකි. 

දිනක් මා ව්‍යායාම පිණිස මුහුදු වෙරළ අයිනේ වාහනය නැවැත්වූ විට මට පෙනී ගියේ මීට මීටර 50ක් පමණ එහා වඩාත් ඉඩ පහසුකම් ඇති තැනක වාහනය ආරක්ෂිතව ගාල් කළ හැකි බවය. යළි රථය පණගන්වා මදක් ඉදිරියට ධාවනය කළෙමි.

යළි නැවැත්වීමට අදහස් කරන ස්ථානය දෑස් මානයේ තිබූ නිසා මා ආසන පටිය පැළඳුවේ නැත. නමුත් කොහේදෝ සිට පැමිණි බාප්පලා දෙදෙනෙක් මා ආසන පටි පැළඳ නැතැයි කියමින් මගෙන් දඩ මුදලක් කඩා ගැනීමේ අභිරුචියෙන් වාහනය නවත්වා ඉන් බසින විටම මා අභියස 'බලාපොරොත්තු සහගතව' පෙනී සිටියහ. ඔවුන්ට අනුව මා මගේම දිවි නසාගැනීමට තැත්කළ මහා අපරාධකරුවෙකි.

එහෙත් නීතිය කෙසේ වෙතත් ප්‍රායෝගිකව අදාල අවස්ථාවේ මා ආසන පටි පැළඳීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව මා තාක්ෂණික හේතු ඉදිරිපත් කරමින් පැහැදිළි කළෙමි.



ආසන පටි පැළඳීමේ වැදගත්ම අවශ්‍යතාව වන්නේ එය පැළඳ නැත්නම් අනතුරකදී ක්‍රියාත්මක වන වායු බැලූන හෙවත් 'එයාර් බෑග්' ක්‍රියා විරහිත වීමය. මෙයට හේතු 2කි.
  1. ආසන පටි පැළඳ නැතිවිට ක්‍රියාත්මක වූයේ නම් පිම්බුණු වායු බැලූනය මගින් මුහුණ මත ඇතිකරන බලය හේතුවෙන් හිස පිටුපසට ක්ෂණිකව ගැස්සීම නිසා හානිය අවම වීම වෙනුවට ජීවිත අවදානම තවත් ඉහළ යාම.
  2. ඇතැම් දරුණු අනතුරු වලදී රියැදුරු හෝ මගියා ඉදිරිපස වීදුරුව හෙවත් වින්ඩ්ස්ක්‍රීනය කඩාගෙන ඉදිරියට විසිවීම. මෙනිසා ආසන පටි පැළඳ නැත්නම් එයාර් බෑග්හි නිසි ප්‍රයෝජනය නොලැබී යාම.
ඉහත හේතූන් (විශේෂයෙන්ම අංක 1) නිසා ආසන පටි පැළඳ නැත්නම් වාහනයේ පරිගණකය මගින් අදාල එයාර් බෑග් එක ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත කරනු ලැබේ.

කෙසේ වෙතත් ආසන පටි පැළඳ සිටීමම අනතුරකදී එය ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නොවේ. එය කෙරෙහි අනිවාර්යයෙන්ම ඝට්ටනයේ තීව්‍රතාව ආදී වෙනස් කාරණාද රාශියක් බලපවත්වයි.



ඉංග්‍රීසි අකුරු සහිත අංක දරණ වාහන වලට පමණක් ආසන පටි නීතිය ලංකාවේදී අදාල වන්නේ, එයාර් බෑග් සහිත වාහන බහුල වශයෙන් ලංකාවේ භාවිතය ජනප්‍රිය වන්නේ එම අංකනය හඳුන්වා දුන් වර්ෂ 2000 පමණ කාලවකවානුවේ සිට වීම නිසා ය. ඒ අනුව මේ අපූරු නීතිය, එයාර් බෑග් සහිත වුවත් 300-, 301-  හෝ 64-, 65- වැනි මෝටර් රථ වලට බලපානේ නැත!  

මා ධාවනය කළේ ඉතා කෙටි දුරකි. ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟා විය හැකි අධි බල රේසින් වර්ගයේ නොවූ සාමාන්‍ය මෝටර් රථයක් වූ මගේ මෝටර් රථය, මීටර් 50ක දුරක් ධාවනය කිරීමේදී ළඟා විය හැකි උපරිම වේගය පැ.කි.මී. 40-50ක් පමණය. නමුත් මා ධාවනය කළේ පැ,කි.මී. 30ට අඩු වේගයකිනි. මෙවැනි වේගයකදී ආසන පටි පැළඳ සිටියත් එයාර් බෑග් ක්‍රියාත්මක නොවේ. 

නමුත් මේ ප්‍රායෝගිය යතාර්ථය හෝ මගේ තර්කනයේ තාක්ෂණික වලංගු භාවය ඔවුන්ට වැදගත් නොවීය. ඔවුන්ට අවශ‍ය වූයේ නීතිය අන්තවාදීව ක්‍රියාත්මක කොට මගෙන් රජයට හා ඔවුන්ට පෞද්ගලිකව මුදලක් කඩා ගැනීම පමණකි. එතැනදී ඔවුන් මගේ ජීවිතයට ආදරයෙන් එසේ කළා යයි කීම මොන විහිළුවක්ද?    

මොවුන් බලා සිටියදී කඩ ඉරි යොදා බෙදා ඇති මාර්ගයේ වාහනයක් ඉස්සර කිරීම හෝ පොලිස් වාහනයක් නිවැරදි ලෙස ඉස්සර කිරීම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බව මේ 'නීතිය රැකීමට සිටින සුර දූතයන්' කීප වරක්ම මට ඔප්පු කර පෙන්වා ඇත.

මොවුන්ගේ තවත් මට පෙන්නන්නට බැරි දුර්ගුණයක් නම් මිනිස්සුන්ට කතා කරන්නට දන්නේ නැති වීමයි. මෙය තනිකරම නූගත්කම හා පසුගාමී ආකල්ප හා බැඳී පවතින්නක් බව මම වසර ගණනක් පුරා අත්විඳිමි. සිය නිළ ඇඳුම හමුවේ මොන තරාතිරමේ උගත් / වැදගත් / නීතිගරුක / විනයගරුක වුවත් සියළු පුරවැසියන් නිවට නියාළු ලෙස දෙකට නැමෙමින් 'සර්' කියමින් භය පක්ෂපාතීත්වය පළ කළ යුතු බව මොවුහු උදක්ම විශ්වාස කරති. 

නමුත් සියළුම තරාතිරමේ - නූගත් ප්‍රාදේශීය සිට ඇමැටි දක්වා දේශපාලුවන් හා උන්ගේ බත්බැලයන් හමුවේ මේ ගාම්භීර ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනු දැක ඇත්තෙමි. කොටින්ම මොවුන්ගේ සද්ද සියල්ලම පොඩි මිනිහාටය. අමාරුවෙන් මිලියනයක දෙකක වාහනයක් දුවන මධ්‍යම පාන්තිකයාටය. වාහනයේ වටිනාකම මිලියන 5ට වැඩිනම්, වර්ගය ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ, බෙන්z, බී.එම්.ඩබ්ලිව්,වොල්වෝ, අවුඩි නම් දෑස් ඉදිරිපිටම මොන තරම් වෙට්ටු දැම්මත් ඒවා නවත්වා එහි සිටින ප්‍රභූන්ගේ වටිනා කාලය කා දැමීමට මොවුන්ට සිත් නොදේ.

පගා සහ කප්පම් ගැනීම පිළිබඳව කප් ගසා ඇත.

එකී මෙකී කාරණා රාශියක් නිසා වාහන පදවන්නන්ගෙන් 90% කටම මෙන්ම මටද බාප්පලා හිසරදයකි.

ලංකාවේ රියැදුරන්ගේ විනය පිළිබඳව මා සෑහීමට පත් නොවෙතත්, දිනපතාම ඔවුන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් ලේ පයින්ට් එකක් විතර පිච්චුනත් එක සැනසීමක් මට ඇත. ඒ නම් ලංකාවේ රියැදුරන් අතර ප්‍රචලිත, බාප්පලා ඉදිරියෙන් සිටින බව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙන අන් රියදුරන්ට දැන්වීමේ 'හෙඩ් ලයිට්' සම්මුතියයි.

දිනපතාම මා බාප්පලාට අසු නොවීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දී ඉදිරියට ගමන් කරන විට තරාතිරම නොබලා හමුවන සෑම වාහනයකටම ප්‍රධාන ලාම්පුව දල්වා "ඉස්සරහ බාප්ප්ලා. අහුවෙන්න එපා." යයි අනතුරු හඟවමි. අවම වශයෙන් කිලෝමීටරයක් වත් යනතුරු මා එසේ කරන විට සිතට දැනෙන්නේ පුදුම සතුටකි. මා අහිංසකයෙක් මරුකටකින් බේරා ගත්තා වැනි හැඟීමකි. මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ බාප්පලාගේ දවසම මස්තපාදු වෙන්ට - එකදු අහිංසකයෙක්වත් අහුවෙන්ට එපා ය කියා ය.

අන් රියදුරන් මා පසුකර යනවිට කෘතඥතාව පළකිරීමට නළාව නාද කරනු ඇසීම මගේ තෘප්තිමත් භාවය උපරිම කරවයි.

ළඟින් යන වෙන අත්දැකීමක්  කාට කියන්නද මේ අවනඩුව....? 

Monday, July 29, 2013

මගේ මංගල දැන්වීම

දැන් අවුරුදු 1 1/2 ක් තිස්සේ ගෙදරින් හැමදාමත් බත් එකක් ඔතල දෙනවා දවල්ට කන්න. මම පොඩි කාලේ ඉඳලම කෑම ඔතාගෙන එන කොළේ පවා අකුරක් නෑර කියවලා තමයි කුණු කූඩෙට දාන්නෙ කියල ගෙදර අය දන්නවා. ගොඩක් වෙලාවට මංගල දැන්වීම් පිටුවෙන් තමයි මගෙ කෑම එක එතෙන්නෙ. 

පුදුමෙ කියන්නෙ මේ අවුරුදු 1 1/2 ට එහෙම අවස්ථා අඩු ගානෙ 100ක්වත් තිබුණත්, මනාලියෝ තියෙන පිටුවක් නම් බැරිවෙලාවත් නෑ ඒ අතරෙ, ඒ හැම එකක්ම, මනාලයෝ වෙන්දේසි කරපුවා..!
කාගෙ වුනත් කමක් නෑ මම නම් හරිම ආසාවෙන් කියවන්නෙ..වෙන හේතුවක් නිසා නෙමෙයි විහිළු කතා කියවන්න වැඩිය වෙලාවක් වෙන්නෙ නැති නිසා, ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්ම පමණයි....

ඒත් අද කවදාවත් නැතුව මනාලියෝ වෙන්දේසි කරන පිටුවකින් අම්ම බත් ඔතලා...අනේ මන්දා....?.

කන ගමන් කියෙව්වා...කාලෙකින් නියම ඇඩ්වාන්ස් ජෝක් ටිකක් දැක්කා...ඕව නිතර කියවන අය දන්නව ඇතිනේ....'සුළු වරදකින් දරුවෙක් සිටී' වගේ ඒව.

පුදුමෙ කියන්නෙ දික්කසාද අයගෙන් 90%ක්ගේම කසාදෙ අත්සනට විතරක් සීමා වෙලා..ඉතිරි විවාහක අය ඔක්කොම වැන්දඹු.

ඇත්තටම අපි ඉන්නෙ ලංකාවෙද නැත්නම් ඉන්දියාවෙ හද්දා පිටිසර නූගත් මිනිස්සු ඉන්න ගමකද කියල හිතුණා....

එකක් දෙකක් නොවෙයි...හැම එකක්ම පටන් ගන්නේ බොදු ගොවි කියලා....(සමහරු පොෂ් විදියට B/G කියලත් දාල තිබුණා...) සමහරු උඩරට බොදු ගොවි, සමහරු අන්තෙටම ගිහින් උඩරට රදළ වෙලා...ඕනමනම් තමන්ගෙ සුදුසුකමක් විදියට දැම්මයි කියමුකෝ...ඒත් අනිවාර්යයෙන්ම 'සම කුළ' වචනෙ තියෙනවාමයි.....ඒ මදිවට මෙහෙමත් තියෙනවා...'මධ්‍යම පළාතෙන්' නැත්නම් 'නුවර, කෑගල්ල, මාතලේ, කුරුණෑගල අවටින්' (ඒ කියන්නෙ අනිත් පළාත්වල ඉන්නෙ ඔටුවො...?, උස තැනක ඉපදුනාම මාර විදියට උසස් නේ...?)

කේන්ද්‍ර පිටපත අනිවාර්යයි...(හැමෝමට පිරිමියා මොකෙක් වුනත් කේන්දරය තමයි ලොකු....)  

විශේෂත්වය තමයි වැඩිපුරම කුළ මළ, උඩරට පහතරට, කේන්දරේ පස්සෙන් පන්නන්නෙ මැදි වයසේ එහෙමත් නැත්නම් හෙට අනිද්දා වලකජ්ජ ගහන්න ඉන්න අය....අපේ අම්මටත් වඩා වයස යෝජනා 10කට වඩා තිබුණා.... ඔය බේද නිසාම ගෙදරටම නාකි වෙලා, තවත් ඒ පස්සෙම දුවනවා...!

මගේ වෛද්‍ය මිත්‍රයෙක්නම් කියන්නෙ ඕවගෙ ඉන්නෙ මොකක් හරි අඩුවක් තියෙන අයලු. වැඩි හරියක් මෙන්ටල් කේස්ලු. නැත්නම් කොල්ලෙක් ඉඳිද්දි ගෙදරින් බලෙන් බන්දල දෙන්න හදන ඒවලු. උගේ කතාව 100% පිළිගන්න අමාරු වුනත් යම් ඇත්තක් ඇතැයි හිතෙනවා....

ඒ කතා ඇහුවම නම් බයත් තිතෙනවා...ඒ බය තීව්‍ර වෙන්නෙ මගේ වෙන ඉංජිනේරු මිත්‍රයෙක් කියපු කතාවක් (මිනිහ බඳින්න ගෑණු ළමයෙක් හොයනව දැන් අවුරුදු ගාණක ඉඳන්...තාම හරියන පාටක්වත් නෑ..., මිනිහට මම එකක් සෙට් කළා...කොහෙද මිනිහගෙ කාස්ට් එක සළාගමද මොකද්දලු. මිනිහගෙ ඉංජිනේරු කම වැඩක් නෑලු. එපා කිව්ව කෙල්ල යන්තමින් උසස් පෙළ පාස් 12,000 පඩියට ඉංජිනේරුවෙක් ළඟ වැඩ කරන කෙනෙක්. මගේ ඉංජිනේරු යාළුව ලක්ෂයක් විතර පඩි ගන්න බොහොම උගත්, තැන්පත්, කිසිම දේකට අනවශ්‍ය විදියට කළබල නොවෙන, ධෛර්‍යමත්, පොළොවෙ පය ගහල ඉන්න 'එළ කොල්ලෙක්'. හසන්ත මහත්තයෝ බලමු ඒකෙත් හැටි නේද...?)

"දැන් කාලෙ කොල්ලෙක් නැති කෙල්ලෙක් හොයාගන්න ඕනනම් ඉතින් 8 වසරෙ එකකට තමයි බහින්න වෙන්නෙ...ඒත් ඉතින් ඒව බී.ඒ. (බාල අපරාධ) කාරයන්ගෙ වැඩනෙ. දරුකමට හදාගන්න තමයි වෙන්නෙ. නැත්නම් ඉතින් වරදට සමාව දෙන්න තමයි වෙන්නෙ...."
ඒකනම් කළින් එකට වැඩිය සෑහෙන්න ඇත්ත කියල හිතෙනව. මොකද දන්න කියන හැම ගෑණු පරාණයක්ම තමන්ගෙ සහකාරය දැනටම හොයාගෙන.

ඒක නිසා ඉතින් කවදහරි අපිට වෙන්නෙත් පත්තරේ දැන්වීමක් දාල ටෙන්ඩර් කැඳවන්න තමා..!

මම මේ කල්පනා කළේ දැනට නම් එහෙම අදහසක් තුන් හිතකවත් නැති වුනත් බැරිවෙලාවත් කවදහරි එහෙම දාන්න වුනොත් මට වෙන්නෙ මලලසේකර වැඩක්....

මොකද ලංකාවෙ මංගල දැන්වීමකට ඕන කරන අත්‍යවශ්‍යම දේවල් දෙකම මට නැති වීම....

ඒ නිසා ඒක දාන්න වෙන්නෙ මෙහෙම:

1984 උපන් බොදු ..... (ඕනෑම නම් හිස්තැනට අවශ්‍ය පදය සොයාගන්න. මගේ සම්පූර්ණ නම කොස්ගොඩ පතිරණගේ........නමුත් හොයාගෙන එහෙමම ඉන්න. ලියන්නවත් අමතන්නවත් එපා.) කේන්ද්‍රයක් නොමැති (ඕනම නම් හදා ගන්න. උපන් දිනය හා වේලාව 1984.09.07 පෙ.ව. 9.53. නමුත් හදාගෙන එහෙමම ඉන්න. ලියන්නවත් අමතන්නවත් එපා.)........................

දැන් ඉතින් මේක දැකල මට මංගල යෝජනා එවන්ට එපාය...
මට ඊට වඩා වැදගත් වැඩ ගොඩක් තියෙනවා ය.

Friday, July 19, 2013

බුදුන් පොරක්ද...?

"බුදුන් පොරක්ද...?" එක්තරා හේතුවාදියෙක් මීට වසර කිහිපයකට පෙර මගෙන් ඇසීය.

මේ පැණයට එවෙළේ පිළිතුරක් දීමට තරම් දාර්ශනික දැනුමක් මට එකළ නොවීය.
නමුත් මේ ප්‍රශ්නයට මම එතැන් සිට වසර ගණනක් පිළිතුරු සෙවුවෙමි.

ඒ අනුව උපතින් නොමිළේ ලැබූ තිබුණත් කිසිදු ඉන්ටරස්ට් එකක් නොතිබූ මම බෞද්ධ දර්ශනය අධ්‍යනය කරන්නට පෙළඹුනෙමි.

පහත සංවාදය මා කියවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය.

වරක් බුදුන් අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය: 

"ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"

පිළිතුර "ඔව්."

එවිට බුදුන්ගේ පිළිතුර:

"ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"

මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්‍ර සපයන ලද ග්‍රන්ථය, එහි මුළ් කතුවරයා විසින් ලියන ලද ඇත්තේ සියවස් ගනකට කළිනි. කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත් සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව එය ලියැවුණු ලංකාවේ පමණක් නොව දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් කිසිදු අත්දැකීමක් නොවීය, මන්ද දියුණු දුරේක්ෂ පවා නිපදවනු ලැබුයේ ඊට පසුකාළීනවය...!

අධ්‍යාත්මික සංවර්ධනය, දැනීම් සහ බලවේග ගැන අත්දැකීම් හුදෙක් පුහු හිතළු සහ මනෝවිකාරික මනස්ගාත ලෙස අවඥාවෙන් බැහැර කරන ලංකාවේ භෞතිකවාදීන් මේ ගැන කියන්නේ කුමක්ද...?

කලක් ගතවී ප්‍රථම උපාධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධියක් හැදැරීමට තීරණය කළෙමි. විද්‍යාත්මක දර්ශනය එහි අනිවාර්ය විෂයයක් විය. මා විවිධ විද්‍යාඥයින් පළකළ දාර්ශනික අදහස් ගැන කියවන්නට පටන් ගතිමි. පහත අදහස් මට කියවන්නට ලැබුණේ අහම්බෙනි.

"මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්‍රියේ එක්වරම නොසිතූ විරූ පරිදි බිඳවැටෙන්නේ අවාසනාවන්ත ලෙස ගෙලට එල්ලවන පිහි පහරත් සමඟිනි."

"සම්ප්‍රදායිකව පිළිගත් දෙය යනු පරම සත්‍යය නොවන බව මා විශ්වාස කළෙමි. මා කළුකුම් න්‍යාය මගින් අභියෝගයට ලක් කළේ සියවස් ගණනක් තුරාවට විදු ලොව අණසක පැතුරූ ඒ මහා සම්ප්‍රදායයි. විද්‍යාව නම් ක්ෂේත්‍රය තුළ වුව, ගතානුගතිකව සිතන්නන් දුලභ නොවන සන්දර්භයක, එසේ කිරීම පහසු කටයුත්තක් යයි ඔබ සිතනවාද?
නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව නිගමන වලට එලැඹීම, මේ දක්වා යමක් විද්‍යාණුකූල යයි ප්‍රගුණ කළ සහ පිළිගත් ක්‍රමය විය. මා එවැන්නන්ගෙන් අසා සිටියේ, එසේ නම් ඔබ වසර දහස් ගණනක් පුරා නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව ගොඩනගන ලද නක්ෂත්‍රය විද්‍යාත්මකයයි පිළිගන්නවාදැයි කියා ය."

"මගේ තර්කනය පදනම් විරහිත නොවන බව ප්‍රජාවට හැඟී ගිය බව දැනුනෙන්, විද්‍යාත්මක ක්‍රමය ගැන යෙදවූ මතවාද මම අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහිද පැතුරුවෙමි."

"මම ලොව අවිද්‍යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්‍රොයිඩ් වාද යි.
මාක්ස්වාදය විද්‍යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, dogmatic නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරන දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය. එතෙක් විද්‍යාත්මක යයි පිළිගැනීමක් තිබූ ෆ්‍රොයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය.
ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි."

"ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.
දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.
නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි.
කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය."

-බර්ට්‍රන්ඩ් රසල්



පසුකාළීනව සමාජ සම්බන්ධතා කෙමෙන් දළුලා වැඩෙත්ම විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණවල නියුතු පර්යේෂකයින් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි.

විද්‍යාත්මක ලෝකයේ Cognitive Science නම් ක්ෂේත්‍රයක් ඇති බව දැනගත්තා පමණක් නොව ඇමරිකාවේ හා යුරෝපයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල ඒ පිළිබඳව පර්යේෂණ කරන ලාංකිකයින් පවා හඳුනා ගැනීමට හැකිවිය.

ඔවුන් පවසන අන්දමට, නවතම ප්‍රවණතාව වන්නේ සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල (MIT, Stanford, Princeton, Carnegie Mellon, Amsterdam ...etc.) සියල්ලගේම පාහේ පර්යේෂකයින්ගේ උනන්දුව සහ නැඹුරුව පවතින්නේ Cognitive Science පිළිබඳවය. කොටින්ම මෙවැනි පර්යේෂණ දෙස අවඥාවෙන් බැලූ අන්තවාදී ලෙස භෞතිකවාදී ආකල්ප දැරූ පර්යේෂණ ආයතන පවා දැන් දැන් අළුතින් මේ පිළිබඳව පර්යේෂණාගාර පිහිටුවමින්, අධි තාක්ෂණික උපකරණ නිපදවමින් සිටිති.

විවිධ ආගමික හා දාර්ශනික පරිසර වල ආභාෂය ලැබූ, විවිධ රටවල් නියෝජනය කරන අමුතුම මාදිලියේ විද්‍යාඥයින් ඒ අතර සිටීලු.

නමුත් ඔවුන් සියල්ලන්ම එකහෙළාම තමන් පර්යේෂණ කරන මෙම Cognitive Science නම් ක්ෂේත්‍රයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම පර්යේෂකයා ලෙසට අවිවාදයෙන් පිළිගන්නා 'පොරක්' සිටී.

ඒ ගෞතම සිද්ධාර්ථ ය.

පුනර්භවය පට්ටපල් බොරුවක්....?

පුනර්භවය පට්ටපල් බොරුවක් කියනා හිතවත් භෞතිකවාදී සොයුරාට සහ ලංකාවේ භෞතිකවාදීන්ට / සමාජවාදීන්ට ආදරයෙන්...



පර්යේෂකයින් ලෝකය පුරාම සොයාගත් පුනර්භව සාධක 11,000 කට අධික ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ පර්යේෂණ කරලා තියෙන අය සියල්ලන්ම බටහිර අබෞද්ධ පර්යේෂකයින්. ඇතැම් අය උපතින්ම භක්තිමත් ක්‍රිස්තු භක්තිකයන්. පුනර්භවයක් නැත කියන්න තිබෙන්නේ තර්කනය පමණයි. නමුත් එවැන්නක් තිබෙනවා කියන්නට ලොව පිළිගත් පර්යේෂයින් විසින් පර්යේෂ පත්‍රිකා 8,000 කට අධික පමණක් ජාත්‍යන්තර ජර්නල වල පළ කොට තිබෙනවා. 

මේ ගැන ඔවැනි අදහසක් ඇති වන්නට ප්‍රධාන හේතුව තමයි ආසියාතික රටවල මිනිසුන් මුදල් හෝ ප්‍රසිද්ධිය තකා තමන්ට පෙර භවය මතක යයි පවසන අතේ රෝල් පට්ට පල් බොරු. නමුත් පුනර්භවයක් ගැන අසාවත් නැති බටහිර රටවල දේවභක්තිකයින් විසින් පවසා තිබෙන කරුණුවල සත්‍යතාව පර්යේෂයින් විසින් අදාල ස්ථානවලට ගොස් ඔවුන් කිසිදිනක ගොස් නැති ස්ථානවල භෞතික වස්තුවල පිහිටීම සහ කිසිදින හමුවී නැති, ඇතැම් විට සම්පූර්ණයෙන්ම වෙනස් භාෂාවක් කතාකරන පුද්ගලයින් පිළිබඳ කරුණු නිවැරදි බව සනාථ කොට තිබෙනවා.
උදාහරණයක් ලෙසට, පුනර්භවය කියන්නා විසින් කියන ලද එක් ස්ථානයක වසා දැමුනු ළිඳක් (එය පර්යේෂකයින්ට නිරීක්ෂණය වී නැති තරමටම ආවරණය කර උඩින් කොන්ක්‍රීට් සහ පස් යොදා වසන ලද්දක්.) පිළිබඳව අදාල කරුණු සත්‍ය බව නිවැසියන් සනාථ කොට තිබෙනවා. මීට අමතරව ඇතැම් පුද්ගලයින් කිසිදා හෙළි නොකළ රහස් පුනර්භව කියන්නන් විසින් හෙළිකොට ඒ බව එම රහසට සම්බන්ධ වෙනත් පුද්ගලයින් පිළිගෙන තිබෙනවා. මීට අමතරව ඉතාම පෞද්ගලික අන්වර්ථ නාම, සුරතල් නම් සහ කෙටි නම් වලින් ඉන් පෙර කිසිදා හමු නොවූ පුද්ගලයින්ට අමතා තිබෙනවා.

ඇතැම් දරුවන් පවුලේ කිසිවෙකු නොදන්නා විදෙස් භාෂාවලින් කතාකොට තිබෙනවා.

ඔබ දන්නවාද 'අරණකට පෙම් බැඳිමි' සහ 'මාවතේ ගීතය', 'අපරාජිත ජීවිතයක්', 'අපූගේ ලෝකය' යන කෘති වංග බසින් සිංහලයට පරිවර්තනය කළ (මේවායේ මුළ් කතුවරයා විභූතිභූෂණ බන්ධ්‍යෝත්ප්‍යාය නම් වංග ලේඛකයෙක්.) චින්තා ලක්ෂ්මි සිංහාරච්චි මහත්මිය වයස අවුරුදු 5 දී වංග බසින් ලියැවුණු පුවත්පත් ලිපියක් ලියැවී තිබූ භාෂාව නිවැරදිව හඳුනා ගත් බව? මීට පෙර ඇය කිසි දිනෙක එවැනි භාෂාවක් මිහිපිට ඇති බව හෝ දැනසිට නැහැ. මේ බව ඇය විසින්ම ලියා තිබෙන අතරම ඇගේ පියා විසින්ද සනාථ කර තිබෙනවා. (ඇය විසින් මෙම පුවත්වත් කැබැල්ල සුරැකිව තබාගෙන එය පසුකාලීනව වංග භාශාව දත් පුද්ගලයෙකුට ඉදිරිපත් කරනු ලැබුවා.) ඇගේ වංග භාෂාව ඉගෙනීමේ ශීඝ්‍රතාවය ඉතාම අසාමාන්‍ය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇගේ මහාචාර්යවරයා සාක්ෂි දරනවා. 

එපමණක් නොව, ඇය සහ ඇගේ සැමියා වරක් ඉන්දියාවේදී වංග බස කතාකරන ලේඛකයෙකු හමුවූ විට ඇය කිසිදින කථාකර නොතිබූ එම භාෂාව ඉතාම චතුර ලෙස කතාකළ බව එම ලේඛකයා මෙන්ම ඇගේ සැමියාද සාක්ෂි සපයනවා. එම ලේඛකයා පසුව එම දෙපළට පවසා තිබුණේ 

"මා සිතුවේ ඇය උපතින්ම වංග දේශයේ ඉපදී හැදී වැඩුණු පුද්ගලයෙකු බවයි..."!

ඔබ දන්නවාද, අද ජාත්‍යන්තර සමාගමක ඉලෙක්ට්‍රොනික සහ රොබෝ ඉංජිනේරු විද්‍යාව විශේෂඥ ඉංජිනේරුමය උපදේශකයෙකු වන මම පළමුවරට සංකීර්ණ යාන්ත්‍රණයක් වටහා ගත්තේ වයස අවුරුදු 4 දී බව? අපේ ගමේ ප්‍රභූ නිවසේ (වැවේ ගෙදර) ගුවන් විදුලි යන්ත්‍රය අළුත්වැඩියා කළේ වයස අවුරුදු 5දී බව...? අපේ පවුලේ හෝ මාතර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමේ කිසිම කෙනෙක් ඒ දුර්ලභ තාක්ෂණ දැන සිටියේ නෑ. 

මගේ තාත්තා කලාකාරයෙක්. ඔහු තාක්ෂණය පිළිබඳ මළපොතේ අකුරක් දන්නේ නෑ. ඔහු සහ මගේ අම්මා යන දෙන්නාම ගණිතය සහ ඉංග්‍රීසි භාෂාවට අතිශයින්ම දුර්වලයි. නමුත් මා කුඩා කල සිටම ඒ විශයන් දෙකට පුදුමාකාර ලෙස ලෙන්ගතුයි සහ දක්ෂයි. ඒ විෂයන් වල විභාග වලට කළින් දවසේ මා පොතක් අතින් අල්ලන්නේවත් නෑ. නමුත් හැමදාම වැඩිම ළකුණු. සාමාන්‍ය පෙළ ගණිතයට 100% යි. 
අද දක්වාම අපේ පවුලේ කිසිම දෙනෙකුට පිහිටා නැති සමහර ක්ෂේත්‍ර වලට මා විශේෂ දක්ෂතා දක්වා තිබෙනවා. 

මොරටුව සරසවියේ මා හැදැරූ පශ්චාත් උපාධියට තෝරාගන්නා ලැබුයේ ලංකාවේ අපේක්ෂකයින්ගෙන් ඉතාම විශිෂ්ට ලෙස ප්‍රථම උපාධිය සමත් සහ බුද්ධි ඵලයෙන් ඉතාම ඉහළ අය පමණයි. නමුත් ඔවුන් අතුරින් උසස් ගණිතය, රොබෝ තාක්ෂණය සහ දර්ශනය යන ඉතාම සංකීර්ණ විෂයන් සියල්ලටම A+ සාමාර්ථ ලැබූ ඉතාම අතළොස්ස අතර මා සිටිනවා. විශේෂයෙන්ම දර්ශනය විෂයයට එවැනි සාමාර්ථයක් ලැබීමට ඉතාමත්ම ඉහළ ඉංග්‍රීසි කියැවීමේ සහ ලිවීමේ හැකියාවක් අවශ්‍ය බව දන්නෝ දන්නවා. විශේෂත්වය තමයි, (දර්ශනය විෂයට පොත් පත් විශාල ප්‍රමාණයක් කියෙව්වා හැරෙන්නට) ඔය කියු අනිත් විශයන්ට මා යෙදූ කාලයක් සහ ආයාසයක් නොමැති තරම්. සාමාන්‍ය කෙනෙකුට මේවා යන්තමින් සමත් වන්නත් ඉතාම දැඩි කැපකිරීම් කරන්න වෙනවා.   

ඔබේ ඔය පරිණත අවසන් නිගමනය ලබාදීමට කළින් එහෙම වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න වෙනවා.  

ඔබට තර්කාණුකූලව කරුණු ඉදිරිපත් කළ හැකියි. ඒත් සමඟම ඔබ කළ යුතු තවත් දෙයක් තිබෙනවා. එනම් පුනර්භවය බොරුවක්නම්, ඉහත සාක්ෂි පදනම් විරහිත බව සාක්ෂි සහිතව සාධනය කර පෙන්වීම. ඔබට එසේ කළ හැකිනම් ඒ ගැන කිසිම තර්කයක් ඉතිරි වන්නේ නැහැ.

නමුත් ඔබ එය දැක නැති හෝ අත්විඳ නැති පළියට හෝ විද්‍යාත්මක උපකරණ වලට අසු නොවන පළියට එවැන්නක් නැතැයි කීම සාර්ථක උත්සාහයක් නොවෙයි. මොකද ඔය ලංකාවේ ඇතැම් මානසික දොස්තරලා නැතැයි කියන අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳව මට ප්‍රබල පෞද්ගලික අත්දැකීම් ඇති නිසා.

Thursday, July 18, 2013

පියාඹන මාලුවා සහ තවත් කතා

Flying Fish ගැන කතිකාවතක් දැන් සමාජයේ ඇතිවෙමින් පවතී. මේ මොහොත වන විටත් මගේ බොහෝ මිතුරන් එය වාරණය කිරීම නිර්මාණශීලී කලාකරුවෙකුට කරන ලද බලවත් අසාධාරණයක් බව කියමින් සමාජ ජාලවල මහත් පෙරළියක් කරනු දක්නට ලැබේ.

සැබෑවටම එය අප හමුදාවට හෝ රට අපහසුතාවයට පත්කරනවා හෝ සිද්ධාර්ථ ගෞතමට අවමන් කරනවා නම් මා පෞද්ගලිකව එය අනුමත කරන්නේ නැත. නමුත් මා එය මෙතෙක් නරඹා නොමැති හෙයින් නිගමනයක් ලබාදීමට ඉක්මන් නොවෙමි.

එසේ වීමට හෝ නොවීමට පුළුවන. 

නමුත් දේශද්‍රෝහී හෝ බෞද්ධ විරෝධී තේමාවල දුවන නිර්මාණ ඔහු අතින් හෝ වෙනත් අයෙකු අතින් ජාත්‍යන්තර සම්මාන අරමුණු කර ගනිමින් නිපදවෙන්නේම නැතැයි කීම කුහක මුසාවකි. මන්ද අප හමුදාව පිළිකෙව් කරන සිංහල ජාතිකයින් සහ සිද්ධාර්ථ ගෞතම සමඟ බද්ධ වෛරයෙන් පසුවන කලාකාරයන් හා උග්‍ර මානව හිතවාදීන් යයි කියාගන්නා සමාජවාදීන් මා ළඟින්ම ඇසුරු කර ඇති හෙයිනි, දැනටත් කරන හෙයිනි.  

මා හොඳින්ම දන්නා වෘත්තීය වේදිකා නාට්‍ය හා සිනමාකරුවෙක් යයි කියාගන්නා මෙවැන්නෙක්, නිතරම පාහේ සිය ෆේස්බුක් ප්‍රෝෆයිලයේ පළකරන දෑ මගින්, රටේ නිල හමුදාවට හා බුදුදහමට අපහාස කිරීමේ අසහනයෙන් පෙළීමේ මානසිකත්වය මනාව ප්‍රකට කරයි.





රටේ පාලකයින්ට වෛර කිරීම සහ පාලකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින රටේ නිල හමුදාවට වෛර කිරීම මොහුට අනුව දෙකක් නොව එකකි. එමෙන්ම සමාජවාදය වැළඳ නොගෙන එවැන්නන් හට පාලන බලය නොදෙන සිය රටේ ජනතාව ගැනද ඔහුට ඇත්තේ සුළුපටු වෛරයක් නොවේ. අවසානයේ එය සිය රට වෙනුවෙන්ද අදාල වී ඇති සෙයකි මට නම් හැඟෙන්නේ.

මොහු සතුව තවත් අපූරු තියරියක් බලපවත්වයි. එනම් රටේ ජනතාව පාලකයින්ගේ සහ ධනපතින්ගේ මුග්ධ භාවය හමුවේ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමන කරන්නේ සහ ඊට එරෙහි එකම විසඳුම වන සමාජවාදය පිළිනොගන්නේ බුදුදහමෙන් ප්‍රගුණ කරවන උපේක්ෂාව සහ මෛත්‍රිය වැනි අප්‍රායෝගික විකාර නිසා බව මොහු තදින්ම විශ්වාස කරයි. පාලකයින්, සමාජයේ ධනවතුන් සහ විකල්ප අදහස් දරන 'ප්‍රතිගාමීන්' කෙරෙහි වැඩිදියුණුකරගත් පැසෙන ක්‍රෝධය යොදාගනිමින් ඔවුන් විනාශ කර  ඔහු සිහින මවන සමාජවාදී රාජ්‍යය ගොඩනැගීමට එය මහත් 'ඇණයක්' වී තිබේ.  මේ නිසා මොහු බුදුදහම සහ එහි නිර්මාතෘ ගෞතම සිද්ධාර්ථ කෙරෙහි අසීමාන්තික අසාධාරණ වෛරයකින් පසු වේ. 

බෞද්ධ දර්ශනයට එරෙහිව කිසියම් පුද්ගලයෙකු පහත් වෛරී අවමානයක් කළහොත් ලබන කාලකණ්ණි සතුටම, රටේ හමුදාව හෝ රටට විරුද්ධව කවුරුන් හෝ ප්‍රකාශයක් කළහොත් ඔහු ඉහළින්ම ලබයි.  
මේ පුද්ගලයා හුදෙක් කල්පිතයක් බව සහ මේ සටහන ප්‍රබන්ධයක් ඔබට හැඟීම නොවැලැක්විය හැකි බව දනිමි. නමුත් මේ මා හොඳින්ම දන්නා එක් අයෙක් පමණකි. මීට සමාන අදහස් ඇති පුද්ගලයින් ඕනෑ තරමක් ඔබට සැලකිල්ලෙන් නිරීක්ෂණය කළහොත් ෆෙස්බුක් අඩවියෙන්ම ඉතා පහසුවෙන් සොයාගත හැකිය. 

එන්.ජී.ඕ. සමඟ මේ මහා සමාජ ප්‍රේමියාගේ සම්බන්ධතාවයද ඉතා හොඳින්, පෞද්ගලිකව දනිමි. උපතින් සාමාන්‍ය වත් පොහොසත් කමින් යුතු පවුලක කෙනෙක් වුවද, ඉඳ හිට කලා නිර්මාණ වලට දායක වනවා හැරෙන්නට වෙනත් රැකියාවක් නොකරන මොහුට, පුච්චා ගිණි තපින්නට තරම් මුදල් තිබේ. කොටින්ම සතිපතා විදේශ සංචාරය. එනමුත් මොහු විදේශයන්හි නිරත වන කලාකටයුත්තක් නොමැත. සංචාරය කරනුයේ හුදෙක් විනෝදය පිණිසය.    

වෘත්තීය කලාකරුවෙකුට එවැනි මුදල් සම්භාරයක් කලානිර්මාණ වලින් සෙවිය නොහැකි බව දන්නේ ම'පියාද කලාකරුවෙකු හෙයින්ද, රටේ පිළිගත් කලාකරුවන් රාශියක් ඔහුගේ සමීප මිතුරන් නිසාද, ඔහුන් සමඟ පෞද්ගලිකව ඇසුරු කරන, ගෙදර දොරේ ප්‍රශ්න කතාකරන නිසා ය.  

මොහුගේ අධි සුඛෝපභෝගී දිවියේ රහස මෙරට කළාකරුවන්ට අතදෙනවා යයි කියමින් මොහු සබඳතා පවත්වන ජාත්‍යන්තර සංවිධාන බව මා පෞද්ගලිකව ඉතා හොඳින් දන්න කරුණකි. මාස කිහිපයකට වතාවක් මෙරට අහිංසක කළාකරුවන් ගේ දොර උකස් කර නිර්මාණය කරන කෙටි විත්‍රපට එකතුකරගන්නා මොහු රටින් පිටව යයි. ත්‍යාග මුදලක් ලැබූ කෙනෙක් නැත. ජයග්‍රහණය කළායයි ඔහු හුවා දක්වා වෙබ් අඩවිවල පළකරන කෙටි විත්‍රපට තනිකරම වෛරී මනසින් කරන ලද ගැටගැසීම් බව ඒවා බලන අයෙකුට පසක් වේ. සම්භාව්‍ය හෝ රැඩිකල් හෙවත් සම්ප්‍රදායික නොවන විදියට හිතනවා යයි කියමින් රටේ පිළිගත් සංස්කෘතික හෝ සදාවාර හර පද්ධතියට, විශේෂයෙන්ම බුදුදහමට හෝ බුදුන් වහන්සේට  සියුම් ලෙස අවමන් කිරීම මොහු සබඳතා පවත්වන සංවිධානයකින් සම්මාන ලැබීමට අවම සුදුසුකම වේ.

සැබෑ දිවියේදී හිඟන්නෙකුට රුපියලක් දෙන්නේ නැති නමුදු සිය විනෝදාශ්වාදය සඳහා ලක්ෂ ගණනින් නාස්ති කරන මේ මහා මානව හිතවාදියා සහ එවැනිම ආකල්ප, ඇවතුම් පැවතුම් ඇති ඔහුගේ නඩය, කොතෙක් රජයට විරුද්ධව වැඩ කළද සිය කීර්තිනාමය රැකගැනීම උදෙසා රාජ්‍ය නිලධාරීන් බිලිබාගැනීමට ඕනෑතරම් මුදල් විසිකිරීමට දක්ෂය.

රාජ්‍ය නාට්‍ය උළෙලේ මේ රැළ ඉදිරිපත් කළ එක් නාට්‍යයක් මම නැරඹීමි. ස්වතන්ත්‍ර යයි කියාගත් නමුදු, එය තනිකරම 'A Beautiful Sunday' නම් විදෙස් නිර්මාණයක පරිවර්තනයක් විය. මා එහි ඉංග්‍රීසි පිටපත කියවා ඇත්තෙමි. එකම වෙනස, චරිත වලට සිංහල නම් ප්‍රතිස්ථානගත කිරීම පමණකි. මා එම නාට්‍ය උළෙලේ වේදිකා නාට්‍ය 12ම නැරඹුවෙමි. අප සමඟ යාබද අසුන්වල සිටියේ ම'පියාගේ මිතුරන් සහ කෘතහස්ත කළාකරුවන් වන අහාවප්‍රාප්ත එච්. ඒ. පෙරේරා, නාලන් මෙන්දිස් වැනි ප්‍රවීණයන්ය. අපි දිනපතාම මේ දක්වා නැරඹූ නාට්‍ය ගැන එදින වේදිකාගත වූ නාට්‍ය අවසානයේ සමාලෝචනයක යෙදුනෙමු. ඒ අනුව නාට්‍ය උළෙල අවසානයේදී ඔවුන් විසින් විශිෂ්ට යයි තෝරන ලද වේදිකා නාට්‍ය 4ක් විය.

මා එහි සම්මාන ප්‍රදානෝත්සවයටද සහභාගී වුනෙමි. අරුමයකි! ප්‍රවීණ කලාකරුවන් නිර්දේශ කළ එකදු වේදිකා නාට්‍යයකටවත් කුසලතා සම්මානයක් හෝ හිමි නොවීය. එම නිර්මාණවලදී අප හඳුනාගත් දක්ෂතාවලින් පිරිපුන් සහ කැපී පෙනෙන රංගන කුසලතා දැක්වූ නළු නිළියන් කිහිපදෙනෙක් ගැනම අප බලාපොරොත්තු තබාගෙන සිටියද ඔවුන්ව අඩුගණනේ සම්මාන සඳහා නිර්දේශවත් වී නොතිබුණි. 

ප්‍රවීණයින් විසින් දුර්වලයයි නම් කරන ලද මුස්ලිම් ජාතිකයෙකුගේ වේදිකා නාට්‍යයකට දෙවන ස්ථානය හිමිවූ අතර, (තෙවන ස්ථානය හැර) පළමු ස්ථානය, හොඳම නළුවන් ආදී අන් සියළුම සම්මාන දුසිම් ගණනම දෙන ලද්දේ ස්වතන්ත්‍ර යයි කියමින් පරිවර්තනයක් ඉදිරිපත් කළ වංවාකරුවන්ටය. අප සමඟ සිටි සෑම වසරකම එම උළෙලට පැමිණෙන පුවත්පත් වාර්තාකරුවෙකු කීවේ ඒ ගැන පුදුම වීමට දෙයක් නැති බවත්, මීට පෙර අවස්ථාවලදීත් මෙය මෙයාකාරයෙන්ම සිදුවූ බවත්, ලංකාවේ නිර්මාණ වලට සම්මාන ලැබෙන්නේ එහි සාරවත්භාවයට නොව නිෂ්පාදක විසිකරන මුදල් ප්‍රමාණය මත බවය.

මෙරට රැඩිකල් සිනමා රැල්ලේ පෙරගමන්කරු ලෙස නම් කළ හැකි එක්තරා සිනමාකරුවෙකු දිනක් අප නිවසේ මිදුලේ අපේ තාත්තා සහ තවත් කලාකරුවන් කිහිපදෙනෙක් සමඟ අඩියක් ගසන විට ඇසුණ මේ දෙබස මගේ කණටම ඇසුණකි.

කලාකාර මිත්‍රයෙක්: "මචං ..... උඹ වෙනස් විදියට හිතන, කෙළින් කතාකරන හිතහොඳ එකෙක් බව දන්නවා. උඹේ ටැලන්ට් එක ගැනවත් උඹේ ෆිල්ම්ස් වල කොලිටිය ගැනවත් කිසිම අවුලක් නෑ. ඒත් උඹට අපේ මිනිස්සුගෙ ගෙවල් අස්සෙ හැංගිලා තියෙන කුණුගොඩවල් ඇදල විත්‍රපටි හදනවට එන්.ජී.ඕ. වලින් ගෙවනව කියන්නෙ ඇත්තද..?"

"ඔව්. මට ගෙවනවා. ඇත්ත. මට මගේ නිර්මාණ කරන්න උන් ඇරෙන්න මොකෙක්වත් සත 5ක් වත් දෙන්නෙ නෑ."

"ඒ කියන්නෙ උඹ උන්ට විකිණෙනවා..?"

"අපි කවුරුත් එක එක විදියට එක එකාට විකිණෙන මිනිස්සු. වෙනස තියෙන්නෙ අපි විකිණෙන්නෙ මොකාටද, කීයකටද කියන එක විතරයි." 

මෙරට මහා යථාර්ථවාදී මානවහිතවාදී වෙනස් විදියට හිතන රැඩිකල් නිර්මාණකරුවන් බොහොමයකගේ නිරුවත එසේය. 

Flying Fish නිපදවූ පුද්ගලයා මා එම කැටගරියට දමන්නට හදිස්සි වන්නේ නැති නමුදු තමන්ගෙ අම්මාගේ නිරුවත පෙන්වා හෝ (ඇතැම් විචාරකයින්ට අනුව එය පට්ට රැඩිකල්ය. භාවාත්මකය.) එන්.ජී.ඕ, හෝ කොටි මුදල්, ජාත්‍යන්තර සම්මාන කඩාගන්නට බලාගෙන ඉන්නා උන් සිටීම කිසිදා විය නොහැකි අභව්‍ය සිදුවීමක් නොව, ප්‍රායෝගික යථාර්ථයක් බව ඉඳුරාම කියමි.  

Monday, July 15, 2013

ගෝණි බිල්ලන්ට ඌණ පූර්ණයක්

කළින් සටහන මාතලන් තැබූ සටහනට ඌණ පූර්ණයක් වන අතර මෙය එම ඌණ පූර්ණයට ඌණ පූර්ණයකි.

ගෝණිබිල්ලා ඇඳුමට සිය භාර්යාවන් / දියණියන් රිංගවන්නට වැඩිපුරම කැසිල්ලක් ඇත්තේ නූගත් මුස්ලිම්වරුන්ටය.

දිනක් මා කළින් සේවය කළ සරසවියේ අප දෙපාර්තමෙන්තුවේ  සේවයට වාර්තා කර තිබුණේ මා සහ මුස්ලිම් ජාතික තරුණ ආධුනික කථිකාචාර්යවරිය වන සඛීනා අක්කා පමණකි. මා උසස්වීමක් සමඟ වෙනත් විශ්වවිද්‍යාලයකට පත්වීමක් ලැබ තිබුණෙන් මා පැවැත්වූ ඇතැම් දේශන ඇයට පැවරී තිබුණි.  

මා අසලට පුටුවක් ඇදගත් ඇය මගෙන් 'කුප්පියක් දා ගනිමින්' (වැරදි ලෙස හිතන්ට එපා ය. කැම්පස් භාෂාවෙන් කුප්පිය දානවා කියන්නේ නොදන්න දෙයක් කියාදීමට ය.) සිටියා ය. තිර යොදා සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ගුරු විවේකාගාරය, වායුසමනය කරන ලද නිසා දොර වසා තැබේ. 

එක්වරම එහි දොර ඇරගෙන පැමිණියේ ඇගේ සැමියාය. ඔහු විශ්වවිද්‍යාලයටම අනුබද්ධ ආයතනයක ගණකාධිවරයෙකි. ඔහු අඩි හයකටත් වඩා උස, උසට ගැලපෙන මහතින් යුතු ශක්තිමත්, ප්‍රියමනාප පුද්ගලයෙකි.

මා එක්වරම තිගැස්සීමකට ලක්වූවා යැයි කිවහොත් එය මුසාවක් නොවේ. හේතුව මගේ සිතේ 'එහෙම' අදහසක් තිබූ නිසා නොව, මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය වෙනස් බව අසා තිබුණු නිසාය.
මා සිතුවේ මට කෙසේ වෙතත් සඛී අක්කාට දෙකක් අසා ගන්නට ලැබෙන බවය.

යම් කිසිවක් දමිළ භාෂාවෙන් සෙමින් කියූ සඛී අක්කාගේ සැමියා, ගුරු විවේකාගාරයෙන් පිටව ගියේ ය. 

මම නැවතත් මගේ 'කුප්පිය දැමීම' ආරම්භ කළෙමි. 

මිනිත්තු 10ක් යන්නට මත්තෙන් ඇගේ සැමියා යළිත් ආවේ හිස් අතින් නොවේ!

කිරිහලෙන් කිරි පැකට් 3ක් රැගෙන ය. 

ඉතා සැහැල්ලුවෙන්, විහිළු තහළු කරමින් අපි තිදෙනා කිරි පානය කරමින් අල්ලාප සල්ලාපයේ යෙදුණෙමු. 

"මෙයාට ඔහොම කියල දුන්නට මතක හිටින්නෙ නෑ. අනින්න හොඳ ටොක්කක්..!"

මා දැන් රාජකාරි කරන ස්ථානයේ මගේ හොඳම මිතුරිය මුස්ලිම් ජාතික කථිකාචාර්යවරියකි. ඇය භක්තිමත් ඉස්ලාම් බැතිමතියකි. දිනකට දෙවරක් සිය නිල කාමරයේ දොර වසාගෙන, බිම රෙදි කඩක් එළාගෙන යාඥා කරයි. අප කාර්ය මණ්ඩලයේ සිටින එකම මුස්ලිම් ජාතිකයා ඇය බැවින්, මෙය කිසිවකුගේ දෝෂාරෝපණයෙන් මිදීමට නොව, ඇය කැමැත්තෙන්ම ඉටු කරන කර්තව්‍යක් බව පෙනී යයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්ති උපාධිධාරිණියකි.

ඇය හිස ආවරණය කරන නමුදු, මුහුණ ආවරණය කරන්නෙ නැත.

සවස 6.00 පමණ තෙක් රාජකාරි කිරීමට සිදුවන ඇතැම් දිනවලදී මම ඇය නගරයට ගොස් ඇරලවමි. මගේ සිංහල ජාතික මිතුරියන් පවා වාහනයේ ඉදිරි අසුනේ අසුන් ගැනීමට පැකිළෙද්දී ඇය මගේ වාහනයේ ඉදිරි අසුනේ ගමන් කරයි.

මේ ළඟදී ඇය විවාපත් වූවාය. වෙඩිමට මටද ආරාධනා පතක් ලැබුණි. මම එහි ගියෙමි. මා සිතුවේ මනාළිය පිරිමින්ට, විශේෂයෙන් අන් ආගමක පිරිමින්ට දැක ගැනීමටවත් නොලැබෙනු ඇත කියා ය. එහෙත් මා සිතුවා වැරදිය. 
සභාව මැද ඇය හා ඇගේ සැමියා මා පිළිගත්තේ අතට අත දීමෙනි. 

ඔබ විශ්වාස නොකරනු ඇත, 

ඉතා අලංකාර ලෙස වෛවර්ණ ඇඳුමින් සැරසී සිටි ඇය කිසිදු ශීර්ෂාවරණයක් පැළඳ සිටියේ නැත...!  

ගෝණි බිල්ලන් සහ සමාජවාදය

මෙය මාතලන් තබා ඇති මෙම සටහනට ඌන පූර්ණයකි. 

පළමුව මේ පිළිබඳව මගේ ස්ථාවරය ඉදිරිපත් කරමි. 

ගෝණිබිළි ඇඳුම යනු ආගමික අන්තවාදයේ ප්‍රතිමූර්තියකි. ඒ බව මධ්‍යස්ථ මුස්ලිම්වරුන් පවා පිළිගනී. 

(විශාලනය කර කියවීමට පින්තූරය මත ක්ලික් කරන්න.)

මා එයට විරුද්ධ වන්නේ මා ඉස්ලාම් විරෝධියෙක් නිසාවත්, බොදුබල සේනා වැනි සංවිධාන වල පෙළඹීමෙන් හෝ රජයට පක්ෂපාතී නිසාවත් නොවේ. විචාර බුද්ධියෙන් විමසීමෙනි. මා ඔය කී පිරිස් 3 ටම අයත් නොවන නිදහස් මතධාරියෙකි. ඒ බව මේ බ්ලොග් අඩවියේ වෙනත් සටහන් කියැවීමෙන් ඔබට සනාථ කරගත හැකිය. වැඩිය ඕනෑ නැත. මේ බ්ලොග් අඩවියේම ජනප්‍රියම සටහන කියවීම ම සෑහේ.

ඒ අනුව මා එයට විරුද්ධ වන හේතු සැකෙවින් මෙසේ දැක්විය හැකිය:

  1. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම. ඕනෑම ත්‍රස්තයෙකුට එය තුළ සැඟවී ස්වයංක්‍රීය කැමරා වලට වසන් වී අධි ආරක්ෂිත කලාපවලට පවා ඇතුළු වීමට හැකිවීම.
  2. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල අපරාධකරුවන්ට ආරක්ෂාව සැපයීම.
  3. කැමරා පද්ධති වලට වසන් වී කරන බැංකු ආශ්‍රිත මූල්‍ය වංචා කරන්නන්ට අනුබල ලැබීම.
  4. මැතිවරණ වංවා (එකම පුද්ගලයා නැවත නැවත ඡන්දය දැමීමට පැමිණීම නොහොත් හොර ඡන්ද.)
  5. විභාග වංචා. (උසස් පෙළ, නීති ප්‍රවේශය වැනි තරඟ විභාග සඳහා අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙක් පෙනී සිටීම. මෙය අන් අපේක්ෂකයින්ට කරන බලවත් අසාධාරණයකි.)
  6. කැමරා මගින් සහ පටිගත කළ දර්ශන මගින් සුපිරි වෙළඳ සැල් සහ වෙනත් ආයතන තුල සොරකම් කරන පුද්ගලයින් හඳුනා ගැනීමට නොහැකි වීම.
  7. මෙය පැහැදිළිවම කාන්තා හිංසනයකි. කාන්තාව ස්වභාවයෙන්ම අලංකාර ලෙස හැඳ පැළඳ සමාජයේ කැපී පෙනෙන ලෙස ගැවසීමට කැමතිය. එක අතකින් මෙය මිනිස් සිත පිළිබඳ හැදැරීමක් නොකර කරන ලද අවිද්‍යාත්මක බලහත්කාරී පැටවීමකි
    (අන්තවාදීන්ට මොන මනෝවිද්‍යාවක්ද?) සදාචාර විරෝදී නොවන කැමති ඇඟළුමක්, ආභරණයක් ඇඟලීමට, පැළඳීමට ඇති මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කාන්තාව යනුද මනුෂ්‍යයෙක් බව මෙවැනි (පහත පුද්ගලයාගේ ප්‍රකාශය බලන්න) අන්තවාදීන්ට නොපෙනීම කණගාටුවකි. 

මෙවැන්නන්ගේ විකෘති මානසිකත්වය ගැන කතා කරන්නට ගියොත් එය මහා පතරංග ජාතකයටත් වඩා දීර්ඝ වේ. කාන්තාවකගේ මුහුණ දැකීමෙන් පාලනය කරගත නොහෙන කාමරාගයෙන් කිළිපොළා යනවා යයි කියන මානසික රෝගීන්ගේ මානසිකත්වය ප්‍රදර්ශනය කරන තවත් එක් නිදර්ශකයක් පමණක් පෙන්වා දීමට අවසර. 



මෙවැනි 'අන්තවාදී අයිතිවාසිකම්' ඉල්ලන්නන්ගේ මානසිකත්වය නොපෙනේද? 

මා මෙසේ කියනා විට ලාංකික මුස්ලිම්වරු ඔය කියන තරම් අන්තවාදීන් නොවන බව කීමට ඕනෑතරම් සෙනඟ සොයා ගත හැකිය. 

තම ගෝත්‍රයට අයත් නොවීමේ එකම 'වරදට' නිර්දෝශී වැදගත් සරසවි ශිෂ්‍යාවක් වෛශ්‍යාවක් බවට නම් කරන්නට පෙළඹේ නම්, තම ගෝත්‍රයෙන් පිටත, එකම ස්ත්‍රී පුරුෂ භාවයේ අයෙකු හා පවා මිත්‍ර වීම දඬුවම් දිය යුතු වරදක් ලෙස සිතයි නම්, එය ගෝත්‍රික අන්තවාදය හැර වෙන කුමක්ද? 

ලංකාවේ ඔය කියන තරම් තලේබාන් මානසිකත්වය ඇති අන්තවාදීන් නැතැයි කියන අයට මොහු දී ඇත්තේ කදිම පිළිතුරකි.

සැ.යු. සෑම මුස්ලිම් මිනිසකුම අන්තවාදියෙක් යයි කියන්නට තරම් මා පිරිහී නැත. මා පෙන්වා දෙන්නේ මෙවැන්නනුත් දුලභ නොවේ යන්න පමණකි.

තත්ත්වය මෙසේ වෙද්දී අප සමාජයේ සමාජවාදීන් කියාගන්නා පිරිස දක්වන්නේ මීට ප්‍රතිවිරුද්ධ පුදුම සහගත මතයකි....!

එනම් රජය ගෝණිබිල්ලා යන සංකල්පය ඔවුන්ගේ අඩුපාඩු වසාගැනීමට සහ මිනිසුන්ගේ අවධානය වෙනත'ක යොමු කිරීමෙන් ප්‍රශ්න අමතක කිරීමට භාවිතා කරන හෙයින්, මෙය පිටුදැකීම නොකළ යුතු බවයි.

මෙය මෙරට බොහෝ සමාජවාදීන් වරද්දා ගත් තැනකි. රජය දැවෙන ප්‍රශ්න වැසීමට යොදාගන්නා පළියටම ආගමික අන්තවාදය හමුවේ මුණිවත රැකිය යුතු බව ඔවුහු විශ්වාස කරති. මේ හේතුව හැරෙන්නට ඔවුන් ඉස්ලාම් අන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටීම සාධාරණීකරනය කරන වෙනත් හේතු:
  • ඔවුන් සුළුතරයක් වීම. කොන්දේසි විරහිතව සුළුතරයගේ පැත්ත ගැනීම සමාජවාදීන්ගේ පරම යුතුකම වේ. (සමාජයේ බහුතරය අතින් සුළුතරයට වන අයිතිවාසිකම් කඩවීම් සහ අසාධාරණකම්වලට එරෙහි වීම සමාජවාදීන්ගේ වගකීමකි.)
  • ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ බලවේගය වන ඇතැම් බෞද්ධ හෝ සිංහල සංවිධාන වලට රජයේ අනුග්‍රහය ලැබීම. (රජයේ අනුග්‍රහය ලබන සංවිධානයක් කොන්දේසි විරහිතව සමාජවාදීන්ගේ හෝ රාජ්‍ය විරෝධීන්ගේ සතුරෙක් ලෙස සැලකිය යුතුය.) 
මගේ පෞද්ගලික අදහස නම් ඉහත ප්‍රස්තුතයන් 3 ම සම්පූර්ණයෙන්ම පුහු පදනම් බවය. සුළුතරය යි කියා හෝ, රජයේ අනුබලය ලබන කණ්ඩායමක ප්‍රතිවාදීන් වූ පළියට යම් කණ්ඩායමකට විශේෂ වරප්‍රසාද නොලැබිය යුතුය. ඔවුන්ගෙන් සමාජයට යම් හානියක් සිදුවේ නම් එය නොසළකා නොහැරිය යුතුය. සුළුතරය යයි කියා රටක් ත්‍රස්තවාදීන් නොසලකා හැරීමේ ඵලවිපාක, ගෝලීය සන්දර්භයේදී වුවමනා තරම් සොයාගත හැකිය.

මා යළිදු අවධාරණය කරන්නේ එන පොට හොඳ නැති බවය. පෞද්ගලික වාසි තකා අන්තවාදයට පිළිතුරු නොදී සිටීම එයට වක්‍ර ආකාරයෙන් අනුබල දීමකි.
ශිෂ්ට සම්පන්න පුරවැසියෙකුගේ පරම යුතුකම අන්තවාදය වැඩෙන්නට හැර උඩ බලා සිටීමද?