"ඔවුන් සිටින්නේ නීතිය ආරක්ෂා කර එමගින් මහජනයාගේ ජීවිත සුරක්ෂිත කිරීමටය. කොටින්ම ඔවුන් නැත්නම් ලංකාවේ රියැදුරන්ගේ විනය මීටත් වඩා දරුණු ලෙස පිරිහෙනු ඇත. නීතිගරුක, විනය ගරුක රියැදුරෙකුට කිසිදා ඔවුන්ගෙන් බාධාවක් ඇති නොවන අතරම ඔවුන් කෙරෙහි අප්‍රසාදයක් ඇති නොවනු ඇත...!"
මමද කාලයක් ඔය මතයේ සිටියෙක්මි. එහෙත් දැන් නම් ඒ ගැන සරලව කීමට ඇත්තේ "ආච්චිගෙ රෙද්ද!" කියා ය.
ඔවුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කිරීමට දීර්ඝ කාලීන රියැදුරු අත්දැකීම් වුවමනාය.
ඊට හේතු බොහෝය.
එක් ප්‍රබල හේතුවක් නම් සැබෑ ලෙසම වරදක් නොකළ රියැදුරන් පවා සිය අභිප්‍රාය මත රස්තියාදු කිරීමය. මෙවැනි අත්දැකීම් රාශියක් පෞද්ගලිකව මට ඇත. වරදට දඬුවම් කර යළි එම වරද යම් රියදුරෙක් අතින් සිදුවීම වැලැක්වීමට වඩා ඔවුන්ට ඇත්තේ හුදෙක් සිය බල පරාක්‍රමය පෙන්වීමට ඇති පහත් රුචිකත්වයක් හා දඩ මුදලක් නියම කිරීම මගින් ලැබෙන කොමිස් කුට්ටිය පිලිබඳ ලොබ බැඳි ආශාවකි.
දිනක් මා ව්‍යායාම පිණිස මුහුදු වෙරළ අයිනේ වාහනය නැවැත්වූ විට මට පෙනී ගියේ මීට මීටර 50ක් පමණ එහා වඩාත් ඉඩ පහසුකම් ඇති තැනක වාහනය ආරක්ෂිතව ගාල් කළ හැකි බවය. යළි රථය පණගන්වා මදක් ඉදිරියට ධාවනය කළෙමි.
යළි නැවැත්වීමට අදහස් කරන ස්ථානය දෑස් මානයේ තිබූ නිසා මා ආසන පටිය පැළඳුවේ නැත. නමුත් කොහේදෝ සිට පැමිණි බාප්පලා දෙදෙනෙක් මා ආසන පටි පැළඳ නැතැයි කියමින් මගෙන් දඩ මුදලක් කඩා ගැනීමේ අභිරුචියෙන් වාහනය නවත්වා ඉන් බසින විටම මා අභියස 'බලාපොරොත්තු සහගතව' පෙනී සිටියහ. ඔවුන්ට අනුව මා මගේම දිවි නසාගැනීමට තැත්කළ මහා අපරාධකරුවෙකි.
එහෙත් නීතිය කෙසේ වෙතත් ප්‍රායෝගිකව අදාල අවස්ථාවේ මා ආසන පටි පැළඳීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව මා තාක්ෂණික හේතු ඉදිරිපත් කරමින් පැහැදිළි කළෙමි.
ආසන පටි පැළඳීමේ වැදගත්ම අවශ්‍යතාව වන්නේ එය පැළඳ නැත්නම් අනතුරකදී ක්‍රියාත්මක වන වායු බැලූන හෙවත් 'එයාර් බෑග්' ක්‍රියා විරහිත වීමය. මෙයට හේතු 2කි.
- ආසන පටි පැළඳ නැතිවිට ක්‍රියාත්මක වූයේ නම් පිම්බුණු වායු බැලූනය මගින් මුහුණ මත ඇතිකරන බලය හේතුවෙන් හිස පිටුපසට ක්ෂණිකව ගැස්සීම නිසා හානිය අවම වීම වෙනුවට ජීවිත අවදානම තවත් ඉහළ යාම.
- ඇතැම් දරුණු අනතුරු වලදී රියැදුරු හෝ මගියා ඉදිරිපස වීදුරුව හෙවත් වින්ඩ්ස්ක්‍රීනය කඩාගෙන ඉදිරියට විසිවීම. මෙනිසා ආසන පටි පැළඳ නැත්නම් එයාර් බෑග්හි නිසි ප්‍රයෝජනය නොලැබී යාම.
කෙසේ වෙතත් ආසන පටි පැළඳ සිටීමම අනතුරකදී එය ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නොවේ. එය කෙරෙහි අනිවාර්යයෙන්ම ඝට්ටනයේ තීව්‍රතාව ආදී වෙනස් කාරණාද රාශියක් බලපවත්වයි.
ඉංග්‍රීසි අකුරු සහිත අංක දරණ වාහන වලට පමණක් ආසන පටි නීතිය ලංකාවේදී අදාල වන්නේ, එයාර් බෑග් සහිත වාහන බහුල වශයෙන් ලංකාවේ භාවිතය ජනප්‍රිය වන්නේ එම අංකනය හඳුන්වා දුන් වර්ෂ 2000 පමණ කාලවකවානුවේ සිට වීම නිසා ය. ඒ අනුව මේ අපූරු නීතිය, එයාර් බෑග් සහිත වුවත් 300-, 301- හෝ 64-, 65- වැනි මෝටර් රථ වලට බලපානේ නැත!
මා ධාවනය කළේ ඉතා කෙටි දුරකි. ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟා විය හැකි අධි බල රේසින් වර්ගයේ නොවූ සාමාන්‍ය මෝටර් රථයක් වූ මගේ මෝටර් රථය, මීටර් 50ක දුරක් ධාවනය කිරීමේදී ළඟා විය හැකි උපරිම වේගය පැ.කි.මී. 40-50ක් පමණය. නමුත් මා ධාවනය කළේ පැ,කි.මී. 30ට අඩු වේගයකිනි. මෙවැනි වේගයකදී ආසන පටි පැළඳ සිටියත් එයාර් බෑග් ක්‍රියාත්මක නොවේ.
නමුත් මේ ප්‍රායෝගිය යතාර්ථය හෝ මගේ තර්කනයේ තාක්ෂණික වලංගු භාවය ඔවුන්ට වැදගත් නොවීය. ඔවුන්ට අවශය වූයේ නීතිය අන්තවාදීව ක්‍රියාත්මක කොට මගෙන් රජයට හා ඔවුන්ට පෞද්ගලිකව මුදලක් කඩා ගැනීම පමණකි. එතැනදී ඔවුන් මගේ ජීවිතයට ආදරයෙන් එසේ කළා යයි කීම මොන විහිළුවක්ද?
මොවුන් බලා සිටියදී කඩ ඉරි යොදා බෙදා ඇති මාර්ගයේ වාහනයක් ඉස්සර කිරීම හෝ පොලිස් වාහනයක් නිවැරදි ලෙස ඉස්සර කිරීම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බව මේ 'නීතිය රැකීමට සිටින සුර දූතයන්' කීප වරක්ම මට ඔප්පු කර පෙන්වා ඇත.
මොවුන්ගේ තවත් මට පෙන්නන්නට බැරි දුර්ගුණයක් නම් මිනිස්සුන්ට කතා කරන්නට දන්නේ නැති වීමයි. මෙය තනිකරම නූගත්කම හා පසුගාමී ආකල්ප හා බැඳී පවතින්නක් බව මම වසර ගණනක් පුරා අත්විඳිමි. සිය නිළ ඇඳුම හමුවේ මොන තරාතිරමේ උගත් / වැදගත් / නීතිගරුක / විනයගරුක වුවත් සියළු පුරවැසියන් නිවට නියාළු ලෙස දෙකට නැමෙමින් 'සර්' කියමින් භය පක්ෂපාතීත්වය පළ කළ යුතු බව මොවුහු උදක්ම විශ්වාස කරති.
නමුත් සියළුම තරාතිරමේ - නූගත් ප්‍රාදේශීය සිට ඇමැටි දක්වා දේශපාලුවන් හා උන්ගේ බත්බැලයන් හමුවේ මේ ගාම්භීර ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනු දැක ඇත්තෙමි. කොටින්ම මොවුන්ගේ සද්ද සියල්ලම පොඩි මිනිහාටය. අමාරුවෙන් මිලියනයක දෙකක වාහනයක් දුවන මධ්‍යම පාන්තිකයාටය. වාහනයේ වටිනාකම මිලියන 5ට වැඩිනම්, වර්ගය ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ, බෙන්z, බී.එම්.ඩබ්ලිව්,වොල්වෝ, අවුඩි නම් දෑස් ඉදිරිපිටම මොන තරම් වෙට්ටු දැම්මත් ඒවා නවත්වා එහි සිටින ප්‍රභූන්ගේ වටිනා කාලය කා දැමීමට මොවුන්ට සිත් නොදේ.
පගා සහ කප්පම් ගැනීම පිළිබඳව කප් ගසා ඇත.
එකී මෙකී කාරණා රාශියක් නිසා වාහන පදවන්නන්ගෙන් 90% කටම මෙන්ම මටද බාප්පලා හිසරදයකි.
ලංකාවේ රියැදුරන්ගේ විනය පිළිබඳව මා සෑහීමට පත් නොවෙතත්, දිනපතාම ඔවුන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් ලේ පයින්ට් එකක් විතර පිච්චුනත් එක සැනසීමක් මට ඇත. ඒ නම් ලංකාවේ රියැදුරන් අතර ප්‍රචලිත, බාප්පලා ඉදිරියෙන් සිටින බව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙන අන් රියදුරන්ට දැන්වීමේ 'හෙඩ් ලයිට්' සම්මුතියයි.
දිනපතාම මා බාප්පලාට අසු නොවීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දී ඉදිරියට ගමන් කරන විට තරාතිරම නොබලා හමුවන සෑම වාහනයකටම ප්‍රධාන ලාම්පුව දල්වා "ඉස්සරහ බාප්ප්ලා. අහුවෙන්න එපා." යයි අනතුරු හඟවමි. අවම වශයෙන් කිලෝමීටරයක් වත් යනතුරු මා එසේ කරන විට සිතට දැනෙන්නේ පුදුම සතුටකි. මා අහිංසකයෙක් මරුකටකින් බේරා ගත්තා වැනි හැඟීමකි. මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඒ බාප්පලාගේ දවසම මස්තපාදු වෙන්ට - එකදු අහිංසකයෙක්වත් අහුවෙන්ට එපා ය කියා ය.
අන් රියදුරන් මා පසුකර යනවිට කෘතඥතාව පළකිරීමට නළාව නාද කරනු ඇසීම මගේ තෘප්තිමත් භාවය උපරිම කරවයි.
ළඟින් යන වෙන අත්දැකීමක් කාට කියන්නද මේ අවනඩුව....?









