Thursday, July 18, 2013

පියාඹන මාලුවා සහ තවත් කතා

Flying Fish ගැන කතිකාවතක් දැන් සමාජයේ ඇතිවෙමින් පවතී. මේ මොහොත වන විටත් මගේ බොහෝ මිතුරන් එය වාරණය කිරීම නිර්මාණශීලී කලාකරුවෙකුට කරන ලද බලවත් අසාධාරණයක් බව කියමින් සමාජ ජාලවල මහත් පෙරළියක් කරනු දක්නට ලැබේ.

සැබෑවටම එය අප හමුදාවට හෝ රට අපහසුතාවයට පත්කරනවා හෝ සිද්ධාර්ථ ගෞතමට අවමන් කරනවා නම් මා පෞද්ගලිකව එය අනුමත කරන්නේ නැත. නමුත් මා එය මෙතෙක් නරඹා නොමැති හෙයින් නිගමනයක් ලබාදීමට ඉක්මන් නොවෙමි.

එසේ වීමට හෝ නොවීමට පුළුවන. 

නමුත් දේශද්‍රෝහී හෝ බෞද්ධ විරෝධී තේමාවල දුවන නිර්මාණ ඔහු අතින් හෝ වෙනත් අයෙකු අතින් ජාත්‍යන්තර සම්මාන අරමුණු කර ගනිමින් නිපදවෙන්නේම නැතැයි කීම කුහක මුසාවකි. මන්ද අප හමුදාව පිළිකෙව් කරන සිංහල ජාතිකයින් සහ සිද්ධාර්ථ ගෞතම සමඟ බද්ධ වෛරයෙන් පසුවන කලාකාරයන් හා උග්‍ර මානව හිතවාදීන් යයි කියාගන්නා සමාජවාදීන් මා ළඟින්ම ඇසුරු කර ඇති හෙයිනි, දැනටත් කරන හෙයිනි.  

මා හොඳින්ම දන්නා වෘත්තීය වේදිකා නාට්‍ය හා සිනමාකරුවෙක් යයි කියාගන්නා මෙවැන්නෙක්, නිතරම පාහේ සිය ෆේස්බුක් ප්‍රෝෆයිලයේ පළකරන දෑ මගින්, රටේ නිල හමුදාවට හා බුදුදහමට අපහාස කිරීමේ අසහනයෙන් පෙළීමේ මානසිකත්වය මනාව ප්‍රකට කරයි.





රටේ පාලකයින්ට වෛර කිරීම සහ පාලකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින රටේ නිල හමුදාවට වෛර කිරීම මොහුට අනුව දෙකක් නොව එකකි. එමෙන්ම සමාජවාදය වැළඳ නොගෙන එවැන්නන් හට පාලන බලය නොදෙන සිය රටේ ජනතාව ගැනද ඔහුට ඇත්තේ සුළුපටු වෛරයක් නොවේ. අවසානයේ එය සිය රට වෙනුවෙන්ද අදාල වී ඇති සෙයකි මට නම් හැඟෙන්නේ.

මොහු සතුව තවත් අපූරු තියරියක් බලපවත්වයි. එනම් රටේ ජනතාව පාලකයින්ගේ සහ ධනපතින්ගේ මුග්ධ භාවය හමුවේ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමන කරන්නේ සහ ඊට එරෙහි එකම විසඳුම වන සමාජවාදය පිළිනොගන්නේ බුදුදහමෙන් ප්‍රගුණ කරවන උපේක්ෂාව සහ මෛත්‍රිය වැනි අප්‍රායෝගික විකාර නිසා බව මොහු තදින්ම විශ්වාස කරයි. පාලකයින්, සමාජයේ ධනවතුන් සහ විකල්ප අදහස් දරන 'ප්‍රතිගාමීන්' කෙරෙහි වැඩිදියුණුකරගත් පැසෙන ක්‍රෝධය යොදාගනිමින් ඔවුන් විනාශ කර  ඔහු සිහින මවන සමාජවාදී රාජ්‍යය ගොඩනැගීමට එය මහත් 'ඇණයක්' වී තිබේ.  මේ නිසා මොහු බුදුදහම සහ එහි නිර්මාතෘ ගෞතම සිද්ධාර්ථ කෙරෙහි අසීමාන්තික අසාධාරණ වෛරයකින් පසු වේ. 

බෞද්ධ දර්ශනයට එරෙහිව කිසියම් පුද්ගලයෙකු පහත් වෛරී අවමානයක් කළහොත් ලබන කාලකණ්ණි සතුටම, රටේ හමුදාව හෝ රටට විරුද්ධව කවුරුන් හෝ ප්‍රකාශයක් කළහොත් ඔහු ඉහළින්ම ලබයි.  
මේ පුද්ගලයා හුදෙක් කල්පිතයක් බව සහ මේ සටහන ප්‍රබන්ධයක් ඔබට හැඟීම නොවැලැක්විය හැකි බව දනිමි. නමුත් මේ මා හොඳින්ම දන්නා එක් අයෙක් පමණකි. මීට සමාන අදහස් ඇති පුද්ගලයින් ඕනෑ තරමක් ඔබට සැලකිල්ලෙන් නිරීක්ෂණය කළහොත් ෆෙස්බුක් අඩවියෙන්ම ඉතා පහසුවෙන් සොයාගත හැකිය. 

එන්.ජී.ඕ. සමඟ මේ මහා සමාජ ප්‍රේමියාගේ සම්බන්ධතාවයද ඉතා හොඳින්, පෞද්ගලිකව දනිමි. උපතින් සාමාන්‍ය වත් පොහොසත් කමින් යුතු පවුලක කෙනෙක් වුවද, ඉඳ හිට කලා නිර්මාණ වලට දායක වනවා හැරෙන්නට වෙනත් රැකියාවක් නොකරන මොහුට, පුච්චා ගිණි තපින්නට තරම් මුදල් තිබේ. කොටින්ම සතිපතා විදේශ සංචාරය. එනමුත් මොහු විදේශයන්හි නිරත වන කලාකටයුත්තක් නොමැත. සංචාරය කරනුයේ හුදෙක් විනෝදය පිණිසය.    

වෘත්තීය කලාකරුවෙකුට එවැනි මුදල් සම්භාරයක් කලානිර්මාණ වලින් සෙවිය නොහැකි බව දන්නේ ම'පියාද කලාකරුවෙකු හෙයින්ද, රටේ පිළිගත් කලාකරුවන් රාශියක් ඔහුගේ සමීප මිතුරන් නිසාද, ඔහුන් සමඟ පෞද්ගලිකව ඇසුරු කරන, ගෙදර දොරේ ප්‍රශ්න කතාකරන නිසා ය.  

මොහුගේ අධි සුඛෝපභෝගී දිවියේ රහස මෙරට කළාකරුවන්ට අතදෙනවා යයි කියමින් මොහු සබඳතා පවත්වන ජාත්‍යන්තර සංවිධාන බව මා පෞද්ගලිකව ඉතා හොඳින් දන්න කරුණකි. මාස කිහිපයකට වතාවක් මෙරට අහිංසක කළාකරුවන් ගේ දොර උකස් කර නිර්මාණය කරන කෙටි විත්‍රපට එකතුකරගන්නා මොහු රටින් පිටව යයි. ත්‍යාග මුදලක් ලැබූ කෙනෙක් නැත. ජයග්‍රහණය කළායයි ඔහු හුවා දක්වා වෙබ් අඩවිවල පළකරන කෙටි විත්‍රපට තනිකරම වෛරී මනසින් කරන ලද ගැටගැසීම් බව ඒවා බලන අයෙකුට පසක් වේ. සම්භාව්‍ය හෝ රැඩිකල් හෙවත් සම්ප්‍රදායික නොවන විදියට හිතනවා යයි කියමින් රටේ පිළිගත් සංස්කෘතික හෝ සදාවාර හර පද්ධතියට, විශේෂයෙන්ම බුදුදහමට හෝ බුදුන් වහන්සේට  සියුම් ලෙස අවමන් කිරීම මොහු සබඳතා පවත්වන සංවිධානයකින් සම්මාන ලැබීමට අවම සුදුසුකම වේ.

සැබෑ දිවියේදී හිඟන්නෙකුට රුපියලක් දෙන්නේ නැති නමුදු සිය විනෝදාශ්වාදය සඳහා ලක්ෂ ගණනින් නාස්ති කරන මේ මහා මානව හිතවාදියා සහ එවැනිම ආකල්ප, ඇවතුම් පැවතුම් ඇති ඔහුගේ නඩය, කොතෙක් රජයට විරුද්ධව වැඩ කළද සිය කීර්තිනාමය රැකගැනීම උදෙසා රාජ්‍ය නිලධාරීන් බිලිබාගැනීමට ඕනෑතරම් මුදල් විසිකිරීමට දක්ෂය.

රාජ්‍ය නාට්‍ය උළෙලේ මේ රැළ ඉදිරිපත් කළ එක් නාට්‍යයක් මම නැරඹීමි. ස්වතන්ත්‍ර යයි කියාගත් නමුදු, එය තනිකරම 'A Beautiful Sunday' නම් විදෙස් නිර්මාණයක පරිවර්තනයක් විය. මා එහි ඉංග්‍රීසි පිටපත කියවා ඇත්තෙමි. එකම වෙනස, චරිත වලට සිංහල නම් ප්‍රතිස්ථානගත කිරීම පමණකි. මා එම නාට්‍ය උළෙලේ වේදිකා නාට්‍ය 12ම නැරඹුවෙමි. අප සමඟ යාබද අසුන්වල සිටියේ ම'පියාගේ මිතුරන් සහ කෘතහස්ත කළාකරුවන් වන අහාවප්‍රාප්ත එච්. ඒ. පෙරේරා, නාලන් මෙන්දිස් වැනි ප්‍රවීණයන්ය. අපි දිනපතාම මේ දක්වා නැරඹූ නාට්‍ය ගැන එදින වේදිකාගත වූ නාට්‍ය අවසානයේ සමාලෝචනයක යෙදුනෙමු. ඒ අනුව නාට්‍ය උළෙල අවසානයේදී ඔවුන් විසින් විශිෂ්ට යයි තෝරන ලද වේදිකා නාට්‍ය 4ක් විය.

මා එහි සම්මාන ප්‍රදානෝත්සවයටද සහභාගී වුනෙමි. අරුමයකි! ප්‍රවීණ කලාකරුවන් නිර්දේශ කළ එකදු වේදිකා නාට්‍යයකටවත් කුසලතා සම්මානයක් හෝ හිමි නොවීය. එම නිර්මාණවලදී අප හඳුනාගත් දක්ෂතාවලින් පිරිපුන් සහ කැපී පෙනෙන රංගන කුසලතා දැක්වූ නළු නිළියන් කිහිපදෙනෙක් ගැනම අප බලාපොරොත්තු තබාගෙන සිටියද ඔවුන්ව අඩුගණනේ සම්මාන සඳහා නිර්දේශවත් වී නොතිබුණි. 

ප්‍රවීණයින් විසින් දුර්වලයයි නම් කරන ලද මුස්ලිම් ජාතිකයෙකුගේ වේදිකා නාට්‍යයකට දෙවන ස්ථානය හිමිවූ අතර, (තෙවන ස්ථානය හැර) පළමු ස්ථානය, හොඳම නළුවන් ආදී අන් සියළුම සම්මාන දුසිම් ගණනම දෙන ලද්දේ ස්වතන්ත්‍ර යයි කියමින් පරිවර්තනයක් ඉදිරිපත් කළ වංවාකරුවන්ටය. අප සමඟ සිටි සෑම වසරකම එම උළෙලට පැමිණෙන පුවත්පත් වාර්තාකරුවෙකු කීවේ ඒ ගැන පුදුම වීමට දෙයක් නැති බවත්, මීට පෙර අවස්ථාවලදීත් මෙය මෙයාකාරයෙන්ම සිදුවූ බවත්, ලංකාවේ නිර්මාණ වලට සම්මාන ලැබෙන්නේ එහි සාරවත්භාවයට නොව නිෂ්පාදක විසිකරන මුදල් ප්‍රමාණය මත බවය.

මෙරට රැඩිකල් සිනමා රැල්ලේ පෙරගමන්කරු ලෙස නම් කළ හැකි එක්තරා සිනමාකරුවෙකු දිනක් අප නිවසේ මිදුලේ අපේ තාත්තා සහ තවත් කලාකරුවන් කිහිපදෙනෙක් සමඟ අඩියක් ගසන විට ඇසුණ මේ දෙබස මගේ කණටම ඇසුණකි.

කලාකාර මිත්‍රයෙක්: "මචං ..... උඹ වෙනස් විදියට හිතන, කෙළින් කතාකරන හිතහොඳ එකෙක් බව දන්නවා. උඹේ ටැලන්ට් එක ගැනවත් උඹේ ෆිල්ම්ස් වල කොලිටිය ගැනවත් කිසිම අවුලක් නෑ. ඒත් උඹට අපේ මිනිස්සුගෙ ගෙවල් අස්සෙ හැංගිලා තියෙන කුණුගොඩවල් ඇදල විත්‍රපටි හදනවට එන්.ජී.ඕ. වලින් ගෙවනව කියන්නෙ ඇත්තද..?"

"ඔව්. මට ගෙවනවා. ඇත්ත. මට මගේ නිර්මාණ කරන්න උන් ඇරෙන්න මොකෙක්වත් සත 5ක් වත් දෙන්නෙ නෑ."

"ඒ කියන්නෙ උඹ උන්ට විකිණෙනවා..?"

"අපි කවුරුත් එක එක විදියට එක එකාට විකිණෙන මිනිස්සු. වෙනස තියෙන්නෙ අපි විකිණෙන්නෙ මොකාටද, කීයකටද කියන එක විතරයි." 

මෙරට මහා යථාර්ථවාදී මානවහිතවාදී වෙනස් විදියට හිතන රැඩිකල් නිර්මාණකරුවන් බොහොමයකගේ නිරුවත එසේය. 

Flying Fish නිපදවූ පුද්ගලයා මා එම කැටගරියට දමන්නට හදිස්සි වන්නේ නැති නමුදු තමන්ගෙ අම්මාගේ නිරුවත පෙන්වා හෝ (ඇතැම් විචාරකයින්ට අනුව එය පට්ට රැඩිකල්ය. භාවාත්මකය.) එන්.ජී.ඕ, හෝ කොටි මුදල්, ජාත්‍යන්තර සම්මාන කඩාගන්නට බලාගෙන ඉන්නා උන් සිටීම කිසිදා විය නොහැකි අභව්‍ය සිදුවීමක් නොව, ප්‍රායෝගික යථාර්ථයක් බව ඉඳුරාම කියමි.  

8 comments:

  1. චනල් ෆෝ එකට කෑලි දෙන්නෙත් අපෙම උන් කොට, තව කුමන කතාද?

    මෙම චිත්‍රපටය ගැන කිසිවක් කිව නොහැක්කේ මා එය නරඹා නොමැති බැවිනි. නමුත් එය රැගුම් පාළක මණ්ඩලයට ඉදිරිපත් කර නැති බව පමණක් ඊයේ දැන ගතිමි. එසේ අවසර නොමැතිව මෙරට තුල ප්‍රදර්ශණය කිරීම, සදාචාරයට එකඟද...?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නෑ මාතලන්.
      තමන්ගෙ අම්මාගේ නිරුවත පෙන්වා හෝ (ඇතැම් විචාරකයින්ට අනුව එය පට්ට රැඩිකල්ය. භාවාත්මකය.) එන්.ජී.ඕ කොටි මුදල්, ජාත්‍යන්තර සම්මාන කඩාගන්නට බලාගෙන ඉන්නා උන් මේ රටේ පැහැදිලිවම ඉන්නවා.

      Delete
  2. මේ රටේ හැමදේම විකිණෙන්නෙ මුදලට. දක්ෂයාට කෝ ඉඩ ලෝකේ . දක්ෂයාට කට ඇරගෙන බලාන ඉන්න වෙන්නෙ

    ReplyDelete
  3. ඔබ මෙහි දක්වා ඇති අදහස් වලට අතිශයින්ම සමාන අදහස්, වරක් මට ලංකාවේ සිටින ප්‍රවීණ වේදිකා/සිනමා නළුවකු කිව්වා. තව ටික දවසක් යනවිට නාට්‍ය අනු මණ්ඩලය, ප්‍රසිද්ධ (මහජන නේද නිවැරදි වචනය) රැඟුම් පාලන මණ්ඩලය, සාහිත්‍ය මාසය වෙනුවෙන් වාර්ෂිකව කෙරෙන නිර්මාණ ඇගයීම, වැනි සියලු කටයුතු සඳහා, ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයන්,නිසි බලධාරීන් බවට පත්වනු ඇති. ඉගිල්ලෙන මාළුවෝ නිෂ්පාදකයාට කළහැකි එක දෙයක් තිබෙනවා. අපිට එය නැරඹීම සඳහා අන්තර්ජාලයට එකතු කිරීමයි ඔහු කලයුත්තේ. එවිට අපට ඒ චිත්‍රපටිය ගැන විවෘතව කතාකල හැකි වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
  4. //"මචං ..... උඹ වෙනස් විදියට හිතන, කෙළින් කතාකරන හිතහොඳ එකෙක් බව දන්නවා. උඹේ ටැලන්ට් එක ගැනවත් උඹේ ෆිල්ම්ස් වල කොලිටිය ගැනවත් කිසිම අවුලක් නෑ. ඒත් උඹට අපේ මිනිස්සුගෙ ගෙවල් අස්සෙ හැංගිලා තියෙන කුණුගොඩවල් ඇදල විත්‍රපටි හදනවට එන්.ජී.ඕ. වලින් ගෙවනව කියන්නෙ ඇත්තද..?"

    "ඔව්. මට ගෙවනවා. ඇත්ත. මට මගේ නිර්මාණ කරන්න උන් ඇරෙන්න මොකෙක්වත් සත 5ක් වත් දෙන්නෙ නෑ."

    "ඒ කියන්නෙ උඹ උන්ට විකිණෙනවා..?"

    "අපි කවුරුත් එක එක විදියට එක එකාට විකිණෙන මිනිස්සු. වෙනස තියෙන්නෙ අපි විකිණෙන්නෙ මොකාටද, කීයකටද කියන එක විතරයි."//

    මේ කෑල්ලට එකගයි...

    ReplyDelete
  5. ඔවු මචන් සිරාවට අපිට තියෙනව එළකිරි වගේ පිරිසිදු සිනමාවක්. සිරි පැරකුම් මහින්දාගමනය සිරි දළදා වත සිද්ධාර්ථ ගෞතම ඔය තියෙන්නේ ෆිල්ම් බලනව නම්.ඉස්සර හිටපු කුපාඩියෝ ටිකක් හැදුව අහස් ගව්ව බඹරු ඇවිත් සුද්දිලාගේ කතාව වගේ මේ රටේ අභිමානය සදචාරය නීච කරන දහ ජරාවල්.දැන් එහෙම නැහැ සිනමවෙනුත් අපි ධර්ම රාජ්ජයක්!බලපන් මුන් හදන දහජාරව .හොඳයි අපේ ආමි එකේ කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් තියෙනවද සිගරට් අරක්කු කටේ තියෙනවද.උදේට රේඩියෝ එකේ පිරිත් අහල හන්දියක් හන්දියක් ගානෙ වැඩ ඉන්න පිළිම වහන්සේලාට වැඳ වැඳ යන අපි ස්ත්‍රී දුෂණ සෙක්ස් කුණුහරුප වගේ දේවල් දන්නේ නැති මල් වගේ ජනතාව.එහෙවු අපිට බුධ්ධාලම්බන ප්‍රීතිය ඔද වැඩෙන විදිහේ රජ කතාවක් දුන්න නම් මේ මුකුත් නෑ .නැත්නම් අර ජැකා රවීන්ද්‍ර මාලනී වගේ සිනමාව ඉවරයි කියල අඬ අඬා පලයවුකෝ කඩේ!

    ReplyDelete
  6. // සිය ෆේස්බුක් ප්‍රෝෆයිලයේ පළකරන දෑ මගින්, රටේ නිල හමුදාවට හා බුදුදහමට අපහාස කිරීමේ අසහනයෙන්//
    ඔබ උපුටා දක්වා ඇති FB ප්‍රෝෆයිලයේ පලමු කොටසින් හමුදාවට අපහාසයක් සිදුවී ඇත්නම් එය හමුදාව විසින්ම කරගත් දෙයක් බව ඔබට නොපෙනේද?

    ReplyDelete