Friday, July 5, 2013

ෆේස්බුක් මචංලා

උදේ පාන්දරම මෙහෙම සටහනක් තැබීමට සිදුවීම කරුමයකි. එක අතකට මෙය කිසිම තේරුමක් නැති ලියවිල්ලකි. එහෙත්, අපේ රටේ ෆේස්බුක් භාවිත කරන්නන්ට ඇඟිල්ලෙන් ඇන මේවා කියා දීමට සිදුවීමට තරම් මූලික ආචාර ධර්ම (Fundamental Ethics) අතින් පිරිහී ඇති බව වැටහෙන විට දැනෙන්නේ කණගාටුවකි.

ෆේස්බුක් හි සම්බන්ධවන සෑම අයෙකුම එම සන්දර්භයේදී සැලකෙන්නේ මිතුරකු හැටියටය. එය හුදෙක් සබඳතාවක් නිරූපණය කිරීමට යොදාගැනෙන යෙදුමක් පමණක් බව ඇතැම් නවක සාමාජිකයින්ට වටහා ගැනීමට නොහැකි වී තිබේ. උදාහරණයක් ලෙස ඔබේ ගුරුවරයෙකු ඔබේ ආරාධනය පිළිගත් පළියට ඔබට ඔහුට 'මචං' කීමට නොහැකිය.

මා දිනකට මචං යන ආමන්ත්‍රණය සැබෑ ලෙසම ලබන්නේ ඉතා කලාතුරකින්ය. ඇතැම් දිනවල අන්තර්ජාල ඔස්සේ සමාජ ජාලයකින් හෝ ස්කයිපි වලින් පමණක් එම ආදරණීය ආමන්ත්‍රණය ලැබේ. අප දෙපාර්තමේන්තුවේ පිරිමි ආචාර්යවරු ඉතාම අල්ප වීම ඊට හේතුවයි.
එහෙත් අන්තර්ජාලය ඔස්සේ මට මචං කියන බොහෝ දෙනෙකු මා පෞද්ගලිකව හඳුනන්නන් නොවෙති. මෙවැනි එක් මචං කෙනෙකු මෑතකදී තමා යන්තමින් සාමාන්‍යපෙළ සමත්වූයේ යයි ප්‍රසිද්ධ කර තිබෙනු දුටිමි....! (මා සාමාන්‍යපෙළ සමත් වී දැනට වසර 14ක් පමණ වේ.)

මීට මාස කිහිපයකට පෙර සිදුවූ සිදුවීමක් මෙසේය:

සරසවියේ තෙවන වසර ප්‍රායෝගික ක්‍රියාකාරකමක් අධීක්ෂණය කිරීම සඳහා මම ප්‍රධාන පරිගණක විද්‍යාගාරයට පිවිසියෙමි. එක් තරුණයෙක් මා දැක ළඟට පැමිණ "සුනෙත් අයියා නේද..?" යි ඇසීය. මා සිතුවේ ඔහු ප්‍රදර්ශකවරයෙක් කියාය. කොහොමත් අප සහය ආචාර්ය මණ්ඩලය නිතරම වෙනස් වේ. බොහෝ දෙනෙකු ස්ථිර රැකියාවක් ලද විලස ප්‍රදර්ශක ධූරයට සමුදෙන නිසා ඔවුන්ගේ අඩුව පිරවීමට නවකයින් බඳවා ගැනීම සාමාන්‍ය දෙයකි.

එහෙත් අප විශ්වවිද්‍යාලයේ සහය ආචාර්ය මණ්ඩලයේ කිසිවකු ආචාර්යවරුන්ට නම කියා හෝ අයියා, අක්කා කියා අමතන උප සංස්කෘතියක් නැත. මේ නිසා මා සහ අට දෙනෙකුගෙන් සමන්විත මගේ සහය ආචාර්ය මණ්ඩලය එකී ඇමතීමෙන් පත්වූයේ අපහසුතාවයකටය. වඩාත් බලපතල කාරණය වන්නේ එකී පුද්ගලයා, අප කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් නොව, ශිෂ්‍යයෙක් වීමයි!

කන්නන්ගර දරුවෝ ෆේස්බුක් පිටුවේ ඇඩ්මින් වරයා / වරුන් මගෙන් කරන ලද නිල ආරාධනයකට අනුව 'ප්‍රොෆෙසර්ගේ තාක්ෂණික සටහන' නමින් බ්ලොග් අඩවියක් ඇරඹීමි. වරක් මා අසල්වැසි සොයුරකුගේ නිර්මාණයක් වන සබ්මැරීනයක් පිළිබඳව එහි සටහනක් තැබුවෙමි. එයට දස දෙසින් ප්‍රතිචාර ගලා එන්නට විය. ලංකාවේ විවිධ නව නිර්මාණ කරුවන් ඒ අතර විය. මා සරසවි ඇදුරෙක් ලෙස පැහැදිලිව එහි සඳහන්ව තිබියදීත්, මේ වන විටත් පාසැල්/උසස් අධ්‍යාපන ආයතන/කාර්මික විද්‍යාල ශිෂ්‍යයන් වන බොහෝ දෙනෙකු මට ඇමතීමට යොදාගෙන තිබුනේ මචං ෆිට් එකය. 

සංයුක්ත තැටි මුද්‍රණය කරන යන්ත්‍රයක් නිපදවූ තවමත් ශිෂ්‍යයකු වූ එක් තරුණයෙක් මෙසේ කියා තිබුණි. 
"උඹේ අඩවිය මේ වගේ ඒවාට තැනක් දෙන නිසා මේකත් පළ කරපන්."
තවත් එක් පුද්ගලයෙකුව බේරෙන්නට බැරි තැන මගෙ ෆේස්බුක් ගිණිමට එකතු කර ගතිමි. තවමත් ශිෂ්‍යයෙකු වූ ඔහුගෙන් මා ලද පලමු ඇමතුම "හලෝ අංකල්" ය. 

මට බලෙන් 'සර්' කියවාගැනීමට අවශ්‍ය නැත. ගෞරවය යනු ඉල්ලා සිටිය යුතු දෙයක් නොව, ක්‍රියාවෙන් උපයාගත යුත්තක් බව දනිමි. 

මා කියන්නේ මට මචං, අයියා / මල්ලී කියන්නට එපා කියා නොවේ. ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය.

එහෙත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ දැනටමත් ශිෂ්‍යයෙක් නම්, ඔබට වඩා වසර ගණනාවක් වැඩිමහල් කෙනෙකුට අයියා හෝ මචං කීමට පෙර දෙවරක් සිතන ලෙසයි. 
මන්ද, ඒ අයියා හෝ මචං, ඔබේ ගුරුවරයා හෝ ආයතන ප්‍රධානියා වූ දිනක ඔබට මෙන්ම ඔහුටද ඔබ එසේ අමතන විට අපහසුතාවයක් දැනීම නොවැලැක්විය හැකි නිසා ය.

ප.ලි. මෙතුමා වැනි බොහෝ දෙනෙකු මෙහි ඇතැම් වචන නොදැක සිටීම හේතුවෙන් මට මේ සටහන තොරණක් බවට පත්කිරීමට සිදුවිය. එසේ වුවද එහි මුල් අන්තර්ගතය කිසිදු ආකාරයකින්වත් වෙනස් කර නොමැත. (සමාවන්න. එක් තැනක 'තවමත් ශිෂ්‍යයකු වන' යන්න යෙදීමට මට අතපසු වී ඇති බව මා පිළිගනිමි. ඇතැම් විට මේ සියළුම වැරදි වැටහීම් ඒ නිසා විය හැකි බවද, එය මා අතින් සිදුවූ මුද්‍රණ දෝෂයක් බවද සඳහන් කරනු කැමැත්තෙමි. ඒ හැර මෙහි වෛවර්ණ ගන්වන ලද අන් සියල්ල, ඒ වනවිටත් මෙහි තිබූ ඒවාය.) ඔබටත් තවදුරටත් එසේ වචන මගහැරෙන අක්ෂි දෝෂයක් තිබේනම් කරුණාකර මෙහි මාතෘකාව යළිත් කියවා බලන්න. විශේෂයෙන් ෆේස්බුක් හා මගේ අනෙත් අඩවිය උදෙසා බලපැවත්වුවත් මෙය සමස්ථ බ්ලොග් ලෝකය උදෙසා ලියන ලද්දක් නොවන බව තවමත් ඔබ විශ්වාස නොකරයි නම්, කණගාටුයි, ලකී මහතා අතින් ඔබේ මනස අපයෝජනය ලක්ව ඇති බව කීමට සිදුවේ. 

28 comments:

  1. ඔතන තියෙන ප්‍රශ්නේ මට තේරෙන නම් ගොඩක් අය දැකලා, අඳුරගෙන, කතාබහ කරලා ( කටහඬින්) වයස බලලා නෙවෙයි ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්නේ... අනිත් එක තමන් කවුද, කරන්නේ මොනාද කියන එක ගැන බොරු කතා මහ ‌ගොඩක් අතරේ ගොඩක් අය තමන්ගේ ඇත්ත තොරතුරු හෙළිකරන්නෙත් නෑ... ඉතිං එහෙම එකේ මං හිතන්නේ කාට හරි කෙනෙක්ගේ වයස තීරණය කරගන්න අමාරු වෙන එක සාධාරණයි කියලා.. වයසින් වැඩියි කියලා හිතෙනවා නං අයියා, අක්කා, ඇන්ටි, අන්කල් කියලා එක සාමාන්‍යයි මං හිතන්නේ... එහෙම ෂුවර් නැත්නම් ඉතිං මොකවත්ම නොකිය නම කියලා කතා කරන්න ඕනේ.. ඒත් අපේ රටේ ගොඩක් අයට එහෙම කතා කරලා පුරුද්දක් නෑ.. නෑකමක් දාගන්නම ඕනේ.. ඒක මං හිතන්නේ අපේ ලෙඩක්... හැබැයි සාමාන්‍යයෙන් කලින් ඉඳලම දන්න කෙනෙක්ට නම් ‌ෆේස්බුක් එකේදි ඔය ප්‍රශ්නේ එන්නේ නෑ.. මං දන්න විදියට..

    (සරසවි ඇඳුරෙක් කියලා දාලා තියෙන කෑල්ල ටිකක් හයිලයිට් වෙන්න දාන්න.. එතකොට වත් ඔය පොට්ටයොන්ට පේන්නේ නැතෑ...)

    හැබැයි මං දැකලා තියෙන විදියට සමහර පෞද්ගලික ආයතන වල සර් සහ අයියා අක්කා කීම සම්පූර්ණයෙන් තහනම් ... බොස්ටත් මිස්ටග නම කියලා හෝ තනතුරු නාමයෙන් කතා කරන්නේ.. මම නම් ඒකට කැමතියි... මොනවා උනත් කාර්යාලයෙදි හැමෝම පඩියකට රැකියාවක් කරන අය... කාටවත් සර් කියන්න දෙයක් එතන නෑ...

    දැන් මෙතන කමෙන්ට් කරන මම උනත් මේක ලියන කෙනා කවුද, එයාගේ වයස කීයද කියලා දන්නේ නෑනේ... හි හි.. ඉදිරිපත් කරන අදහසට අදහසක් දක්වනවා පමණයි...

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව හරි. මම එකඟයි. මම කිව්වෙ බ්ලොග් එකේ නෙමෙයි හිරු. බ්ලොග් එකේදි මම එහෙම බලාපොරොත්තු වෙන්නෙ නැහැ කොහොමටත්. ඒක අසාධාරණ බව ඇත්ත.
      ෆේස්බුක් එකේ මගේ ප්‍රොෆයිල් එකේ අවශ්‍ය සියළුම විස්තර තියෙනවා. කිසිම එකක් රිස්ට්‍රික්ට් කරල නැහැ. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ප්‍රශ්නේ ඔයා කිව්වත් වගේ ගොඩක් අය තමන් ඇඩ් කරගන්න යන කෙනාගෙ විස්තර කවුරුවත් බලන්නේ නැති එක. මගෙත් වැරැද්දක් තියෙනවා. ඒ තමයි එහෙම හරියට විස්තර පෙන්නන්නෙ නැති දන්නෙ නැති අයව ඇඩ් කරගන්න එක. දැන් ඒක ගොඩක් දුරට හදාගෙන තියෙන්නෙ.
      අදහස් දැක්වීමට ස්තුතියි.

      Delete
    2. හිරු, ලංකාවෙ මිනිස්සු නොදන්න කෙනෙකුට උනත් නෑකම් කියන්නේ ඒක අපේ ලෙඩක් නිසා නෙවෙයි ඒක ආසියාතික සංස්කෘතියේ ලක්ෂණයක් නිසා.පෞද්ගලික කාර්යාල වල මිස්ටර් කියලා නම කියලා කතා කරන්නේ ඒවා බොහෝ විට බටහිර සංස්කෘතීන් වලට අනුව ක්‍රියා කරන නිසා.

      Delete
  2. ලංකාවෙ බොහො දෙනෙක් ලග සංස්කෘතික ප්‍රස්නයක් තියෙනවා ඒක වෙනස් කරන්න දීර්ග කාලයක් හා බොහො වෙහෙසක් දැරිමට සිචුවෙනවා. මෙතනදි මගෙ අදහස නම් අපි අන්‍යන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතු බවයි. එවිට පසුතැවීමට හො කලකිරිමට හො පත් නොවී සිටිය හැකිවනු ඇත.

    ReplyDelete
  3. නොදන්නා පුද්ගලයින් ෆේස්බුක් එකට දා ගැනීම නම් එතරම් නුවනට හුරු නෑ!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඉතින් අපිට වඩා අවුරුදු ගනනාවක් ඔයා වැඩිමල් යයි කියමුකෝ....... මම ඔයා කොහොම කෙනෙක්ද ගුරුවරයෙක්ද ප්‍රොෆෙසර් කෙනෙක්ද..... කියල දන්නෙත් නැත්තන්........ මම ආදරණීය විදියට.." අයිය" කියල කතා කරයි කියල ප්‍රශ්නයක් නැහැනෙ.. සමාජ ජීවිතයෙදි හැමෝම තමන්ට සර් කියල කියන්න ආසයිනම්...ඉතින් ඒක ... එයාට කියල දෙන්න වෙනවා...ඔයා මට කතා කොරද්දි සර් කියල අමතන්න කියල.... හැබැයි තමන්ට වඩා වැඩිමල් අයෙකුට " මචන්" කියල අමතන එකනම් ටිකක් හරි නැති වැඩක්. ඔයා කන්නාඩියක් එහෙම දාල කොන්ඩෙත් ටිකක් පැහිල වයසකයි වගේ දැනුනම් එතින් "අන්කල්" තමා කියන්න වෙන්නෙ හැබැයි ඔයාගෙ පැත්තෙන් ගත්තොත් ඔයා ආස නැතුව ඇති එහෙම කියනවට ඉතින්.............. ඔයා කව්ද කින්ද මන්ද ටික දන්න අය සර් කියල කතා කරේ නැත්තන් ඉතින් ඒක බලවත් අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ප්‍රශ්නය වුනේ ෆේස්බුක් සම්බන්ධවයි. මේ බ්ලොග් එකට එච්චරම සම්බන්ධයක් නෑ. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ මේකෙදි නැති වුනාට මගේ ෆේස්බුක් ප්‍රෝෆයිලයෙ හැම විස්තරයක්ම අඩංගු වෙලා තිබීමයි. මගේ ඇත්ත ෆොටෝ එක තමයි එහි ප්‍රෝෆයිල් පික්චර් එක විදියට දාල තියෙන්නෙ. එහි කිසිම ලාබාල පෙනුමක් නෑ.
      ප්‍රොෆෙසර් ගේ තාක්ෂණික සටහනේ පැහැදිව සඳහන් වෙනවා මම සරසවියක ආචාර්යවරයෙක් කියලා හැම පෝස්ටුවකම වාගේ. ඔය ප්‍රශ්නෙ වෙන බව දන්න නිසා.
      මම ආයෙත් කියන්නෙ මට හැමෝටම කියල බලහත්කාරෙන් 'සර්' කියවගන්න ඕන නෑ. නමුත් කවුරුහරි කැමැත්තෙන් ඒක කරනවනම් ඒක මට කරන පෞද්ගලික ගරු කිරීමක් නොවෙයි, සමස්ත ගුරු පරපුරටම කරන ගෞරවයක් බවයි මට හැඟෙන්නෙ.
      මේ බ්ලොග් එකේදෙ මම කොහොමත් එහෙම ආමන්ත්‍රණයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. වෙන්නත් බෑ. බ්ලොග් රචකයෙක් කියන්නෙ බ්ලොග් රචකයෙක්. ඔහු මහාචාර්යවයෙක් වුනත් එකයි, වෙන ඕනම වෘත්තිකයෙක් වුනත් එකයි. මෙතනදි වැදගත් වෙන්නෙ ඔහුට කොතරම් ලගන්නා සුළු විදියට ලියන්න පුළුවන්ද කියන එක පමණයි.
      නමුත් අධ්‍යාපනික බ්ලොග් එකක තමන්ට අකුරක් හරි කියල දෙන කෙනාට මචං කියනවනම්, කෙනෙක් ගුරුවරයෙක් බව දැන දැනත් ශිෂ්‍යයෙක් (හොඳින් බලන්න මම ඕනෑම වෘත්තියක් කරන කෙනෙක් මේ කුළකයෙන් අයින් කරල තියෙන්නෙ.)ඔහුට අයියා, මචං කියනවනම් එතන ප්‍රශ්නයක් නැද්ද?

      Delete
    2. අන්න ඒකනම් සත්‍යක්..................

      Delete
    3. අන්න ඒකනම් සත්‍යක්..................

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හෙහ් හෙහ් .. මාර හීන-මාන පොරවල් නෙ දැන් විස්ස් විජ්ජයාලවල ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ගෙන් 'සර්' කියලා කතා කරයි කියලා බලාපොරොත්තු වෙන එක හීනමානයක්ද...? දැන් එතකොට ඔයා තමන්ට උගන්නපු ගුරුවරුන්ට කතා කරන්න කැමති මචං කියලද...?
      ලංකාවේ සමහරුන්ගෙ කඳ මෙහෙ උනාට හිතින් ජීවත් වෙන්නේ එක්කෝ අමරිකාවෙ. නැත්නම් රුසියාවෙ. ඇමරිකාවෙ විදියටනම් ඉතින් තාත්තට කතාකරන්නෙත් නම කියලනෙ. බොරුනම් නයිට් රයිඩර් අළුත් සීරිස් එකේ පළමුවැනිම කතාව බලන්න. ඔබතුමාලා හීනමානය නෑ කියලා මහලොකුවට අගය කරන්නේ ඒ සංස්කෘතියනෙ. මම දන්න සමාජවාදියෙක් ඉන්නවා මිනිහ තාත්තට කතාකරන්නෙ 'සහෝදරයා' කියලා. එහෙම සංකෘතියක්ද ඔබ අගය කරන්නෙ? ලංකාවත් එහෙම වෙන්නද ඔබට ඕනා...?

      Delete
  9. මා "සර්" කියා (මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙක් වන) මගේ PhD සුපර්වයිසර් වරයා (සුප්පා, සුපර්වයිසර් කාරයා ආදි නම්ද ලාංකිකයින් අතර ජනප්‍රිය ය ) ඇමතූ විට ඔහු සිනහා වෙමින් පැවසුවේ
    " I'm Not knighted YET! call me by my name" කියාය.

    මගේ ඇමරිකානු සුප්පා මා අමතන්නේ " Hi Man! how is the experiment" කියාය.

    ReplyDelete
  10. හොඳම දේ නමින් ඇමතීමයි. මේ සයිබරය තුල කවුරුත් ලොකුත් නැත කවුරුත් පොඩිත් නැත.

    ReplyDelete
  11. බ්ලොග් එක බලපු ප්‍රථම වතාව නිසා කමෙන්ට් කරන්න හිතට ආව දේ මම කමෙන්ට් කරන්නේ නැහැ ..

    අනේ මන්දා හීනමානය කියන්නේ මේකට නේද ,

    ReplyDelete
    Replies
    1. ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ගෙන් 'සර්' කියලා කතා කරයි කියලා බලාපොරොත්තු වෙන එක හීනමානයක්ද...? දැන් එතකොට ඔයා තමන්ට උගන්නපු ගුරුවරුන්ට කතා කරන්න කැමති මචං කියලද...?
      ලංකාවේ සමහරුන්ගෙ කඳ මෙහෙ උනාට හිතින් ජීවත් වෙන්නේ එක්කෝ අමරිකාවෙ. නැත්නම් රුසියාවෙ. ඇමරිකාවෙ විදියටනම් ඉතින් තාත්තට කතාකරන්නෙත් නම කියලනෙ. බොරුනම් නයිට් රයිඩර් අළුත් සීරිස් එකේ පළමුවැනිම කතාව බලන්න. ඔබතුමාලා හීනමානය නෑ කියලා මහලොකුවට අගය කරන්නේ ඒ සංස්කෘතියනෙ. මම දන්න සමාජවාදියෙක් ඉන්නවා මිනිහ තාත්තට කතාකරන්නෙ 'සහෝදරයා' කියලා. එහෙම සංකෘතියක්ද ඔබ අගය කරන්නෙ? ලංකාවත් එහෙම වෙන්නද ඔබට ඕනා...?

      Delete
  12. මම නම් මචං සමානාත්මතාවය කියන සංකල්පයට හරි කැමතියි.

    මගේ රැකියා ස්ථානයේ අපේ කොම්පනියේ අයිතිකාරයා උනු අවුරුදු 60ක විතර වයස ලොක්කට අපි "සෑර්" කිව්වොත් එයා ඒ වෙලාවෙම අපිට කියන්නේ "මට තාම රැජිනගෙන් නයිට් නාමේ හම්බ උනේ නෑ ඒක නිසා මගේ නම කියල මට කතා කරපන්" කියලා . .

    පුද්ගලිකව මමත් කැමතියි කිසි වෙනසක් නැතුව හැමෝම මට මචං හරි මගේ නම හරි කියලා කතා කරනවනම්.

    ReplyDelete
    Replies
    1. මේ කියලා තියෙන්නේ ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයට මචං කියන එක හරි නෑ කියන එක මිසක් උඹලා මට මචං කියන එක නෙමෙයි මචං. තහර නැතුව මගේ අනිත් කමෙන්ට්ස් කියවලා බලපන් මචං..ප්ලීස්...

      Delete
  13. Lankaawedi Guruwarayata "Sir" kiyalath, Guruwariyata "Teacher, ms, Madam" kiyalath kiyanna apita podi kaaledima kiyala denawa. Purudu karanawa. E unath, oke hari wachane "Teacher". Kantha/ Purusha bedayak e wachaneta na. Ithin guruwarayata "Sir" kiwa yuthu na kiyana kathaawa hari eka athakata.
    Anika, wachanayen kohoma amathuwath, kriyaawen, hadawathin garu karana lamayi tikak hadaagannawanam, e garuthwaya hadawathinma lamayinta athi wenawanam, eya thamayi niyama Guruwaraya/ Guruwariya. Ehema neda? Internet eke, facebook eke nam kohomath yahapath aamanthrana balaaporoththu wenna amaaruyi kiyanna thamayi wenne.

    ReplyDelete
  14. mama hithanne machan kiyana wachane thiyana adaraneya bawa wadi facebook eka oka samanya deyak mama hithanne oya unath facebook eka inna hama kenagema profile balala nethuwa athi baluwath hema kenagema profile mathaka nathuwa athi ehama oyata mathkanam oya ge fb eka frndsla 50 wage athe mama fb eka godak ayata machn kiyala pawichci karanne.fb kiyanne kagewath sabe jiwithaya neme.mama hithan ne kagewath athin sabe jiwithaya machanla bihiwen ne.samawayase aya ha godak lagin inna wadimahal ayata pamanai sabe jiwithe machanla wenne

    ReplyDelete
  15. නමක් දාල තියෙන්නෙ මනුස්සයෙකුට උපතෙදිම නමින් කතාකරන්න මට වයස 35යි නම් අවුරුදු 5ක ළමයෙක් මට නමින් කත කරත් මට තරහ ගන්න දෙයක් එතන නෑ .
    එහෙම තරහ ගන්නවනම් ඒක ලෙඩක්
    අපේ ලංකාවෙ මිනිස්සුන්ට තියන ලෙඩක් තමා _ හිරු _ කිව්ව වගේ නෑදෑ කෑල්ලක් අගට දා ගන්න එක
    ඒක සම් පුර්න වැරදි දෙයක්
    අනික ඔය කියන ප්‍රොෆෙසර්ල ඔක්කොම මුදලට වැඩ කරන අය කියල අමතක කරන්න හොද නෑ.
    5 වසරට ඉගන ගත්තු බොස් ගෙන් කුණුහරුප අහන උපාදි දාරියො මම ඕන තරම් දැකල තියනව.
    හැමදේම යැපෙන්නෙ මුදල් මත .

    ReplyDelete
  16. සමාවෙන්න. අදහස් දක්වන්නේ නෑ කිවුවද එකම එක දෙයක් පමණක් මේ බ්ලොග් ලෝකයේ පරිණත විනිසුරුවන් ඉදිරියේ මට නිදහසට කරුණු වශයෙන් කීමට ඇත. ඒ බ්ලොග් ලෝකයේ කිසිවෙකුට මට 'සර්' කියන්නට යයි මා කිසිම තැනක සඳහන් කර නොමැති බවයි. මා සටහන් කර ඇත්තේ සරසවි පරිශ්‍රයක් තුළදී ශිෂ්‍යයෙකු සිය ආචාර්යවරයාට අයියා කීම ලාංකික සන්දර්භයේදී නොගැලපෙන බව පමණකි....! වෙනත් රටකදී මගේ ශිෂ්‍යයෙකු මට සුනෙත් කීයේ නම් මම එය එකහෙළාම පිළිගනිමි. මන්ද මාද මගේ විදෙස් මහචාර්යවරුන්ට නම කියා අමතන බව බොහෝ දෙනා නොදනී. එය ඒ සංදර්භයේදී ඉහළින්ම වලංගු වේ.
    මගේ තර්කය ගැන ඔබට ප්‍රතිතර්කයක් ඇත්තේ නම් ඔබ කළ යුත්තේ ජීවිතයේ ඔබට කවදා හෝ අකුරක් හෝ ඉගැන්වූ ඔබේ ඕනෑම ගුරුවරයෙකුට ඔහුගේ නමින් කතා කර ප්‍රතිචාරය නිරීක්ෂණය කරන ලෙසයි. එවිට ඔය තර්කය දමන බොහෝ අයට 'ලංකාවේ හැම ගුරාම හීනමානකාරෙක්නේ' යයි කීමට සිදුවනු ඇත.
    සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමල් නම් වෘත්තිය, අධ්‍යාපනය කුමක් වුවත් මට මචං කියන්නට ඕනෑම කෙනෙකුට් අයිතියක් ඇති බව පුන පුනා කියද්දිත්, මා නොකියූ, කොහේවත් යන අයෙක් මා එසේ කියා ඇති බව අදහාගෙන මට මෙසේ අවමන් කරන්නේ ඇයි...? පියවි ලෝකයේ බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා මට මචං කියන අතර මමද පෙරළා මචං කියමි. මගේ මාමාගේ වයසේ පසුවන දුකාට, මාතලංට මා මචං කීවේ ඔය මතබේදයට තුඩු දුන් ලිපිය ලීමට තුන් හිතකවත් අදහසක් නැති කාලයේය.
    සාමාන්‍ය ජීවිතයේදී මහන මැෂින් කාර්මිකයෙකු වූ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිතාන හා මා මචං ආමන්ත්‍රණයෙන් එකිනෙකා අමතන්නේද ඔය ලිපිය ඔබ දකින්නටත් පෙරය. මොකටද ඔහු මට සර් කියන්නේ..? ඔහු මගේ ශිෂ්‍යයෙක් නොවෙයි, මගේ යටතේ වැඩ කරන කෙනෙකුත් නොවෙයි..තමන්ගේ පාඩුවේ සාධාරණයෙන් හම්බකරකෙන ජීවත්වන මට වගේම ආත්ම ගරුත්වයෙක් ඇති මනුෂ්‍යයෙක්.එ නිසා ඌ මගෙ මචං. මං උගෙ මචං. මචං අටමා උඹ ඉන්නවනම් මේක සනාථ කරපන්.

    ReplyDelete
  17. දෙතුන් පාරක් ඇවිත් කමෙන්ට් එහෙම කියවලා ගියත් මොකවත් නොකියා හිටියේ මේ වාගේ කලබල ගැන හිතේ තියන කලකිරීම හන්දමයි ,

    උඹ හිතන විදිහ උඹ ලියුවා , අනිත් උන් උන්ගේ අදහස මෙතනත් තව තැන්වලත් ලියුවා ,

    මට නං උඹේ මේ ලිපියේ එහෙමට අවුලක් පෙනුන්නැ , හැබැයි උඹ එක්ක කතා බහ කොරලා නැති , උඹව නොදන්න කෙනෙකුට උඹ ලොකුඑක දානවා කියලා හි‍තෙන්න පුළුවන්.

    සමහරක් අය මේ වාගේ ලිපි ලියනකොට පරිස්සමට විවා‍දයක් ඇති නොවන විදිහට හීනියට අනිත් අයට තමන්ගේ මතය ඔබ්බවනවා , හැබැයි උඹේ ලිවිල්ලේ ඒ අහවල් එක හංගං අහවල් එකෙන් කෙලින සිස්ටම් එක නැ , හිතට එන එක ඔහේ ලියලා දානවා , මම කැමතියි එහෙම බ්ලොග් වලට සහ පුද්ගලික ජීවිතයෙදි එහෙම මිනිස්සුන්ට.

    අනික මචං බ්ලොග් වල තියනවා හිතාගන්න බැරි අමුතු සීන් එකක් , කියවන අය මුලින්ම දක්වන අදහසට පක්ෂව තමයි පස්සේ පස්සේ ප්‍රකාශවෙන අදහස් මතුවෙන්නේ , ලියනකෙනා මහා කතිකාවතක් ඇතිවෙයි කියලා හිතන එව්වා ගැන එහෙමට කතාවක් ඇතිවෙන්නේ නෑ , හැබැයි හීනයකින්වත් හිතන්නේ නැති එව්වට හම්බෙනවා පොරි හැලෙන්න , බ්ලොග් කෙලිය ඔහොමයි.

    ඔව්වා ගණන් ගන්ඩ එපා බං . ඔව්වා ඔහොම තමා . උඹ කැමති දෙයක් ලියන්න වගේම , අනිත් උන්ට ඒ ගැන කතා කරන්නත් පුළුවන් , හැබැයි ඉතින් මොකකට හරි කාට හරි කෙලින්න වට කරලා නිර්ධය විදිහට අපහාස උපහාස කරන එකනං මං හරියි කියලා කියන්නේ නැ ,

    අනික ඔය විදිහට මොකක් හරි අල්ලගෙන කාටහරි ගහන එක ඒ ප්‍රකාශය කරපු කෙනා අනුව වෙනස්වෙනවා . සමහරක් විට මේ ලිපිය වෙන බ්ලොග්කාරයෙක් ලියුවානං මෙහෙම කතා නොකරන්නත් , තවත් කෙනෙක් ලියුවානං මීටවඩා හාහෝවක් ඇති වෙන්නත් තිබ්බා ,

    ''සිංහල බ්ලොග් අවකාශය ....අතී සංවේදී.... මිනිසුන්ට සුදුසු තැනක් නොවේ''

    ReplyDelete
    Replies
    1. //..හැබැයි උඹ එක්ක කතා බහ කොරලා නැති , උඹව නොදන්න කෙනෙකුට උඹ ලොකුඑක දානවා කියලා හි‍තෙන්න පුළුවන්...//
      උඹේ කමෙන්ට් එකේ වටිනාම ප්‍රකාශය මේක මචං....ඒ කියන්නෙ මම තව පරිස්සම් වෙන්න ඕන කියන එකනේ....ඕ.කේ. උඹේ අවවාදය මම ඉස්මුදුනෙන්ම පිළිගන්නවා...

      Delete
  18. මම තවමත් ඉංජිනේරු පීඨයක ඉගෙනුම ලබන කෙනෙක්.. ඒ විදියට බලපුවම මම තවමත් ශිෂ්‍යයෙක් ,, මගේ වයසේ හැමදෙනාම වගේ මට මචන් කියනවා... ඒ අතර මගෙත් එක්කම ඉගෙන ගන්න මගේ යාලුවෙක් මේ අතරින් විශේෂ වෙනවා, එ කෙනා සැම විටකම ම අමතන්නේ මචං ,උඹ , අඩෝ වගේ වචන වලින්,, නමුත් ඔහුගේ පියා රැකියාව කරනු ලබන්නේ මගේ පියාට අයිති ජිනදාස ට්‍රෙඩ් සෙන්ටර් ආයතනයේ.. ඔහු සැම විටකම ම අමතන්නේ sir කියා පමනක්මයි ,, මේක තමයි විශේෂ වන්නේ, අප සේවය කරන හෝ සම්බන්ද ආයතනය තුලට ඇමතීම සීමා වෙනවා කියලයි මගේ නම් හැගීම .විශ්ව විද්‍යාලයක් තුල හෝ පාසලක් තුල ගුරුවරයෙක්ට සිසුවෙකු විසින් මචං , අය්යේ හෝ එවැනි ආමන්ත්‍රණය කිරීම් සුදුසු නොවෙනවා තමයි... නමුත් සාමාන්‍ය සමාජය තුල අපි හැම කෙනාම සමානයි. එවැනි තැනක මෙවැනි දේවල් සමාන්න්‍යයි. අපි බස් එකක යනකොට කොන්දොස්තොර මල්ලි , බස් රථයේ යන බොහෝ දෙනෙකුට, ඔහු දොස්තර වරයෙකු . ආචාර්ය වරයෙකු , ඉංජිනේරු වරයෙකු හෝ කවරෙකු උවත්, අයියේ හෝ මල්ලි කියලා කියනවා .. නමුත් උක්ත පුද්ගලයා ඔහු විසින් පෙර සිට දන්නවානම් මෙහෙම වෙන්නේ නැ ... ඕකම තමයි මෙතන වෙලා තියෙන්නේ. අන්තර් ජලයත් සාමාන්‍ය සමාජයක් විදියට අපි දෙකිය යුතු වෙනවා. දැන් බලන්න මම උනත් සරසවිය තුලදී ආචාර්ය වරයෙකුට මෙවැනි අදහස් දැක්වීමක් සිදුකල නොහෙකියි ,,, නමුත් මෙතන එහෙම සීමා වෙන්නේ නැ

    ReplyDelete