Thursday, July 4, 2013

මෙවැන්නන්ට කුමක් කරමුද...?

මම මේ කියන සිද්ධිය සිදු වී තවම පැය කිහිපයක් පමණි ගත වී ඇත්තේ.
මා සේවය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේය. එහි ආචාර්යවරයෙක්මි. 

මාතර නගරයට ස්චයංක්‍රීය මාර්ග පාලන සංඥා (Traffic Lights) හඳුන්වා දෙන ලද්දේ මේ මෑතකදි. ඒ නිසාම මිනිස්සුන්ට වැඩිය හුරු නැත.
ඊයෙ සවස මා Traffic Light එකක වාහනය නවතාගෙන සිටිනවිට වම් පැත්තේ තිබුණ ඉතාම සීමිත ඉඩ ඔස්සේ මෝටර් බයිසිකලයක් පැමිණ මගේ වාහනේ රියදුරු අසුනට සමාන්තරව එහා පැත්තේ නැවැත්වීය. 
මා එච්චර ගණනකට ගත්තේ නැත්තේ හැමදාමත් ත්‍රීවීල් රියැදුරන්, මෝටර් බයිසිකල් කරුවන් ඔහොම රිංගන එක අරුමයක් නැති නිසා ය. 
ඒත් මේ හාදයා මා බලාපොරොත්තු නැති දෙයක් කළේය. වීදුරුවට මහත් කළබලයෙන් තඩිබාන්නට විය.

මා ක්ෂණිකව වීදුරුව පහත් නොකරන්නට වීදුරුව කුඩු වී යනු නොඅනුමානය. එකෙණෙහිම මා සවනත වැකුණේ නොසරුප් වදන් පෙළකි.

එකට එක කරන්නට යාමෙන් දෙවැන්නාද වරද මුළින් කළ කෙනාගේම තත්ත්වයට වැටෙන නිසා මා ඉවසා සිටීමි.

මට කියන්නට අවශ්‍ය වූයේ මෙයයි.

වාහනයක පාලනය අතට ගන්නා තැනැත්තාට ඉවසීම සහ විනය යන ගුණයන් මනා ලෙසම අත්‍යවශ්‍ය ය. කණගාටුවට කරුණ වන්නේ ලංකාවේ, විශේෂයෙන්ම එකී රියැදුරන් දෙපිරිසේ (යතුරු පැදි හසුරුවන ගුරු භවතුන් ආදී රජයේ සේවකයින් හැර) සහ බස් රථ රියැදුරන්ගේ විනය නම් ගන්නම දෙයක් නැති බවය. ඔවුන් ලැබූ අඩු අධ්‍යාපනය ඊට හේතුවක් විය හැකි ය. 

රියැදුරු බලපත්‍රය ලබාදෙන විට රිය පැදවීමේ හැකියාව සහ මාර්ග සංඥා පිළිබඳ දැනුම පමණක් පරීක්ෂා කිරීම මොවුන්ගේ විනය මෙතරම් පිරිහීමට හේතුවයි. 

රියැදුරු බලපත්‍ර ලබාදීමේදී අධ්‍යාපන සුදුසුකම් සැලකීම ප්‍රායෝගික නොවන බවද සත්‍යයකි.එසේ වුවද රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී රියැදුරන්ගේ ඉවසීම සහ විනය පිළිබඳව මීට වඩා සැලකිළිමත් විය යුතු බව මගේ පෞද්ගලික මතයයි. එම ගුණාංග ඇගයීමට යම් ක්‍රමවේදයක් තිබුණේ නම් වඩාත් හොඳය.

කෙසේ වුවත් මෙය තනිකරම පුද්ගල ආකල්ප (attitude) හා තදින් බැඳී පවතින්නකි. 
නීතියෙන් විනය හදනවා යන්න යථාර්ථයක් නම් ඉතා දැඩි විනයක් පවත්වාගෙන යන හමුදාවෙන් පැන්න ගමන් මිනිසුන් සමාජ විරෝධීන් වන්නේ නැත.

මෙයට කුමක් කරමුද...? 

මේ හා සමාන තවත් අමිහිරි අත්දැකීමක් මෙය.
කාට කියන්නද මේ අවනඩුව....?

5 comments:

  1. ඔය ගැන හිතලා හිතලා දවසක් ලිව්වා පෝස්ට් එකක්... ඒකට වැටුනු කමෙන්ට් ටික මරු...

    ලංකාවෙදි නීතියට වාහන එළවන්න බැරි ඇයි.....?

    ReplyDelete
  2. ඒ වෙලාවට වීදුරැව අරගෙන හිනා වෙවි ඉන්න පුලුවන් නම් මරු..

    ReplyDelete
  3. අපටත් මේවාගේ දේවල් වෙලා තියෙනවා. අපි හිනා වෙලා යනවා. අපේ ලේ නරක් කරගන්නෙ ඇයි? අපි. කිසිම විනයක් හා ඉවසීමක් ඇත්තෙම නෑ මේ අයගෙ. මේවා රියදුරු පාසැල් වලින්ම හෝ බලපත්‍ර නිකුත් කරනා ආයතනවලින්ම කලයුතුයි. අපේ මහත්තයාගේ තාත්තා ඉන්න කාලෙ හරියට ප්‍රෙෂර් නග්ගා ගන්නවා මේ නිසා.

    ReplyDelete
  4. මොනවා කරන්නද අප්පා,ඔව්වාට අපිත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න ගිහින් ඒකා ප්‍රාදේශීය ලොක්කෙක් එහෙම නම් අපිට ගුටි කාලා අපිම ගහගත්තා කියන්නනෙ වෙන්නේ,ඒ හින්දා ඔය අමනයින්ව ගණන් ගන්න එපා.

    ReplyDelete
  5. ඔකට කියන්නෙ මචන් සත්තුත් එක්ක පාරෙ යැම කියල

    ReplyDelete